චීන රජයෙන් අපිට ලැබෙන ලොකුම තෑග්ග (Video)

Spread the love

අපේ රටේ දිස්ත්‍රික්ක 19ක ජීවත්වෙන 90,000ක් පමණ වූ වකුගඩු රෝගීන්ගේ හා ඔවුන්ගේ පවුල්වල ලක්ෂ 4ක් පමණ වූ සාමාජික සාමාජිකාවන්ගේ හිතට සහනයක් ගෙනෙන දකුණු ආසියාවේ විශාලතම ජාතික වකුගඩු රෝහලට පසුගිය 6 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පොලොන්නරුවේදි මුල්ගල තැබීය. ජනපතිගේ ඉල්ලීම අනුව චීන රජයේ පූර්ණ පරිත්‍යාගයක් ලෙස ලැබෙන මෙහි වටිනාකම රුපියල් මිලියන 12,000 කි. වකුගඩු රෝගයෙන් පීඩාවිඳින ජනතාව සුවපත් කිරීම වෙනුවෙන් ජනාධිපතිතුමා තුළ තිබූ දිගුකාලීන අපේක්ෂාවක් පළ දරමින් මෙම රෝහල පොලොන්නරුව මහ රෝහලට නුදුරින් 28 කණුව ප්‍රදේශයේ ඉදි කෙරේ.

රට පුරා විසිරී සිටින වකුගඩු රෝගීන් වෙනුවෙන් මෙම රෝහල ඉදිකෙරෙන අතර, ලොව නවීනතම පරීක්ෂණාගාර සහ අධි තාක්ෂණික පහසුකම්වලින් සමන්විතය. වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්ම, රුධිර කාන්දුකරන, සායනික, රසායනාගාර හා උපදේශන සේවා ආදී සියලු සේවා මෙම රෝහල මඟින් සැපයෙන අතර මූලික ප්‍රතිකාර ඒකකක් සහිත බාහිර රෝගී ප්‍රතිකාර ඒකකයක්, ඇඳන් 200 කින් යුත් නේවාසික රෝගී ප්‍රතිකාර ඒකකයක්, රුධිර කාන්දුකරණ ඇඳන් 100 ක් සහ නවීන තාක්ෂණික පහසුකම්වලින් යුත් ශල්‍යාගාර, දැඩි සත්කාර ඒකක දෙකක් සහ ලේ බැංකුවක් මීට ඇතුළත්ය.

මිත්‍ර රාජ්‍යයක් ලෙස චීනය සැමදා ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය මෙහිදී කෘතවේදීව සිහිපත් කළ ජනාධිපතිතුමා 2015 වසරේදී චීනයේ කරන ලද සංචාරයේදී චීන ජනාධිපති ෂීන් ජින් පින් මැතිතුමා සමඟ පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදුන් මෙම සුවිශේෂී තිළිණය පිළිබඳ චීන ජනාධිපතිවරයා ඇතුළු රජය වෙත සිය ස්තූතිය පිරිනැමීය. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක සුගතදාස යන මහත්වරු ද ශ්‍රී ලංකාවේ චීන තානාපති යී ෂියෑන්ලිං මහතා ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ශ්‍රී ලංකාවේ බෝ නොවන රෝග අතර ප්‍රධානතම රෝගයක් වන වකුගඩු රෝගය මේ වන විට ප්‍රබල සමාජ ගැටලුවක් බවට පත්ව ඇත. ඒ පිළිබඳ ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමුව තිබෙන අතර වකුගඩු රෝගය පාලනය සහ නිවාරණය වෙනුවෙන් මෙන්ම ප්‍රතිකාර අංශ ශක්තිමත් කිරීමට ද ජනාධිපතිතුමාගේ මඟපෙන්වීමෙන් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක ය. මීට සම්බන්ධ විවිධ ආයතන සම්බන්ධීකරණය වෙනුවෙන් වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකායක් පිහිටුවීමට ද ජනාධිපතිතුමා පියවර ගත්තේය.

