ඡන්දය කල් දමන පෙත්සමට එරෙහිව නීතිපතිගෙන් මෝසමක්

Spread the love

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ඡන්ද කොට්ඨාස සහ සභිකයින් සංඛ්‍යාව ප්‍රකාශ කරමින් පසුගිය පෙබරවාරි මස නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම අත්හිටුවමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය ඉවත් කර එම නිෙයා්ගයට අදාළ රිට් පෙත්සම විභාගයට නොගෙන ඉවත දමන ලෙස ඉල්ලමින් නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ ඊයේ (27) පෙත්සමක් ගොනු කළේය.

එම රිට් පෙත්සම මෙම නොවැම්බර් මස 30 වැනිදා අධිකරණය හමුවේ කැඳවන ලෙසද නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ මෝසමෙන් ඉල්ලා තිබිණි.

අදාළ අතුරු තහනම් නියෝගය නිකුත් කිරීමේදී නීතිපතිවරයා ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් විනිසුරු මඬුල්ල අවධානය යොමු කර නැති අතර නිසි කරුණු සලකා බැලීමකින් තොරව එම නියෝගය නිකුත් කර ඇතැයි එහි දැක්වේ.

එලෙස අතුරු තහනම් නියෝගය නිකුත් කිරීම නිසා ඡන්දදායකයන්ගේ ඡන්ද අයිතියට හානියක් සිදුව ඇති බව සඳහන් වේ.

ඡන්ද කොට්ඨාස කිහිපයක මැතිවරණය පැවැත්වීම සඳහා වන නාමයෝජනා කැඳවීමට ගත් තීරණය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අධිකරණය දැනුවත් කිරීමට ඇති බැවින් මෙම පෙත්සම කලින් නියම කර ඇති දිනට පෙර කැඳවන ලෙස මෝසම මඟින් ඉල්ලීමක් කර තිබේ.

ඡන්ද කොට්ඨාස 93කට අදාළව මැතිවරණය පැවැත්වීම සඳහා නාම යෝජනා කැඳවීමට මේ වන විට තීරණය කර ඇතැයි එහි දැක්වේ. එම ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ අතුරු තහනම් නියෝගයෙන් බාධාවක් නැති අතර ඡන්ද ‍කොට්ඨාස 40ක් සම්බන්ධයෙන් මුද්‍රණ තාක්ෂණික දෝෂ ඇති බව මෝසම මඟින් පෙන්වා දී තිබේ.

මහනුවර ඩබ්ලිව්.ඩී.ජී. විජේරත්න, කොළඹ 13 ටී. සිරිසේන ප්‍රනාන්දු, හල්මිල්ලවැව ආර්.කේ.එම්.කේ. කුමාර, බණ්ඩාරවෙල ඩී.කේ. ආරියරත්න, උඩවලවේ ජේ.කේ.ආර්. සේනාධීර, දෙනියාය පී.එච්.වයි. ධනුෂ්ක විසින් මෙම රිට් පෙත්සම ගොනු කර තිබුණි.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ඡන්ද කොට්ඨාස සහ ඊට හිමි සභිකයන් සංඛ්‍යාව සඳහන් ගැසට් නිවේදනය ඉකුත් 2017 පෙබරවාරි මස 17 දින නිකුත් කෙරුණි.

ජාතික සීමා නිර්ණය කොමිසම විසින් නීර්ණය කළ ඡන්ද කොට්ඨාස සීමාවන් පිළිබඳ නැවත සලකා බැලීම සඳහා ඇමැතිවරයා විසින් කමිටුවක් පත් කළ අතර ඔවුන් තමන්ට පවරා තිබූ බලය ඉක්මවා යමින් සභික සංඛ්‍යාව වෙනස් කිරීමටද තීරණය කළ බවට මෙම පෙත්සම මඟින් චෝදනා කර තිබුණි.

එම කමිටුවේ ද නිර්දේශ සැලකිල්ලට ගනිමින් අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබූ අතර සභික සංඛ්‍යාව වෙනස් කිරීම මඟින් ඡන්දදායකයන්ගේ ඡන්ද අයිතියට බලපෑමක් වන බවට පෙත්සම මඟින් කරුණු ඉදිරිපත් කර තිබිණි.

එබැවින් එම ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස පෙත්සම මඟින් ඉල්ලා තිබුණි.

මෙම පෙත්සමට විරුද්ධවීමට ප්‍රධාන දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධානද කටයුතු කළ අතර නීතිපතිවරයාට ඊට විරෝධතාව දැක්වීය.

කෙසේ වුවද කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ සභාපති එල්.ටී.බී. දෙහිදෙනිය, කුමුදුනී වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඬුල්ල ඉකුත් නොවැම්බර් 22 දින අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම ලබන දෙසැම්බර් මස 04 වැනිදා තෙක් අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙරිණි.

පෙත්සම දෙසැම්බර් මස 04වැනිදා නැවත කැඳවීමට නියම වූ අතර එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා සහ එම අමාත්‍යාංශ ලේකම්වරයා වෙත නොතීසි නිකුත් කෙළේය.

RSL

Related Posts