කෝමාරිකාවල ‘පත‍්‍ර කුණුවීමේ රෝගයෙන්’ වගාබිමේ අනෙකුත් බෝග අනතුරේ

Spread the love

රෝග ලක්ෂණ මුලින්ම දක්නට ලැබෙන්නේ පසට වඩාත් ළංව පිහිටන පත‍්‍ර ප‍්‍රදේශ වලිනි. තෙල් පැල්ලමක් වැනි ස්වභාවයෙන් ඇරඹෙන රෝග ලක්ෂණ දින දෙක තුනක් ගතවෙත්දී පත‍්‍රය පුරාම පැතිර යයි. පත‍්‍රය කහ පැහවී කුණුවී ගැලවී යාම අවසන් ප‍්‍රතිඵලය වන්නේය.

කෝමාරිකා ශාකය කලකට ඉහතදී මෙරට භාවිතා කෙරුවේ අලංකාරය උදෙසා වවන ශාකයක් හා දේශීය ඖෂධීය පැලෑටියක් වශයෙනිග මෙම ශාකයේ ඖෂධීය ප‍්‍රයෝජන වලට අමතරව වෙනත් ප‍්‍රයෝජන රාශියක් පසුගිය දශක කීපයක් තුළදී සමාජගතවීම හේතුවෙන් කෝමාරිකා වගාව අද දවසේ ආර්ථික වගාවක් බවට පත්වී තිබේ.

අරාබි අර්ධද්වීපය තුළ සම්භවය ලැබුවායි විශ්වාස කෙරෙන මෙම සදාහරිත බහුවාර්ෂික ශාකය මේ වනවිට ලොව පුරා බොහොමයක් ප‍්‍රදේශයන්හි වගා කරනු ලබන්නේ උදාවී ඇති මෙම වාසිදායක තත්වය නිසාය.

පැලෑටියේ ස්වභාවය අනුව බොහොමයක් කෘමි පළිබෝධකයින්ට ප‍්‍රතිරෝධී බවට වාර්තා පැවතුනත් ‘මකුළු මයිටාවුන්, පිටිමකුණන්, ශල්ක කෘමීන් හා කූඩිත්තන් වැනි සතුන්ගේ ආසාදනයන්ට යම් තරමකට කෝමාරිකා පාත‍්‍ර වන බවද පෙනීගොස් තිබේ.

මීට අමතරව ගොවි ක්ෂේත‍්‍ර වලින් පසුගිය දිනවලදී වාර්තා වූ කෝමාරිකා පත‍්‍ර කුණුවීමේ රෝගී තත්වයක් කෙරෙහි කෘෂි ව්‍යාධි විද්‍යාඥයින්ගේ අවධානය යොමුවී ඇත්තේ මේ හරහා වෙනත් කෘෂි බෝගයන් කෙරෙහි බලපෑමක් ඇතිවේද යන සාධාරණ සැකය මතය.

කෝමාරිකා යනු කෘෂිකාර්මික බෝගයක් යනුවෙන් තවමත් නිශ්චිතව ස්ථානගත කිරීමක් කර නැත. අවදානම වන්නේ වගාකරුවන් මහත් උනන්දුවකින්, ඇතැම්විට තම කෘෂිකාර්මික ඉඩම් පවා යොදාගනිමින් කෝමාරිකා වගාවට පෙළඹීම නිසා. යම් රෝග කාරකයෙක් මෙම වගාවන් හරහා වගා ඉඩම් කරා පැමිණීමේ හැකියාවක් ද තිබීමයි.

අනෙක් අතට ඉල්ලූම ඉක්මවා යන වගාවක් රට පුරා ස්ථාපනය වීම හමුවේ මේ වනවිටත් අලෙවියේ ගැටළු පවතින බවටද වගාකරුවෝ මැසිවිලි නගති‍. එවන් පසුබිමක හා රෝග පැතිරීම මත යමෙකු කෝමාරිකා වගාව අතහැරිය හොත් අවසන් ප‍්‍රතිඵලය ලෙස ඉතිරි වනු ඇත්තේ රෝගකාරකයින්ගෙන් කෙලෙසුණු බිම්කඩක් පමණි‍. වෙනත් ගොවිතැනක් උදෙසා එය පිරිසිදු කරගැනීම ද අභියෝගාත්මක විය හැකිය. මේ නිසා කරුණු නිසි ලෙස දැනගෙන වගාවට පිවිසීම සැමගේ වගකීමකි.

