වසර පන්සීයකට පසු පළමු වරට රට සහලින් ස්වයංපෝෂිත කළේ අපියි

Spread the love

රට වී වගාවෙන් ස්වයංපෝෂිත කරන්නට 1965දී ඩඩ්ලි සේනානායක අගමැතිතුමා වගා සංග්‍රාමය පටන් ගත් බවත්, වසර 500කට පසු 2003 වසරේදී රට සහලින් ස්වයංපෝෂිත කළේ අප රජයෙන් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගියදා නිකවැරටියේ ඉඩම් ඔප්පු ලබාදීමේ උත්සවයකට එක්වෙමින් පැවසීය.

එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙසේද පැවැසීය.

මේ ඉඩම් ලබාදීම ඉතා වැදගත් කාරණයක් සේ සැලකිය හැකියි. මේ ඉඩම්ලාභීන් නිසා මේ රටේ ආර්ථිකය දියුණු වුණා. 1931දී ඩී.එස්. සේනානායක මැතිතුමා ජනපද යෝජනා ක්‍රමය ඇති කරන්නට පැරැණි වැව්, වාරිමාර්ග අලුත්වැඩියා කරන්නට, ගල්ඔය වැනි ව්‍යාපාර ආරම්භ කරන්නට පටන් ගත්තා. ඒ හා සමඟම එතුමා ඉඩම් බෙදා දෙන්නටද කටයුතු කළා. විවිධ ආණ්ඩු යටතේ මේවා ක්‍රියාත්මක වුණා. ලංකාව වී වගාවෙන් ස්වයංපෝෂිත කරන්නට 1965දී ඩඩ්ලි සේනානායක අගමැතිතුමා වගා සංග්‍රාමය පටන් ගත්තා. එතුමා එම වැඩසටහන දිගටම ක්‍රියාත්මක කළා. 1977දී ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා මහවැලි ව්‍යාපාරය ආරම්භ කළා. සිංහල රජ සමයේ සිට නොවෙයි විජය රජතුමාගේ කාලයේ සිට වැඩිම වැව් සෑදුවේ එතුමාගේ කාලයේයි.

දැන් ඒ කෘෂිකර්මාන්තය නවීකරණය කරන්නට ඉදිරි අයවැයෙන් ආධාර සහනාධාර ලබා දෙනවා.

රට සහලින් ස්වයංපෝෂිත කළ මේ ගොවීන්ට අපි අපගේ යුතුකම ඉටුකළ යුතුයි.

ඔවුන්ට ඔවුන්ගේ ඉඩම සඳහා වන ඔප්පුව ලබාදිය යුතුයි. ඒ විතරක් නොවෙයි ඩී.එස්. සේනානායක මැතිතුමා දකුණේ කුඩා තේ වතු ආරම්භ කළා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලයේ ඒ කුඩා තේ වගාවල සංඛ්‍යාව තවත් වැඩි කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අද අපේ රටින් අපනයනය කරන තේවලින් 60%ක් සපයන්නේ කුඩා තේවතුවලිනුයි. මේ සඳහා ආණ්ඩුවෙන් ඉඩම් ලබා දුන්නත් ඒ අයටත් අයිතිය පිළිබඳ කඩදාසි කෑල්ලක්වත් නැහැ. ඒ අනුව රට සහලින් ස්වයංපෝෂණය කළ ගොවීන්ට, තේ අපනයනය වැඩි කර දුන් තේ ගොවීන්ටත් අපි අයිතිය පිළිබඳ කිසිදු ලියවිල්ලක් ලබාදී නැහැ. ඒ අනුව එම අයිතිය ලබාදීමට අපේ යුතුකමක් තිබෙනවා.

මේ රටේ නිවාස ප්‍රශ්නය විසඳන්නට ප්‍රේමදාස ජනාධිපතිතුමා ගම්උදාව වැඩසටහන මඟින් කටයුතු කළා.

අපි අධ්‍යාපන අයිතියත්, අමතක කරලා නැහැ. දැන් දරුවන් රක්‍ෂණය කරනවා. ළඟම පාසල හොඳම පාසල වැඩපිළිවෙළ ක්‍රියාත්මක කොට තිබෙනවා. අපි සෞඛ්‍ය අයිතිය ලබාදී තිබෙනවා. පානීය ජලය ලබාදෙනවා. 1978 සිට විදුලි බලය ලබාදීම සිදුකොට තිබෙනවා.

අපේ මූලික ප්‍රතිපත්තිය තුනෙන් එකක් නම් ප්‍රජාතන්ත්‍රවාදයයි. අනෙක් කරුණ තරගකාරී ආර්ථිකයයි. තුන්වැන්න සමාජ සාධාරණයයි. මා ඉහතින් කතා කළේ සමාජ සාධාරණය පිළිබඳවයි. ප්‍රජාතන්ත්‍රවාදය අපි ලබාදී තිබෙනවා. අපේ රටේ පවතින ප්‍රජාතන්ත්‍රවාදය දැන් ශක්තිමත්, අධිකරණය ශක්තිමත්. ඒ වගේම 1977දී අපි තරගකාරී ආර්ථිකයක් ආරම්භ කළා. නමුත් 2015දී ණය බරින් මිරිකෙන ආර්ථිකයක් ලබාගන්නට අපිට සිදුවුණා. තවමත් ඒ ණය ගෙවමින් සිටිනවා. වැඩිම විදේශ ණය වාරිකයන් ගෙවන්නේ මේ වසරේදීයි. ඩොලර් මිලියන 5600ක් ගෙවනවා. මෙහෙම තත්ත්වයක් තියෙද්දී ස්ථාවරභාවයක් ඇති කළා.

RSL

Related Posts