ඉරාජ්.. ඉස්සර අපිත් ඉමිටේෂන් මාලයක් ගැනීමට රුපියල් පහේ කඩි බිත්තර මිලට ගත්තෙමු. මැජික් බෝල නිසා ටිපිටිප් ගත්තෙමු. ස්ටිකර් වල අංක ගලපා පොල්පිති බැට් එක වෙනුවට ලී බැට් එකක් දිනා ගැනීමට චොකලට්ද කෑ වෙමු. ඒ කාලේ අපේ අම්මා සන්ලයිට් කැට වල දවටන එකතු කළේ ද ඔය වැනි ම කාරණාවකටය.
දැන් අපි වයසින් වැඩිමහලුය. ආශාවන් වෙනස් ය. ජීවිතය සංකීර්ණය.
උඹ රුපියල් මිලියන ගාණක් වියදම් කළා යැයි කියූ සින්දුව කීප වරක්ම නරඹා උඹේ භාෂාවෙන්ම විව්ස් වැඩිකර දුන්නේ සින්දුවට ආශාවකට නොව මිලියනය අදට ද මැජික් එකක් නිසා ය.
සිල් බිඳගත්තේ සින්දුවේ උඹ ඔතා එව්වේ තුන්වෙනි ලෝකේ රටකට තවත් මැජික් බෝලයකි. කොල්ලා නදීෂාගේ කට කෑවේය අපි උඹේ ටොපිය කෑවෙමු.
ඉහත සියල්ල අතිශය පෞද්ගලික අභිමතාර්ථ මත ගොඩ නැගුණා වූ කාරණා හෙවත් නදීෂාගේ බසින් “අපිට හොඳනම් තොපිට මොකද” කැටගරියේ සංසිද්ධීන් ය. එබැවින් ඒවා විවේචනය නොකර සිටීමට හැකි ය.
නමුත් ඉතිහාසය විසින් පොදුවේ පිළිගත් අමතක කළ යුතු වැරදි නැවත නැවත උලුප්පා ඒවාට වෙනත් අර්ථකථන දීම කලාව නොවේ. ඒවා මාර්කටින් හෙවත් විකිණෙන ඕනම කුණුගොඩක් විකුණා බඩ වඩා ගැනීම ය. නැතහොත් ඒ උඹේ පහත් දේශපාලනය ය.
සරලවම උඹ තොරන් ගැසුවානම් කොල්ලෙක් මිනිස්සු මර මරා ඇඟිලි කපන මිලේච්ඡ සිතුවම් ටිකකට ලයිට් දමා එය අංගුලිමාල දමනය යැයිද ඇතෙක් රා මතින් මත්ව විදීයක බමන මතින් ඇවිදින චිත්‍ර ටිකකට කුණුහරප කවි ටිකක් දමා එය නාලාගිරි දමනය යැයි ද කියා පෙන්වනු ඇත.
අවසාන වශයෙන් කිව යුත්තේ මේ ඇමරිකාව නොවන වගය. ඕලෙවල් කොල්ලන්ට ගැන්ස්ටර් ආතල් දී මලක් ගැසීමද වළක් බැසීම ද කුණුහරප ටිකක් කීම ද පොරක් වීමේ මූලික අවශ්‍යතාවයන් ලෙස ගොඩනගා ප්‍රදර්ශන කාමුකත්වය පට්ට රැඩිකල් ලෙස ද ලංකාවේ සංස්කෘතිය තාම ළදරු මානසිකත්වයක් ලෙසද උපහාසයට ගැනීම අනුමත කළ නොහැක.
සම්පත් කුරුප්පුආරච්චි
(මෙහි එන සටහන මුහුණුපොතන් ඉපිටුමකි. එහි රචකයා හෝ රචකාව Read sri lanka සාමාජිකයෙක් නොවේ. එකී අදහස්වල වැදගත්කම සලකා අප එය උපුටාගන්නෙමු. අප වෙබ් අඩවියේ අදහස් ඔහු හෝ ඇය විසින් දරනුයේ නැත.)