සයිටම් එකට ඇයි විරුද්ධ වන්නේ..?

Spread the love

ජනතා විමුක්ති පෙරමුණ ඇයි සයිටම් ආයතනයට විරෝධය පළ කරන්නේ?

අපි විරුද්ධ වෙන්නේ සයිටම් ආයතනයේ ප්‍රමිතිය කියන කාරණයට පමණක් නෙවෙයි. ජනතාවගේ අයිතියක් වන අධ්‍යාපනය, සෞඛ්‍ය විකිණීමට ජවිපෙ ප්‍රතිපත්තියක් ලෙස විරුද්ධයි. අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවාවන්ට සාධාරණ ප්‍රවේශයක් සහතික කරන්නට නම් එය රජය යටතේ පැවැතිය යුතුයි. රටක් දියුණු වන විට අධ්‍යාපනය හා සෞඛ්‍ය පෞද්ගලික අංශයෙන් මිදිලා රජයේ වගකීමක් බවට පත් වෙනවා. අපේ රටේ සිදුවන්නේ ඒකේ අනිත් පැත්ත.

සයිටම් ආරම්භයේදීම ජවිපෙ විරුද්ධ වුණාද?

සයිටම් කියන මේ වංචනික ආයතනයේ ජාතක පියා මහින්ද රාජපක්ෂ. 2009 මේ ආයතනය ආරම්භ වූ මොහොතේ සිටම ජවිපෙ පක්ෂයක් ලෙස විරෝධය පළ කළා. එයට ශිෂ්‍ය සංගම්, වෘත්තීය සමිති එක් වුණා. පාර්ලිමේන්තුවේ හැන්සාඩ් බැලුවා නම් අපේ විරෝධය බලන්න තිබුණා. අපි එදත් මහ පාරේ උද්ඝෝෂණය කළා. එහෙත් මේ තරම් විරෝධයක් දැක්කේ නෑ.

මුලින් කිව්වා වගේ ජවිපෙ අධ්‍යාපනය හා සෞඛ්‍ය විකිණීමට විරුද්ධයි. සයිටම් එකට එරෙහි මතය අඛණ්ඩව ගෙන ආවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව එයට විරුද්ධව පෙනී සිටිනවා. දැන් සයිටම් ආයතනය නීත්‍යනුකූල කර ගැනීමේ අවසන් උත්සාහයයි මේ. අපි මෙතරම් විරුද්ධත්වය පළ කරන්නේ ඒකයි.

80 දශකයේ අග හටගත් රාගම වෛද්‍ය විද්‍යාල ප්‍රශ්නය හා සයිටම් ප්‍රශ්නය සමානද?

1981 ජේ.ආර්. ආණ්ඩුව සමයේ උතුරු කොළඹ පෞද්ගලික ආයතනය ආරම්භ කළේ රජයේ ඉඩමක, රජයේ ගොඩනැඟිල්ලක, රජයේ ශික්ෂණ රෝහලක් සමඟ සම්බන්ධවයි. එහි බඳවාගත් ක්‍රියාවලිය හා මුදල් පැත්ත පමණයි පෞද්ගලික. මේ සයිටම් එක ඊට වෙනස්. එය පෞද්ගලික ව්‍යාපාරයක්. ඔහුගේ අරමුණ ලාභ ලැබීම පමණයි. ලාභයම ඉලක්ක කරගත් කූට ව්‍යාපාරිකයන් හැසිරෙන විදිහටයි. නෙවිල් ප්‍රනාන්දු මහත්තයා මුල ඉඳලා හැසිරුණේ. නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික සමාගම ලියාපදිංචි කරල තියෙන්නේ ආයෝජන මණ්ඩලයේ. එය මුදලට උපාධි ලබාදෙන ආයතනයක් ලෙස අරඹද්දී කොන්දේසි 2ක් පැවරුණා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගැනීම සහ විදේශ විශ්වවිද්‍යාලයකට අනුබද්ධ වීම තමයි කොන්දේසි. ආයෝජන මණ්ඩලය අනුමැතිය ඉල්ලුවේ කුමන වසරේද?

2008දී. එවිට නෙවිල් ප්‍රනාන්දු කිව්වේ හෙද සහ සෞඛ්‍ය විද්‍යා, තොරතුරු තාක්ෂණ කළමනාකරණ උපාධි දෙනවා කියලා පමණයි.