මෙම වැඩපිළිවෙළට ජාත්‍යන්තර සහාය ද පුළුල් ලෙස ජනාධිපතිතුමා වෙත ලැබී තිබෙන අතර, මෙම රෝගයට මූලික හේතුව සොයා ගැනීම ඉලක්ක කරගත් පර්යේෂණ සඳහා ශ්‍රී ලංකා රජයට සහායවීමට ඕස්ට්‍රේලියානු න්‍යෂ්ටික විද්‍යා සහ තාක්ෂණ සංවිධානය ඉදිරිපත්ව සිටී.

පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මැතිවරණ ව්‍යාපාරයේදී පෝස්ටර් සහ කටවුට් සඳහා ලැබුණු පරිත්‍යාග තැන්පත් කරමින් ආරම්භ කළ වකුගඩු අරමුදල එතුමා බලයට පත්වීමත් සමඟ ජාතික වකුගඩු අරමුදල බවට ප්‍රකාශයට පත් කෙරුණු අතර ඒ සමඟ ද මේ වන විට දෙස් විදෙස් පරිත්‍යාගශීලීහු රැසක් අත්වැල් බැඳගෙන සිටිති.

වකුගඩු රෝගය පවතින ප්‍රදේශවල ජනතාවට ජල පෙරණ යන්ත්‍ර ලබාදීම, වකුගඩු රෝගයෙන් මව හෝ පියා අහිමි වූ පාසල් දරුවන්ට තම අධ්‍යාපන කටයුතු කර ගෙන යාම සඳහා ශිෂ්‍යත්ව ලබාදීම, වකුගඩු රෝගීන්ගේ භාරකරුවන් වෙනුවෙන් අනුරාධපුර, මහනුවර සහ ගිරාඳුරුකෝට්ටේ රෝහල්වලට අනුබද්ධ නේවාසිකාගාර සංකීර්ණ ඉදිකිරීම, වකුගඩු රෝගයට ගොදුරු වූ පවුල්වල ජීවනෝපාය මාර්ග නඟා සිටුවීම වැනි සුබ සාධන වැඩසටහන් මෙම අරමුදල හරහා සිදුකෙරේ. එමෙන්ම වකුගඩු රෝගීන් වෙනුවෙන් මසකට රුපියල් පන්දහසක දීමනාවක් ලබාදීමට ද ආණ්ඩුව පියවර ගෙන ඇත. මෙම රෝගය ව්‍යාප්තව ඇති ප්‍රදේශවල ජනතාවට පිරිසුදු පානීය ජලය ලබාදීම වෙනුවෙන් රජය ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ එක්ව පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කැර තිබේ.
වකුගඩු රෝගය පිළිබඳ පර්යේෂණ ගණනාවක් කළ රජරට විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා පවසන පරිදි දැනට අපේ රටේ දිස්ත්‍රික්ක 14 ක සංඛ්‍යා ලේඛන අනුව පුද්ගලයෝ 75,000 ක් මෙම වකුගඩු අකරණිය රෝගයෙන් පීඩා විඳිති. අනුරාධපුරය, පොලොන්නරුව, කුරුණෑගල, මාතලේ, වවුනියාව, බදුල්ල, අම්පාර, මොනරාගල, මුලතිව්, පුත්තලම, ත්‍රිකුණාමලය, හම්බන්තොට යන දිස්ත්‍රික්ක පුරා දැන් වේගයෙන් වකුගඩු රෝගය පැතිර යමින් තිබේ. ‍‍වෛද්‍ය චන්න ජයසුමන පවසන පරිදි දැනට 25,000 දෙනා වකුගඩු රෝගය නිසා මරණයට පත්වී ඇත.