අනෙක් අවදානම් තත්වය වන්නේ බඩඉරිඟු, එළවලූල සහ කෙසෙල් වැනි පලතුරු බෝග සමග කෝමාරිකා වැවීමයි. උතුරේ කෙරෙන අර්තාපල් වගාව සමගද කෝමාරිකා වැවීමේ අවදානමක් තිබේ. පොල් වගාව තුළ වැවීමේ නම් අනතුරක් නොමැති බවද සඳහන් කළ යුතුය.

රෝගකාරකයෙකුට වෙනත් ආර්ථික වගාබිමක් ආක‍්‍රමණය කිරීමට මෙම මිශ‍්‍ර වගාව හොඳ අවස්ථාවක් වේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පාලනයට යටත් නොවන බෝගයක් වුවද කෝමාරිකා පිළිබඳව කෘෂි විද්වතුන්ගේ අවධානය යොමුවී ඇත්තේ මෙම කරුණු හේතුවෙන්ය.

2019 වසරේ සැප්තැම්බර් මාසයේදී පුත්තලම් දිස්ත‍්‍රික්කයේ මුන්දලම ප‍්‍රදේශයෙන් අපිට වාර්තා උනා වාණිජ කෝමාරිකා වගාවක ‘මෘදු කුණුවීම’ නමැති රෝගී තත්වය තිබෙනවා කියලා. අපි එහි සාම්පල ගෙනත් අනුක ජීව තාක්ෂණ වැනි වඩාත් නිවැරදි ක‍්‍රම භාවිතා කරලා මෙම රෝගී තත්වය ස්ථිර කරගත්තා. රෝගකාරක බැක්ටීරියාව ඩික්කෙයා ක‍්‍රිසැන්තෙමි Dickeya chrysanthemi වශයෙනුයි හඳුනාගත්තේ. කලින් මෙය නම් කරලා තිබුනේ අර්වීනියා ක‍්‍රිසැන්තෙමි Erwinia chrysanthemi කියලයි”

රෝගකාරකය පිළිබඳව එසේ කරුණු දක්වන්නේ ගන්නොරුව උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ ව්‍යාධි විද්‍යාඥ ගීතානි වීරරත්න මහත්මියයි.

ඒ අනුව මෙතෙක් විවිධ මාධ්‍යය මගින් මෙම රෝග තත්වය හඳුන්වා දුන් පරිද්දෙන් මෙය බැක්ටීරියා හිටුමැරීම සාදන බැක්ටීරියාවේ අසාදනය නම් නොවේ.

රෝග ලක්ෂණ මුලින්ම දක්නට ලැබෙන්නේ පසට වඩාත් ළංව පිහිටන පත‍්‍ර ප‍්‍රදේශ වලිනි. තෙල් පැල්ලමක් වැනි ස්වභාවයෙන් ඇරඹෙන රෝග ලක්ෂණ දින දෙක තුනක් ගතවෙත්දී පත‍්‍රය පුරාම පැතිර යයි. පත‍්‍රය කහ පැහවී කුණුවී ගැලවී යාම අවසන් ප‍්‍රතිඵලය වන්නේය.

වගාකරුවන් විසින් මෙතැනදී සිදුකරන අකටයුත්තක් වන්නේ විනාශ වූ මෙම ශාක වලින් ගලවා ගන්නා මොරෙයියන් පැලකර අලෙවි කිරීම වන අතර මේවා නිරෝගී පැල නොවේ. රෝගය පැතිරීමට මෙවැනි ක‍්‍රියාවන් ඉවහල් වන නිසාත්, රෝපණ ද්‍රව්‍යය ප‍්‍රමිතිගත කිරීමේ ක‍්‍රමවේදයක් කෝමාරිකා බෝගය වෙනුවෙන් නොමැති නිසාත්, රෝගය නොමැති වගාවකින් නිපදවන නිරෝගී පැල තෝරා මිලදී ගැනීමට අලූතින් වගාකරන්නන් උනන්දු විය යුතුය.