ඒවාට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලබාදී තිබෙනවාද?

හෙද හා සෞඛ්‍ය සඳහා වන උපාධි ලබාදීමේ අනුමැතිය අරන් නෑ.

මේ ආයතනයෙන් වෛද්‍ය උපාධි ලබාදීම ගැන කතා කළොත්?

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් උපාධි ප්‍රදානය කිරීමේ බලය ලබාදී තිබෙන්නේ වංචනික ආකාරයට. 2011 අගෝස්තු 30දා උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක ගහපු ගැසට් නිවේදනය බලාත්මක නෑ. ඒ ගැසට් එකේ කියලා තියෙන්නේ මාස 6ක් තුළ සයිටම් ආයතනයේ අඩුපාඩු සකස් කරනවා කියලා. මාස 6ක් පිරෙන්න දවස් 7ක් තියෙද්දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිගේ බලතල එස්.බී. ඔහුගේ අමත්‍යාංශයේ ලේකම්ට පවරලා දෙනවා.

එහෙම දෙයක් වුණේ උපාධි පැවරීමේ කාරණයේ තිබුණු ගැටලුව හින්දද?

ඒක පැහැදිලි කාරණයක්. එවකට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් ඇමැති එස්.බී. ලියුමක් ඉල්ලාගෙන අමාත්‍යාංශ ලේකම් හරහා මේ ආකාරයට උපාධි පවරන බලය ලබා දෙනවා. එස්.බී.ත් නෙවිල් ප්‍රනාන්දුත් එකතු වෙලා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවත් නොමඟ යවලා කරපු කූට උපක්‍රමයක් මේක. ඊළඟට වෛද්‍ය සභා අනුමැතිය ලබාගෙන කියලා වසර 7ක් තිස්සේ පුවත්පත් දැන්වීම් දාලා සිසුන් බඳවා ගන්නවා. සයිටම් ශිෂ්‍යත්ව කියලා උසාවි නඩු පවරාගෙන උසාවියේ එළියේදී එකඟතාවට ඇවිත් ඒවා උසාවියේදී තීන්දු විදියට රටට කියනවා.
හැබැයි මෙහි සායනික පුහුණුවට රජයේ රෝහල් 2ක් දෙන්න උසාවි නියෝගයක් දෙනවා.

ඔව්. මේ සයිටම් එකේ ඉගෙන ගන්න ළමයින්ට සායනික පුහුණුව දෙන්න කියලා රජයේ රෝහල් දෙක දෙන්නේ ඒ විදියට. ඒ කියන්නේ මේ ආයතනය ජනතාව වෙනුවෙන් වග කියන්න ඕනෑ රජයේ ආයතනවල ආයෝජන මණ්ඩලයටත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයටත් සෞඛ්‍ය අමාත්‍යාංශයටත් කොකා පෙන්නලා තමයි වැඩ කරලා තියෙන්නේ. මේවාට එදා හිටිය සෞඛ්‍ය සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරුන් වග කියන්න ඕනෑ. එදා ආණ්ඩුවේ ප්‍රධානියා වෙච්ච මහින්ද රාජපක්ෂත් වගකියන්න ඕනෑ.

එහෙත් අද මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායම සයිටම් විරෝධීන්?

ඒ තමයි රාජපක්ෂලාගේ දේශපාලනය. ඒ තමයි රාජපක්ෂලාගේ අවස්ථාවාදීකම. මේ රටේ රෝගී ජනතාවගේ ජීවිත විනාශ කරන නිදහස් අධ්‍යාපනය නැතිභංග කරන වෛද්‍ය උපාධි විකුණන කඩයට අවසර දීලා අද විපක්ෂයට වැටුණට පස්සේ මේවට විරුද්ධ වෙනවා. රාජපක්ෂ මහත්තයා කරලා තියෙන්නේ සරම ඇඳගෙන ඔළුවෙන් හිටගත්තා වගේ වැඩක්.

ඔබ නොකියා කියන්නේ මේ ආණ්ඩුවයි, ගිය ආණ්ඩුවයි දෙකම සයිටම්වල වරදක් කියන්නේ නැහැ කියලද?