මීට අමතරව වකුගඩු රෝගයට ආයුර්වේද ප්‍රතිකාර ලබන පිරිසක් හා රෝගය වැලඳුණු නමුත් රජයේ ලියාපදිංචි වී රෝහල්වලින් ප්‍රතිකාර නොගන්නා පිරිසක් සිටින බවට ද සෞඛ්‍ය අංශවලට වාර්තා වී ඇත. මේ පිරිස දැනට 15,000 – 18,000 අතර වේ. සමස්තයක් ලෙස ගත්විට අපේ රටේ දිස්ත්‍රික්ක 14 ක වකුගඩු රෝගීන් 85,000 – 90,000 අතර පිරිසක් සිටින බවත් වසරකට රෝගීන් ගණන 4,000 – 5,000 අතර ප්‍රමාණයකින් වැඩි වන බවත් අලුත්ම පර්යේෂණවලින් හෙළිවී තිබේ. වසරකට 1,000 – 1,500 අතර ගණනක් මේ රෝගයට දිවි පුදති. වයස අවුරුදු 10 සිට 90 දක්වා පුද්ගලයන්ට වකුගඩු රෝගය වැලඳී ඇති අතර වසර 20 – 30 ක පමණ කාලයක් කුඹුරු අස්වැද්දීමේ නිරත වුණු ගොවියන්ට වැඩිපුර මේ රෝගය වැලඳීමේ ප්‍රවණතාවක් පවතී.
1990 දශකය ඇතුළත වියළි කලාපයේ පදවිය ප්‍රදේශයේ මේ වකුගඩු රෝගය ආරම්භ වූ බවට තොරතුරු පවතී. දැනට ඇති තොරතුරු අනුව උතුරු මැද පළාතේ වැඩිහිටි පිරිමින් සීයකගෙන් දහයකට පමණ මෙම රෝගය වැලඳී ඇත. රජයේ රෝහල්වලට අමතරව ඇතැමුන් ආයුර්වේද රෝහල්වලින් මේ රෝගයට ප්‍රතිකාර ගන්නා නිසා ඒ සංඛ්‍යා ලේඛන අපට දැනගන්නට නොමැත.

වකුගඩු රෝගයට නිශ්චිත හේතුවක් මෙතෙක් ස්ථිර ලෙස අනාවරණය වී නැතත් වකුගඩු රෝගය පිළිබඳ පර්යේෂණ කළ එතෙර මෙතර විද්‍යාඥයන් හා විශේෂඥ වෛද්‍යවරුන් පවසන්නේ කෘෂි රසායනික හා රසායනික පොහොරවල ඇති ආසනික්, රසදිය, ෆ්ලෝරයිඩ්, කැස්මියම් හා ‘රවුන්ඩ්අප්’ වැනි කෘමිනාශකවල ඇති ‘ග්ලයිෆොසේට්’ වැනි උග්‍ර විෂ රසායනික මේ වකුගඩු රෝගයට හේතුවී ඇති බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය, කොළඹ සරසවිය හා මූලික අධ්‍යයන ආයතනය කළ පර්යේෂණවල නිගමන අනුව මේ රෝගය ප්‍රධාන ලෙස ඇති වන්නේ දූෂිත ජල පරිභෝජනයෙනි.

වෛද්‍ය චන්න ජයසුමන සිය පර්යේෂණ අනුව පවසන්නේ මේ රෝගයෙන් බේරීමට නම් කළ යුත්තේ වස විසෙන් තොර ගොවිතැනකට අප යොමු විය යුතු බවයි. ‍‍‘ග්ලයිෆොසේට්’ වැනි විෂ රසායනික ඇති ‘රවුන්ඩ්අප්’ වැනි කෘමිනාශක රජය විසින් තහනම් කර ඇතත් සමහර මැති ඇමැතිවරුන් හා නිලධාරින් ඒවා යළිත් මෙරටට ගෙන ඒමට කරන ඉල්ලීම් උතුරු මැද තවත් පිරිසක් මරු වසඟයට යවන වැඩක් බව ද වෛද්‍ය චන්න ජයසුමන අවධාරණය කරයි.

