ආණ්ඩුවට එල්ලවී ඇති ජනතා විරෝධය නිසා මර්දනකාරී ආණ්ඩුවක් පිහිටුවා ගැනීමේ මාවතට රනිල් වික්‍රමසිංහ යොමුවී ඇති බවත් පෙනෙන්නට තිබෙන බවත් ඒ සඳහා අවශ්‍ය වන්නේ කුමන්ත්‍රණ සහ ඝාතනයන් බවත් රත්නපුර දිස්ත්‍රික් ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර පවසයි.
මේ වන විට ජනපති ඝාතන කුමන්ත්‍රණය සහ එම කුමන්ත්‍රණය දේශපාලනයේ ප්‍රධාන මාතෘකාවක් වී ඇතැයිද හෙතෙම පැවැසීය. නානායක්කාර එසේ පැවැසුවේ ඊයේ (22) කොළඹදී පැවැති සමාජවාදී ජාතික පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
වැඩිදුරටත් ඔහු මෙසේද පැවසීය.
ජනාධිපති ඝාතන කුමන්ත්රණයේ නීතිය හා සාමය පිළිබඳ ඇමැතිවරයා භාරගත යුතුයි කියලා ජනාධිපතිතුමා කැබිනට් එකේදී ප්‍රකාශ කර තිබෙනවා. මේ පිළිබඳව අපි නොදන්නා කරුණු ජනාධිපතිතුමා දන්නවා. එතුමාගේ දෝෂාරෝපණය එ.ජා.ප. ආණ්ඩුවට කරපු දෝෂාරෝපණයක් බව පෙනී යනවා. එ.ජා.පය මෙය සුළු කරුණක් විදිහට හුවා දක්වපු ප්‍රකාශ තිබෙනවා. එජාපය මේ ගැන නිහඬව ඉන්නා විට අපට ඇතිවන්නේ ලොකු සැකයක්. ඔවුන් මේ ගැන පරීක්ෂණ කරන්න ඕනේ කියලා කියන්න අවශ්‍යයි
දැන් මෙය රෝ ඔත්තු සේවය දක්වා දිග්ගැස්සිලා තිබෙන්නේ.
ජනාධිපතිතුමා නොකියූ දෙයක් කිව්වාය කියලා ඉන්දියාවට කියපු කෙනා කවුද කැබිනට් එකේ හිටපු? කවුද ඒ ඇමැතිවරු? මේකෙන් තේරෙන්නේ මොකක්ද? රෝ ඔත්තු සේවය මේකට පටලවන්න හදන්නේ මේ පරීක්ෂණ නොමඟ යවන්නයි. එහෙමයි මටනම් තේරෙන්නේ, ජනාධිපතිතුමා නොකීව ප්‍රකාශයක් කිව්වාය කියලා කියන්න තරම් හින්දු පුවත්පතට මොනවාද තියෙන සාක්ෂි කියලාත් අපි බැලිය යුතුයි. ඕනෑම ජනමාධ්‍යයක් පිළිගන්න ඕනේ කවුරුහරි ප්‍රකාශයක් කරන තැන තමන් හිටියේ නැත්නම් එය එහෙම වුණේ නැහැයි කියලා පිළිගන්න. මෙතැන එහෙම කතාවක් නැහැනේ. මේක අලුත්ම මාධ්‍ය සම්ප්රදායක්. මේකෙන් පේන්නේ ජනාධිපතිතුමාට එරෙහිව යම් කුමන්ත්‍රණයක් තිබෙන බවයි. රෝ ඔත්තු සේවය සම්බන්ධව නොවෙයි රනිල් වික්‍රමසිංහගේ බලය වැඩිකිරීම වෙනුවෙන් වැඩපිළිවෙළක් ඉන්දියාවෙන් ක්‍රියාත්මක වෙන බවකුයි පෙනෙන්නට තිබෙන්නේ.
රනිල් වික්‍රමසිංහ තුන්වැනි පාරටයි මේ ඉන්දියාවට යන්නේ. පසුගිය කැබිනට් රැස්වීමේදී ජනාධිපති හා අගමැති අතර ස්ථාවරයන් පිළිබඳව මත ගැටුමක් ඇතිවුණා. කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීම පිළිබඳවයි මේ ගැටුම ඇතිවුණේ. රනිල් මහත්තයා මේවා කොහොමත් දෙන්න පොරොන්දු වෙලායි තියෙන්නේ. ත්‍රිකුණාමලය හා මඩකළපුව ගුවන් යානා තීරුත් ඉන්දියාවට දෙන්න පොරොන්දු වෙලායි තිබෙන්නේ. මේවා එකක්වත් කැබිනට් එකට කියලා නැහැ. අවසානයේ මේවා කැබිනට් එකට තීන්දු වෙන්න ආපුවාහම ඇතිවෙන්නේ අර්බුද.
ඉන්දියාව මේ සම්බන්ධයෙන් මොනවාද කිව්වේ? ඔබට අපි ගැන සැකයක් තියෙනවා නම් වහාම අපිත් සමඟ විවෘතව කතා කරන්න. රනිල් මහත්තයා මොකද කිව්වේ? එයා කිව්වේ අපිට ඔබ ගැන ගැටලුවකුත් නැත. සැකයකුත් නැත කියලායි. මේවා අපි බලන්න ඔනේ දේශපාලන අර්ථයෙන්. මේවා අපේ රටේ සම්පත් පිළිබඳ ප්‍රශ්නයි. මෝදි කියලා තිබ්බේ අපි අතර ඇතිවුණු අවබෝධතා ගිවිසුමක් ක්‍රියාත්මක වෙන්නේ බොහෝම හෙමින් කියලායි.
ඇමෙරිකාව සමඟ අත්සන් කළ (ACSA) ගිවිසුම නිසා වරාය හා අනිකුත් ගුවන් තොටුපළවල් ඇමෙරිකාවට ගන්න පුළුවන්. මේ ගිවිසුමට අනුව යුද මධ්‍යස්ථානයක් ඇති වුණා හා සමාන වනවා ඉන්දියන් සාගරය තුළ. අපේ රට අද විශාල අර්බුදයකට මුහුණදීලයි තිබෙන්නේ.