මේ රටේ බලය තිබුණු පක්ෂ දෙකම ප්‍රතිපත්තියක් ලෙස අධ්‍යාපනය, සෞඛ්‍ය විකිණීම පිළිගන්නවා. එහෙත් බොරුවට විපක්ෂයේ සිටියදී විරුද්ධ වෙනවා.
ඒ කියන්නේ ඒකාබද්ධ විපක්ෂ සංවිධානය අද සයිටම් එකට විරුද්ධ වෙන්නේ බොරුවට.

ඔව්. මේ දෙගොල්ලම ජනතාවගේ අයිතීන් කප්පාදු කරනවා. අධ්‍යාපනය, සෞඛ්‍ය විකිණීම මේ දෙගොල්ලගේම ප්‍රතිපත්තිය. මහින්ද රාජපක්ෂලා විපක්ෂයට වැටුණට පසු දැන් සයිටම් විරෝධයේ වලිගෙ එල්ලෙන්න හදන්නේ ඇයි කියලා පැහැදිලියි. මේ අය ජනතාවගේ අයිතීන් කප්පාදු කරනවා විතරක් නෙවේ මාරුවෙන් මාරුවට ජනතාව රවට්ටමින් සිටිනවා. ඒක ජනතාව තේරුම් ගත්තේ නැත්නම් අනාගතයත් වර්තමානය වගේම වේවි.

පෞද්ගලික අධ්‍යාපන ආයතන තිබෙනවා. උපකාරක පන්ති තිබෙනවා. උපාධි මට්ටමේ සහතික ඇතැම් ආයතන ලබා දෙනවා. ඊට විරුද්ධ නැත්තේ ඇයි?

ජනතාවට තමන්ගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීම සඳහා දැඩි අවශ්‍යතාවක් හා කැමැත්තක් තියෙනවා. ඒ අයට ස්විස් බැංකු ගිණුම් හෝ මහා පරිමාණ දේපළ සමාගම් මැණික් පතල් නැහැ. ඔවුන්ට ඒවා උරුම කරගන්න බැරි බවත් ඔවුන් දන්නවා. රජයේ පාසලකට එක වසරට දරුවා ඇතුළු කරගන්න මේ තරම් නැහෙන්නේ ඒ නිසා. අම්මලාට දරුවන් වෙනුවෙන් ලිංගික අල්ලස් පවා දෙන්න සිදු වෙන අවස්ථා තිබෙනවා. දරුවන්ව ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් කරවන්න ඔවුන් ගොඩක් මහන්සි වෙනවා. මේ සියල්ල කරලා උසස් පෙළ සමත් වන දරුවන්ගෙන් විශ්වවිද්‍යාල වරම් ලැබෙන්නේ සියයට 17කට විතරයි. එයිනුත් පසුගිය වසරේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල පුරප්පාඩු 2500ක් පුරවලා නෑ.

තමන්ගේ දරුවට හොඳ අධ්‍යාපනයක් දෙන්න මවුපියන්ගේ තියෙන කැමැත්ත තමයි මේ ජාවාරම්කරුවන් කිහිපදෙනෙක්ගේ අතින් අහිමි වෙන්න යන්නේ. සයිටම් මුදලාලිගේ වසර දෙකක ලාභය රුපියල් මිලියන 1250ක්. ඔහු මේ තරම් ලාභයක් උපයා ගන්නේ ඔහුගේ පෞද්ගලික රෝහලින් හෝ හෝටල්වලින් හෝ මුද්‍රණ ආයතනයෙන් නෙවෙයි. දරුවන්ට ‍වෛද්‍යවරයෙක් වෙන්න කියන හීනය විකුණලා.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සයිටම් විරෝධී සටනේදී දැන් සිටින්නේ ඔබලා සමඟ?

ඔවුන් වෘත්තීය සමිතියක්. දේශපාලන ව්‍යාපාරයක් නොවෙයි. තමන්ගේ වෘත්තීය සගයන්ගේ අයිතිය වෙනුවෙන් සටන් කරනවා. එවිට අනෙක් පාර්ශ්වය පීඩාවට ලක්වීම වළක්වන්න බැහැ. පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන්ට වාහන බලපත්‍රයක් ලබාදිය හැකි නම් වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරු වැනි වෘත්තිකයන්ට වාහන බලපත්‍ර ලබා නොදෙන්නේ ඇයි?

