අකිල මහා ප්‍රචාරණයක් ලබාදෙමින් ඇරඹු ටැබ් ලබාදීම නියමු ව්‍යාපෘතියකට පමණක් සීමාවෙයි

Spread the love

එක්සත් ජාතික පක්ෂ මහලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් මහා පරිමාණ ප්‍රචාරණ ව්‍යාපාරයක් සිදුකරමින් ඇරඹි උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහනට අනුමැතිය හිමිව ඇත්තේ පළමුව ජාතික පාසල්වල නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවීමට පමණක් බව ජනාධිපතිවරයා පවසයි.

දිවයිනේ සියලු පාසල්වල උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට මුලින්ම ඉදිරිපත් කෙරුණේ 2017 වසරේ දී ය. එහි දී අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ඉදිරිපත් කරන ලද මෙකී යෝජනාවට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නිර්දේශය වූයේ දීප ව්‍යාප්තව එකවර මේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම නුසුදුසු බවත්, එය ජාතික පාසල් කිහිපයක නියමු ව්‍යාපෘතියක් ලෙස ප්‍රථමයෙන් ආරම්භ කළ යුතු බවත් ය.

විශේෂයෙන්ම අත්‍යවශ්‍ය විෂයමාලා කරුණු හැර මෙම ටැබ් පරිගණකය මඟින් වෙනත් අන්තර්ජාල අවකාශයන්ට ප්‍රවේශවීම වැළැක්විය යුතු බව ද ජනාධිපතිවරයාගේ යෝජනාව විය. අධ්‍යාපන කටයුතුවලින් පරිබාහිරව වෙනත් කටයුතුවලට ප්‍රවේශවීමේ හැකියාව වළක්වමින් මෙම ටැබ් පරිගණක සිසුන්ට ලබාදීමට පියවර ගන්නා බව ඒ අනුව කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබිණි. නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය අනුව ව්‍යාපෘතියේ ඉදිරි පියවර ක්‍රියාත්මක කිරීමට ද තීරණය කෙරිණි. අදාළ යෝජනාව පිළිබඳ කැබිනට් මණ්ඩලයේ නිර්දේශය වූයේ ද මෙවන් ව්‍යාපෘතියක් ජාතික පාසල්වලින් ආරම්භ කළ යුතු බවයි.

දීප ව්‍යාප්තව පාසල් සිසුන්ට ටැබ් පරිගණක ලබාදීම සඳහා රුපියල් බිලියන පහමාරක මුදලක් වෙන් කර තිබිණි. එහි දී ජනාධිපතිවරයාගේ යෝජනාව වූයේ මෙම මුදලෙන් නියමු ව්‍යාපෘතියට අවශ්‍ය මුදල් ලබාගෙන ඉතිරි මුදල් දිවයින පුරා පාසල්වල විශාල අඩුපාඩුවක්ව පවතින ඩෙස් පුටු ඇතුළු අනෙකුත් උපකරණ ලබාගැනීමට යොදවන ලෙසයි. එමෙන්ම මෙම නියමු ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මුදල කොපමණ ද යන්න නිශ්චිතව සඳහන් කළ යුතු බව ද ජනාධිපතිවරයාගේ යෝජනාව විය. ඒ අනුව අදාළ ව්‍යාපෘතිය සඳහා 2017 වසරේ කැඳවන ලද ටෙන්ඩරය නියමු ව්‍යාපෘතියට අනුව වෙනස්විය යුතුය.

පාසල් දරුවන්ට නව තාක්ෂණය සමඟ දැනුම ලබාදීම අත්‍යවශ්‍ය වුව ද දරුවන්ගේ විනය සහ මානසික තත්ත්වයට සුදුසු ආකාරයෙන් මේ වැඩසටහන් ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපතිවරයාගේ අදහස වී තිබේ.

RSL

Related Posts