” අපි රෝගය වැඩිපුරම දැක්කේ වතුර රැඳෙන තැන්වල. විසිරුම් ජල සම්පාදනය යහමින් කරන, වැලි පසක් නොමැති තැන්වලත් රෝගය තිබුණා. ඒ නිසා ජලවහන ක‍්‍රම හොඳින් සැකසූ ඉඩම් මේ වගාව සඳහා තෝරා ගන්න ඕනෑ. කුඹුරු ඉඩම් සුදුසු නෑ. වැලි සහිත පසක් තමයි වගාවට සුදුසු වන්නේ. ජලවහනය දුර්වල නම්, පාත්ති පටු කරලා, වටේ කාණු ගැඹුරු කරලා, කෝමාරිකා වගාවකට සුදුසු පරිදි භූමිය සකසා ගන්න ඕනෑ” ගීතානි මහත්මිය තවදුරටත් ප‍්‍රකාශ කර සිටී.

ඇය පෙන්වාදෙන තවත් ආරක්ෂිත පියවරක් වන්නේ, කෝමාරිකා පත‍්‍ර කැබලි මගින් වර්ධක ප‍්‍රචාරණයෙන් පැල නිෂ්පාදනය කරන විට භාවිතා කරන පිහියා වැනි ආයුධ බැක්ටීරියා පැතිරවීමේ මෙවලම් බවට පත්වීම හැකිතාක් අවම කරගත යුතු බවයි. විෂබීජනාශක දියරයන්ගෙන් ජීවානුහරණය කරගන්නා ලද කැපුම් උපකරණ භාවිතය මෙහිදී යෝජනා කළ හැකිය.

කෙසෙල්ල ගෝවා, මාළුමිරිස් වැනි වගාවන් සමග මිශ‍්‍ර බෝගයක් ලෙස කෝමාරිකා වැවීම වඩාත් අවදානම් සහිත වන්නේ ඉහත කී බැක්ටීරියා ප‍්‍රභේදයන් හමුවේ එම ශාකයන්ද සංවේදී වෙමින් රෝගයන්ට ගොදුරුවීමේ හැකියාවක් ඇති නිසාය. මේ නිසා ඵලදායී කෘෂිකාර්මින සරු ඉඩම් වලින් බැහැරව මෙවැනි වගාවන් සඳහා ආන්තික භූමි යොදාගැනීමත්, රෝපණ ද්‍රව්‍යය නිෂ්පාදකයින් වඩාත් සැලකිලිමත්ව ජීවානුහරන තත්වයන් යටතේ නිරෝගී පැල නිපදවීමත්, වගාකරුවන් කෝමාරිකා වලට ගැලපෙන වගාබිම් තෝරාගෙන, නිසි ලෙස බිම් සකසා, නිරෝගී පැල වලින් වගා ස්ථාපනය කිරීමත් රෝගී ශාක අවශේෂයන් සම්පූර්ණයෙන් විනාශකිරීමට පියවර ගැනීමත් වැනි කරුණු කෙරෙහි සැලකිලිමත් වන්නේ නම් කෝමාරිකා වගාවේ ප‍්‍රසාරණය කෘෂිකාර්මික නිෂ්පාදනයන් කෙරෙහි ඇතිකෙරෙන බලපෑම අවම මට්ටමකින් පවත්වා ගත හැකිවනු ඇත.

වගා ක්ෂේත‍්‍රයක රෝගය මුලින්ම මතුවන්නේ තැන තැන විසිරුණු රෝගී ශාක වශයෙනි. එවැනි අවස්ථාවකදී යුහුසුළුව කටයුතු කරමින් රෝගය පැතිරීම වළක්වා ගත යුතුය. රෝගී පැලල ඒවා අශ‍්‍රිතව ඇති මොරෙයියන්ද සමග මුලින්ම ගලවා විනාශ කළ යුතුවේ. ඒ අවට පසද හැකි තරමින් ඉවත් කිරීම වඩාත් සුදුසුයග මෙම රෝගයට ප‍්‍රතිකාර නොමැත. රෝගය වැළඳීම හා පැතිරීම වැලැක්වීම එකම ප‍්‍රතිකර්මයයි. මේ දිනවල සමාජගතව පවතින මෙම මාර්ගෝපදේශය කෝමාරිකා වෙනුවෙන්ද මැනවින් ගැළපෙන්නේය.

පිටපත : සනත් එම්. බණ්ඩාර – සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ, ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය, ගන්නොරුව

තාක්ෂණික කරුණු : ගීතානි වීරරත්න – ප‍්‍රධාන කෘෂි විද්‍යාඥ (ශාක ව්‍යාධිවේදී*, උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය, ගන්නොරුව

RSL

Related Posts