කථානායකට පිටකොන්දක්, මොළයක් දෙන්න අපිට බෑ

Spread the love

කථානායකතුමාට කරුණු පැහැදිලි කර දීමට තමන්ට හැකි නමුත් ඒවා තේරුම් ගන්න මොළයක් ලබාදීමට නොහැකි බවත් අපට සිටින්නේ රිමෝට් කන්ට්‍රෝල් කථානායකතුමෙක් බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පැවැසීය.

මන්ත්‍රිවරයා මෙසේ පැවැසුවේ ඊයේ (13දා) පිවිතුරු හෙළ උරුම ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය. එහිදී මන්ත්‍රිවරයා මෙසේද කීවේය.

විපක්ෂනායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබාදීමට එරෙහිව ආණ්ඩුව ඉදිරිපත් කළ තර්ක හතරටම අපි උත්තර දුන්නා. මුලින්ම කිව්වේ ආණ්ඩුවේ නායකයා වන ජනාධිපති තමුන්ලාගේ සන්ධානයේ නායකයා. ඒ නිසා විපක්ෂනායක ධුරය දෙන්න බෑ කියලා. අපි පෙන්නලා දුන්නා 2001,2004 කාලේ පොදු පෙරමුණේ නායිකාව, රටේ නායිකාව ලෙස චන්ද්‍රිකා මැතිනිය සිටියදී විපක්ෂනායක ධුරය දැරුවේ පොදු පෙරමුණෙන්ම පත් වූ රත්නසිරි වික්‍රමනායක මැතිතුමා සහ මහින්ද රාජපක්ෂ මැතිතුමා කියලා.
ඊට පස්සේ ආණ්ඩුව ප්‍රතිඋත්තර දෙනවා මේ ආණ්ඩුවේ ඇමැති ධුර සන්ධානයේ මන්ත්‍රිවරුන් දරනවා කියලා.

අපි එතකොට පෙන්නුවා, දින සියයේ ආණ්ඩුවේ නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා විපක්ෂනායක ධුරය දරද්දී සන්ධානයේ මන්ත්‍රිවරු ආණ්ඩුවේ හිටියා. එදා ඒක ප්‍රශ්නයක් නොවුණේ ඇයි? 2010 වන විට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරු 36ක් ආණ්ඩුවට එකතු වී ඇමැති ධුර දැරීම රනිල් වික්‍රමසිංහ මැතිතුමාට විපක්ෂනායක ධුර ලබාදීමට ප්‍රශ්නයක් නොවුණේ ඇයි?

ඊට පස්සේ ඊළඟ තර්කය ගේනවා, සන්ධානයයි එක්සත් ජාතික පක්ෂයයි ජාතික ආණ්ඩුවකට ගිවිසුම් අස්සන් කර තිබෙන නිසා ආණ්ඩුවේ නිල පාර්ශ්වකරුවකු හැටියට ඒ පක්ෂයටම විපක්ෂ නායකකම දෙන්න බෑ කියනවා. ඒක පට්ටපල් බොරුවක්. ජාතික ආණ්ඩු ගිවිසුම අස්සන් කළේ එජාපයයි ශ්‍රී ලනිපයයි අතර මිස එජාපයයි සන්ධානයයි අතර නෙවෙයි. සන්ධානය සමඟ ගිවිසුමක් අස්සන් කළා කියලා හිතමු. ඒත් යථාර්ථය තමයි ආණ්ඩුව පැත්තේ ඉන්නේ මන්ත්‍රිවරු 25 දෙනයි. විපක්ෂයේ මන්ත්‍රිවරු 70ක් ඉන්නවා. මේක හරියට ජිරාෆ් කෙනකුගේ ඔළුවයි බෙල්ලයි විතරක් ඉන්දියාවේ තියෙද්දී කකුල් හතරම ලංකාවේ තිබුණත් ජිරාෆ් ඉන්නේ ඉන්දියාවේ කියලා කිව්ව වගේ. මේ තර්ක සියල්ලටම උත්තර දුන්නම කියනවා තමුන්ලා කණ්ඩායමක්නේ කියලා. අපිත් පිළිගන්නේ පක්ෂ විපක්ෂයේ තිබෙන ලොකුම පක්ෂය දෙමළ ජාතික සන්ධානය. හැබැයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය පක්ෂ පිළිගැනීම නෙවෙයි. කණ්ඩායම් පිළිගැනීම. 2004 ජුනි 16දා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආණ්ඩුවේ හිටපු ජවිපෙ මන්ත්‍රිවරු 39ක් ගිහින් විපක්ෂයේ වාඩි වුණා. ඒ අය වෙනම කණ්ඩායමක් ලෙස පිළිගත්තා. 2007 ජනවාරි 28 වැනිදා කරු ජයසූරිය වත්මන් කථානායකතුමාගේ නායකත්වයෙන් එජාප මන්ත්‍රිවරු 18 දෙනක් ආණ්ඩුවට එකතු වුණා. ඒ අයත් වෙනම කණ්ඩායමක් ලෙස පිළිගත්තා.

මේ පිළිබඳ හොඳම නිදසුන තියෙන්නේ 1993 මාර්තු 23 මොහොමඩ් කථානායකතුමාගේ තීන්දුවේ. විපක්ෂනායිකා සිරිමාවෝ මැතිනිය විදේශගතව සිටින සමයේ, තමන් වෙනුවෙන් වැඩ බලන්නේ කේ.බී. රත්නායක මන්ත්‍රිතුමාය කියලා කථානායකතුමාට දැනුම් දුන්නා. ඒ අතරේ විපක්ෂයේ බහුතර මන්ත්‍රි කණ්ඩායමක් අස්සන් කරලා කථානායකතුමාට දැනුම් දෙනවා, අපි වැඩබලන විපක්ෂනායක ලෙස පිළිගන්නේ අනුර බණ්ඩාරනායක මැතිතුමාය කියලා. ඒ අනුව කථානායකතුමා පිළිගත්තේ විපක්ෂයේ බහුතර මන්ත්‍රි කණ්ඩායමේ ඉල්ලීම. පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව යද්දී විපක්ෂයේ බහුතර මන්ත්‍රි කණ්ඩායම ඉල්ලන දිනේෂ් ගුණවර්ධන මැතිතුමාට විපක්ෂනායක ධුරය ලබාදිය යුතුයි.

ආශ්‍රිත පුවත්: කථානායක කම කරේ තියන් ‘කරු’ මේ කඩේ යන්නේ කාටද..?

RSL

Related Posts