ඩෙංගු රෝගය තුරන් කිරීමට සියලු මාධ්‍ය එක්වෙයි

Spread the love

ජාතික ව්‍යසනයක්ව පවතින ‘ඩෙංගු රෝගය තුරන් කිරීමේ ජාතික වැඩසටහනක්’ රජය මඟින් ආරම්භ කෙරේ. ‘අපිම අරඹමු – ඩෙංගු දුරලමු’ මේ වැඩසටහනේ තේමාව වේ.

ඩෙංගු රෝගය තුරන් කිරීමේ ජාතික වැඩසටහන යටතේ මුදල් හා ජන මාධ්‍ය අමාත්‍යංශය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණයෙන් සියලු මාධ්‍ය ඒකාබද්ධව මහජනතාව දැනුවත් කිරීම අද(12) සිට ආරම්භ කිරීමට නියමිතයි.

මෙම වැඩසටහන පිළිබඳ විශේෂ සාකච්ඡාවක් මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් හා ජනමාධ්‍ය මාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ(11) පැවැත් විය.

ඒ අනුව මෙම වැඩසටහනේ පළමු පියවර යටතේ අද(12) පෙ.ව. 9.00 සිට පෙ.ව. 11.00 දක්වා සියලුම විද්‍යුත් මාධ්‍ය ආයතන අඛණ්ඩව ඩෙංගු ව්‍යසනය තුරන් කිරීම සඳහා නිවාස සහ අවට පරිසරය පිරිසිදු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව දැනුවත් කෙරෙන දීප ව්‍යාප්ත වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ පූර්ණ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන ඔස්සේ සියලු විද්‍යුත් මාධ්‍ය ආයතන සහ ජංගම දුරකතන සමාගම්වල සහයෝගය ද ලබා ගනිමින් ඩෙංගු රෝගය තුරන් කිරීම පිළිබඳ පණිවිඩය ජනතාව අතරට ගෙන යාමට අපේක්ෂා කරයි.

මෙහිදී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සිට සියලුම විද්‍යුත් මාධ්‍ය ආයතනයන්හි සහභාගීත්වයෙන් සිංහල භාෂා මාධ්‍යයෙන් ද ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ දෙමළ භාෂා මාධ්‍යයෙන් ද ඩෙංගු ව්‍යසනය තුරන් කිරීමේ පණිවිඩය සජීවීව මහජනතාව වෙත ලබා දීමට සැලසුම් කර තිබේ.

මෙම වැඩසටහනෙහිම මීළඟ වැඩසටහන ලබන 15 වන සෙනසුරාදා දින පෙ.ව. 10.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා සියලුම විද්‍යුත් මාධ්‍ය එකම වේදිකාවක සිට ඩෙංගු ව්‍යසනය තුරන් කිරීම සඳහා තම නිවස හා අවට පරිසරය පිරිසිදු කිරීමේ ජාතික වැඩසටහනක් මෙහෙයවීමට ද කටයුතු යොදා ඇත.

එසේම ලබන 19 වන බදාදා දින පාසල් හා කාර්යාල පරිශ්‍ර පිරිසිදු කිරීම ඉලක්ක කර ගනිමින් ඩෙංගු ව්‍යසන මර්දනය කිරීමේ වැඩසටහනක් සියලුම විද්‍යුත් මාධ්‍යන්ගේ දායකත්වයෙන් සිදු කිරීමට ද නියමිතයි.

මෙවැනි ජාතික කර්තව්‍යයක් සඳහා සියලු මාධ්‍ය එක්ව කටයුතු කිරීම විශේෂත්වයක් වන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙම සාකච්ඡාව සඳහා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය මහතා, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල නියෝජ්‍ය ප්‍රධානී රෝසි සේනානායක මහත්මිය, මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා විධායක නිලධාරීන්, මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

RSL

Related Posts