ඉතිහාසයේ කිසිඳු එජාප ආණ්ඩුවකින් බිඳ නොහෙලු ආර්ථිකය මංගල උඩුයටිකුරු කරයි; ලොව ඉහළම මූර්ත පොලී අනුපාතය දැන් ශ්‍රී ලංකාවේ!

Spread the love

පක්ෂ බේදයකින් තොරව මේ රටේ ජනතාව තුල තිබූ එක් විශ්වාසයක් සහ කියවීමක් නම් “යූඑන්පී ආණ්ඩුවක් ආවොත් මොනවා නැතත් රටේ ආර්ථිකයත් ගොඩ අපේ පොකට්ටුවත් (ව්‍යාපාර සහ ආදායම් මාර්ග) ගොඩ” කියාය. එහෙත් ඉතිහාසයේ මෙතෙක් කිසිඳු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ කඩා බිඳ නොහෙලු ශ්‍රී ලංකාවේ ආර්ථිකය එක්සත් ජාතික පක්ෂයේ අවම සුදුසුකම්වත් නොමැතිව මුදල් අමාත්‍යධුරයට පත් මංගල පින්සිරි සමරවීර විසින් වසර එකහමාරක් වැනි ඉතා කෙටි කාලයක් තුල ලෝක වාර්තා පිට වාර්තා තබමින් ඓතිහාසික කඩාවැටීමකට කල්කරමින් තිබේ.

රටක පවතින මූල්‍ය පොලී අනුපාතිකය එම රටෙහි පවතින උද්ධමන අනුපාතය සමඟ ගැලපූ විට මූර්ත පොලී අගය හිමි වන අතර එය රටක ආර්ථික තත්ත්වය කියාපාන ප්‍රධාන මිනුම් දණ්ඩකි.

එවන් පසුබිමක ලොව ඉහළම මූර්ත පොලී අනුපාතයන් පවතින රටවල් අතර දකුණු ආසියානු කලාපයේ රටවල් පෙරමුණ ගෙන ඇති බව BLOOMBERG වෙබ් අඩවිය අද වාර්තා කර තිබුණි.

ඒ අනුව ශ්‍රී ලංකාව ලොව ඉහළම මූර්ත පොලී අනුපාතය ඇති රටවල් අතර පළමු තැනට පත්ව සිටියි.

ශ්‍රී ලංකාවේ මූර්ත පොලී අනුපාතය මේ වනවිට පවතින්නේ සියයට 6.2 ක අගයකයි.

සියයට 4.8 ක ප්‍රතිශතයක් ඇති ඊජිප්තුව දෙවන ස්ථානයේත්, සියයට 4.3 ක අගයක පවතින පකිස්ථානය සහ ඉන්දියාව පිළිවෙලින් මෙම ලැයිස්තුවේ තුන්වන සහ සිව්වන ස්ථානවලත් රැඳී සිටියි.

අදාළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ මෙලෙස මූර්ත පොලී අනුපාතය ලෝකයේ ඉහළම අගයන් අතර පැවතීම ශ්‍රී ලංකාව ඇතුළු මෙම රාජ්‍යන්හී ඇති මූල්‍යම අස්ථාවරත්වයේ පිළිබිඹුවක් වන බවයි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න මෙසේ පැවසීය.

“මූර්ත පොළී අනුපාතිකය වැඩිවීම හරහා රටේ ආර්ථිකයේ ස්ථාවරභාවයේ අඩු වීමක් පෙන්නුම් කරනවා. මූර්ත පොළී අනුපාතය වැඩිවුණාම වෙන්නේ, විනිමය අනුපාතය අතිප්‍රමාණය වීමක් දීර්ඝ කාලයේ දී වෙන්න පුළුවන්. අපි අපනයනය කරන ද්‍රව්‍ය විදේශ වෙලෙඳපොළේ දී තරඟකාරීත්වයෙන් අඩුවෙනවා. ඒ වගේම ආනයනය කරන ද්‍රව්‍ය භාණ්ඩ මිල ගණන් අඩු වීමක් වෙනවා.“

“ඒ වගේම මූර්ත පොළී අනුපාතය ඉහළ යන කොට රට ඇතුළේ මිනිස්සු වියදම් කිරීමට පෙළෙඹීම අඩු වෙනවා. වියදම් නොකර, වැඩිපුර ඉතුරු කරන්න උත්සාහ ගන්නවා. එවිට භාණ්ඩ හා සේවාවලට තිබෙන ඉල්ලුම අඩුවෙනවා. මේ නිසා මූර්ත පොළී අනුපාතිකය වැඩිවෙන කොට ආර්ථිකයේ නිෂ්පාදන වේගය අඩුවීමක් වෙන්න පුළුවන්. එය සේවා නියුක්තිය පහළ යාමට සෘජුව බලපානවා.“

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහාචාර්ය කරුණාරත්න මහතා කියා සිටියේ, දකුණු ආසියානු රටවල මුදල් ඒකක විශාල වශයෙන් අවප්‍රමාණය වීම හමුවේ මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.

“අපි මෑත කාලයේ දී දැක්ක දෙයක් තමයි දකුණු ආසියානු රටවල මුදල් ඒකක විශාල වශයෙන් අවප්‍රමාණය වීම. මේ හේතුව නිසා මේ රටවල් අවප්‍රමාණය වළක්වා ගන්න, පොළී අනුපාතය ඉහළ මට්ටමක පවත්වා ගෙන යනවා. මෙය දීර්ඝ කාලයේ දී කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මෙහිදී රජයේ වියදම් වැඩිවී, ආර්ථිකයේ අවධමනකාරී ස්වරූපයක් ඇතිවෙලා භාණ්ඩ හා සේවාවල මිල ගණන් අඩු වීමක් සිදුවෙනවා.“

“පොළිය වැඩි නිසා මිනිස්සු වියදම් නොකර සල්ලි ඉතුරු කරනවා. බැංකුවල සල්ලි තැන්පත් කරන්න ගන්නවා. නමුත් ආයෝජකයින් පොළිය වැඩි නිසා ණය ගන්නේ නැහැ. එහෙම වෙනකොට ව්‍යාපාර ආයතන පුළුල් වීමක් වෙන්නේ නැහැ. ඒ වගේම රටේ නිෂ්පාදනය වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා දීර්ඝ කාලයේ දී මේ තත්ත්වය තියාගෙන යන්න බැහැ.“

-අද දෙරණ ඇසුරින්-

RSL

Related Posts