වෛද්‍යවරුන් අතින් වැරැදි සිද්ධ වෙනවා. ඇතැම් අවස්ථාවල රෝගීන් මරණයට පවා පත්වෙලා තියෙනවා. වෛද්‍යවරු වගකීම් විරහිතව කටයුතු කරන බවට චෝදනා එල්ල වෙනවා නේද?

පැහැදිලිවම. සමාජයක් ලෙස අපි කඩා වැටිලා. ප්‍රභා මණ්ඩලයක් ලෙස තිබිය යුතු වෘත්තීන් මුදල් ගෙවා ලබා ගන්නා සේවාවන් බවට පත් වෙලා. පාරිභෝගිකයා හා සේවා සපයන්නා අතර මුදල් ගෙවීම හැර මනුෂ්‍යත්වය බින්දුවට වැටිලා. එය එක් එක් පුද්ගලයන්ගේ වරදකට වඩා අප සමාජ ආර්ථිකයේ වරදක්. එවැනි අකටයුතුකම්, නීති පැනවීම් මඟින්ම වැළැක්විය නොහැකියි. මුදල් පසු පස හඹා නොයන, සමාජයට වග කියන මිනිසුන් සහිත සමාජයකදී පමණයි එවැනි අපරාධ වළක්වන්න පුළුවන්.

එතකොට සයිටම් සඳහා දී තිබෙන උසාවි නියෝගය?

උසාවි නියෝගවලට මුවා වෙලා තමයි තමන්ගේ කටයුතු කරන්නේ. අභියාචනයේදී කිරිඇල්ල , රාජිත ඇමැති දෙපළ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයත් ජනතාව වෙනුවෙන් තමන්ගේ කාර්ය ඉටු කළා නම් මෙහෙම තීන්දුවක් ලැබෙන්නේ නෑ. ආණ්ඩුවේ දේශපාලන බලපෑම නිසා ඒ වගඋත්තරකාර පාර්ශ්ව හතර සයිටම් මුදලාලිට පක්ෂ තීන්දුවක් ගන්න ඉඩ හැර තිබුණේ. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පමණයි ජනතාව වෙනුවෙන් සටන් කළේ. පැමිණිලි පාර්ශ්වයත් වග උත්තරකාර පාර්ශ්වයත් බහුතරයක් සයිටම් වෙනුවෙන් පෙනී සිටිද්දී මීට වඩා වෙනත් තීන්දුවක් ලැබෙන්න ඉඩකඩ නෑ. නමුත් නීතිය හා යුක්තිය හැමවිටම එකක් නෙවෙයි. නීතිය තිබෙන්නේ පාලකයන් රකින්න. යුක්තිය තිබෙන්නේ ජනතාව රකින්න.

2020දී බලය දිය යුත්තේ විකල්ප බලවේගයකට කියලා ජවිපෙ කියනවා. එහෙත් යළි පරාධීන බලවේග හිස ඔසවයිද?

2015 ජනාධිපතිවරණයේදී අපේ රටේ බහුතර ජනතාව ඉතා හොඳ තීන්දුවක් ගත්තා. ඒ තමයි දූෂිත රාජපක්ෂ පාලනය පැරදවීම. එහෙත් එය අසම්පූර්ණ තීන්දුවක්. එකකින් නතර නොවී වාසිය යන්නේ මෛත්‍රිපාල ජනාධිපතිටයි, වික්‍රමසිංහ අගමැතිටයි, එජාප ඇමැති, මන්ත්‍රිවරුන්ට හා මේ අයගේ ඥාතීන්ට පමණයි. 2015 ජයග්‍රහණය පරිපූර්ණ කරන්නට නම් ඉතා ඉක්මනින් විකල්ප මාර්ග සහිත ජනතාවාදී පාලනයක් ගොඩනැඟිය යුතුයි. අප ගමන් කරමින් ඉන්නේ ඒ මාවතේ. එහෙම ගමනක් යන අතර තුර කොපමණ කිඹුල් කඳුළු හෙළුවත් ඒකාබද්ධ ප්‍රතිගාමී නඩයට යළි බලයට එන්න ඉඩ දෙන්නේ නෑ.

-මව්බිම-

RSL

Related Posts