රජය වෙත පවරාගත් මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ මෙහෙයුම් වියදම් සඳහා මාසයකට රුපියල් කෝටි 20 බැගින් රජයේ ප්‍රතිපාදන සැලසීමට ඇමැති මණ්‌ඩලය තීරණය කර ඇත.
ඇමැති මණ්‌ඩල තීරණයකට අනුව ලබන මස 01 වැනිදා සිට නෙවිල් ප්‍රනාන්දු රෝහල ශික්‍ෂණ රෝහලක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පත්වනු ඇත.
අති නවීන පහසුකම්වලින් සමන්විත මෙම රෝහල ගුණාත්මක බවින් ඉහළ රෝගී සත්කාරක සේවාවන් සපයන රෝහලක් ලෙස පවත්වාගෙන යැමට තීරණය කර ඇති අතර ඒ සඳහා එම රෝහල ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල ස්‌ථාපනය කර ඇති ආකාරයට පාර්ලිමේන්තු පනතකින් සංස්‌ථාපනය කිරීමට නියමිතය.
එලෙස පනතක් මඟින් සංස්‌ථාපනය කරන තෙක් එම රෝහල හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා, මහාචාර්ය සරත් විජේසූරිය ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් යුත් පාලක මණ්‌ඩලයක් යටතට පත් කිරීමට ද අනුමැතිය ලැබී ඇත