මේ පිළිබඳව පර්යේෂණ කරන පේරාදෙණිය සරසවියේ භූ ගර්භ විද්‍යා මහාචාර්ය සී.බී. දිසානායක මහතා පවසන්නේ මේ වකුගඩු රෝගයට පොළොවේ ඇති කිවුල ෆ්ලෝරයිඩ් ප්‍රධාන හේතු බවයි.

මහාචාර්ය සී.බී. දිසානායක, වෛද්‍ය චන්න ජයසුමන, මහාචාර්ය නලින් ද සිල්වා, මහාචාර්ය ශාන්තා මෙනෙවිය, වෛද්‍ය විශේෂඥ විරංග ගුණතිලක ඇතුළු දේශීය විද්වතුන් මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ විද්වතුන් පවසා ඇත්තේ මේ රෝගය වැළැක්වීමට නම් මේ දිස්ත්‍රික්ක 14 සඳහා පිරිසුදු පානීය ජලය නළ මාර්ගයෙන් ලබා දිය යුතු බවයි.

මේ සියලු පර්යේෂණ අනුව පැහැදිලි වන්නේ වස විසෙන් තොරව පරිසර හිතකාමී වගාවල යෙදීමෙන් රෝගය වැලඳීම අඩුවන බවයි. එමෙන්ම වියළි කාලයට කුඹුරු වැඩ කරනවිට හොඳින් ජලය පානය කිරීම අත්‍යවශ්‍ය බවත්, වෙනත් රෝග සඳහා දිගු කාලීන ඖෂද භාවිතයෙන් ද වකුගඩු රෝගය වැලඳීමේ ඉඩකඩ ඇති බවත් පරීක්ෂණ අනුව හෙළිවී තිබේ.

කෙසේ වුවත් වකුගඩු රෝගය වැලඳීම් වැළැක්වීමට ජනාධිපති තුමා විසින් වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බළකාය පිහිටුවා ඒ මඟින් වැඩකටයුතු රැසක් ක්‍රියාවට නංවා තිබේ. මේ පිළිබඳව කරුණු පැහැදිලි කරන වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව පවසන්නේ දැනටමත් වකුගඩු රෝගය වැඩියෙන් ඇති ප්‍රදේශවල පුද්ගලයන් ලක්ෂ 21 ක් වකුගඩු පරීක්ෂාවට ලක්කර ඇති බවයි. මූලය හඳුනා නොගත් වකුගඩු ‍රෝගය සඳහා බලපාන ප්‍රධාන හේතුව පලිබෝධනාශක හා වල්නාශක භාවිතය බවට මත පවතී. මේ අනුව ජනාධිපතිතුමා ‘ෆ්ලයිෆොසේට්’ තහනම් කර ‍අනෙක් විෂ කෘෂි රසායනික මෙරටට ගෙන්වීම පාලනය කර ඇත.

වකුගඩු රෝගය වැළැක්වීමට පසුගිය කාලය ඇතුළත ජනපතිගේ උපදෙස් මත විශේෂ අවධානයක් යොමු කර ඇත. ඒ අනුව ලංකාවේ මුල්ම වකුගඩු රෝහල වන මාලිගාවත්ත වකුගඩු රෝහ‍ලේදි 2017 වසරේදි වකුගඩු සැත්කම් 50 ක් පමණ සිදු කර තිබෙන බවද විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව පවසයි.

මේ අයුරින් වකුගඩු ‍‍රෝගය වැළැක්වීමට ජනාධිපතිතුමා පෞද්ගලික ලෙසම උනන්දු වීමේ ප්‍රතිඵලයක් ලෙස අපට ලැබුණු දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල ඉක්මනින් ඉදිවිම මෙරට සියලුම වකුගඩු රෝගීන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සැබෑ ප්‍රාර්ථනය වී ඇත.

RSL

Related Posts