ඉහල සිට පහලටම වංචාව, හොරකම

Spread the love

ඉහළ සිට පහළට වංචාව හොරකම සහ දූෂණය ගලාගිය මේ රටේ දේශපාලන සංස්කෘතිය එකවර වෙනස්කළ නොහැකි නමුත් අවංකව කටයුතු කරන සහ රටට ආදරය කරන දේශපාලනඥයින් පිරිසක් බිහි කිරීමේ දුෂ්කර කටයුත්තට වත්මන් රජය උරදී සිටින බව ජනාධිපතිතුමා පවසයි.

කුමන නින්දා අපහාස සහ චෝදනා හමුවේ වුවද එම අභියෝගය ජය ගනිමින් ජනතාව අපේක්ෂා කරන පිරිසිදු දේශපාලන සංස්කෘතිය රට තුළ ගොඩනැගීමට කටයුතු කරන බව ද ජනාධිපතිතුමා පැවසීය. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ මහවැලි එච් කලාපයේ ගොවි ජනතාවට ඉඩම් ඔප්පු ප‍්‍රදානය වෙනුවෙන් අද (12) පෙරවරුවේ තලාව කී‍්‍රඩාංගණයේ පැවති උත්සවය අමතමිනි.

විවේචන සහ චෝදන කොතෙක් එල්ලවුවද කිසිදු රජයක් ඉටු නොකළ වැඩකොටසක් වත්මන් රජය ඉතා කෙටි කළක් තුළ රටත්, ජනතාවත් වෙනුවෙන් ඉටුකළ බව පැවසූ ජනාධිපතිතුමා රජය ප‍්‍රමුඛතාවය ලබාදී තිබෙන්නේ ගොවි ජනතාවගේ ආර්ථිකය සවිමත් කර ඒ තුළින් ජාතික ආර්ථිකය ගොඩනැගීමේ කාර්යය සදහා බවද කියා සිටියේය.

රටේ බහුතරයක් ගොවි ජනතාවගේ සිහින මල්ඵල ගැන්වෙන මොරගහගන්ද ව්‍යාපෘතිය යටතේ පෙර රජ දවසින් පසු විශාල වැව් සංඛ්‍යාවක් එකවර රට තුළ ප‍්‍රතිසංස්කරණය කෙරෙන බවද පැවසූ ජනාධිපතිතුමා ඒ තුළින් එම ප‍්‍රදේශවල ගොවි ජනතාවගේ ජීවිත සමෘද්ධිය කරා ගමන් කරනු ඇති බවද ප‍්‍රකාශ කළේය.

මෙතෙක් කිසිදු රජයකින් විසදුමක් නොලැබුණු කැළිකසළ ගැටලූවට ද, යළිත් මේ රටේ බලයට පැමිණෙන කිසිදු රජයකට මුහුණදීමට සිදු නොවන ආකාරයෙන් ස්ථිර සාර විසදුමක් වත්මන් රජය යටතේ ලබන වසර වන විට කි‍්‍රයාත්මකවන බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා ඉතිහාසයේ ප‍්‍රථම වරට කැළිකසළවලින් විදුලිය උත්පාදනය කිරීමේ සහ කාබනික පොහොර නිෂ්පාදනය කිරිමේ කටයුතු ද ආරම්භ කෙරෙන බව කියා සිටියේය.ඒ අනුව පළමු වටයේදී සහ දෙවැනි වටයේදී නිෂ්පාදනය කෙරෙන කාබනික පොහොර නොමිළේ ගොවි ජනතාවට ලබාදීමට කටයුතු කරන බව ද ජනාධිපතිතුමා සදහන් කලේය.

මහවැලි ජනපදිකයන්ට ඉඩම් ඔප්පු ලක්ෂයක් බෙදාදීමේ ජාතික වැඩසටහන යටතේ මහවැලි එච් කලාපයේ ගොවි ජනතාවට ඉඩම් ඔප්පු 6200 ක් ප‍්‍රදානය කිරීම මෙහිදී සිදුවූ අතර එය සංකේතවත් කරමින් සිය දෙනෙකුට ඉඩම් ඔප්පු ප‍්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

RSL

Related Posts