රන්ජන් දන්න අපි නොදන්න කොකේන් ගහන මැති ඇමැතිවරු

Spread the love

මේ වනවිට අප රට කුඩු බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් බවට පත්ව ඇත. දේශපාලනඥයන්ගේද ආශිර්වාද මැද වෙලේ සුදාලා, මධුෂ්ලා ඇතුළු පාතාල නායකයන්ට රිසි සේ වැඩෙන්නට ඉඩහැරීම තුළ මේ කුඩු ව්‍යාපාරය තව තවත් වර්ධනය විය.

අපේ රටට ඇතැම් අවස්ථාවලදී කුඩු ගෙන එනු ලබන්නේ ධීවර බෝට්ටු මගිනි. පසුගිය කාලයේදී බ‍්‍රසීලයේ සිට මෙරටට ගෙන්වූ සීනි කන්ටේනර් තුළද කුඩු කිලෝ ගණනින් තිබී අත්අඩංගුවට ගනු ලැබීය. මීට අමතරව ගුවන් මාර්ගයෙන් ද අපේ රටට ගෙනා කුඩු අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථා වාර්තා විය. මේ ජාවාරමට සම්බන්ධ තෙවැනි පාර්ශ්ව අත්අඩංගුවට ගෙන හිරේ දැම්මද අපට කුඩු එන මං අහුරා දැමීමට නොහැකි විය. එනිසාම කුඩුුවලින් ස්වයංපෝෂිත වන තත්ත්වයට අප ධර්මද්වීපය පත්වීම ඉතා කනගාටුදායකය. නින්දිතය. ශ්‍රේෂ්ඨ, ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකා මාතාව කුඩු ජාවාරමුන්ගේ කෙළිබිමක් බවට පත්වීම ගැන ගැන පැවැති රජයන් අඩු වැඩි වශයෙන් වගකිව යුතුය.

කවරක් නමුත් කුඩු යළිත් අප රටින් ඉවත්කළ යුතු බවට කතිකාවතක් ඇතිවී තිබේ. එහි ප‍්‍රධාන නියමුවා වන්නේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතායි. කුඩු ජාවාරමුන්ට කිසිම සමාවක් නොදෙන බව පවසන ජනාධිපතිවරයා කුඩු ජාවාරමට හසුව රිමාන්ඞ් භාරයේ සිටින අයට මරණීය දණ්ඩනය ක‍්‍රියාත්මක කරන බවද අවධාරණය කර ඇත. මොනයම් බාධක දුෂ්කරතා අභියෝග තිබුණත් ජනාධිපතිවරයා ‘‘කුඩු යුද්ධයෙන්’’ අප රට ගලවා ගැනීමට හැකිවුවහොත් ඔහුගේ නමත්් අප රටේ ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙනු ඇත.

කුඩු සම්බන්ධයෙන් ජනාධිතිවරයා එලෙස දැඩි ස්ථාවරයක සිටියදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා පසුගියදා මාධ්‍ය මගින් මැති ඇමැති මණ්ඩලයම හොල්මන් වන කතාවක් කීවේය. ඔහු ප‍්‍රකාශ කළේ කොකේන් ගහන කැබිනට් ඇමැතිවරුන් සිටින බවයි. ඔහු එම කතාව කියද්දී කොකේන් ගහන කැබිනට් ඇමැතිවරුන් පමණක් නොව ක‍්‍රීඩකයන්, පූජකයන්, මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක්ද සිටින බවද ප‍්‍රකාශ කළේය. කෙසේ හෝ වේවා ඔහු හෙළිදරව් කළ කරුණු අතුරින් ඉදිරියට ආවේ කොකේන් ගහන කැබිනට් ඇමැතිවරුන්ගේ කතාවයි.

මේ සම්බන්ධයෙන් පෙරේදා (18 දා) මාධ්‍ය හමුවක් පවත්වමින් රන්ජන් ප‍්‍රකාශ කළේ කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය පාවිච්චි කරන පක්‍ෂ විපක්‍ෂ දේශපාලනඥයන්ගේ නම් කථානායක කරු ජයසූරිය මහතා වෙත භාරදුන් බවයි. මෙම පිරිස අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 24 දෙනකු සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

රන්ජන්ගේ මේ හෙළිදරව්ව කොතෙක්දුරට සත්‍යද නැද්ද යන්න තීන්දු තීරණ දීමට අපට නොහැකිය. එහෙත් ඔහුගේ ප‍්‍රකාශය සුළුවෙන් බැහැර කළ නොහැක.

අප රටේ ඡුන්දදායකයෝ මන්ත‍්‍රීවරුන් 225 දෙනකු පාර්ලිමේන්තුවට යැව්වේ රටේ ඉදිරි ගමනට ඔවුන්ගෙන් යහපත් සේවයක් වෙතැයි අපේක්‍ෂාවෙනි. මහජන නියෝජිතයන් වශයෙන් ඔවුන්ගෙන් දැනට කෙරෙන කාර්යභාරය ගැනද සෑහීමකට පත්නොවන මට්ටමක තිබියදී මුළු මන්ත‍්‍රී මණ්ඩලයෙන් නවයෙන් එකක් කොකේන්් මත්ද්‍රව්‍ය පානය කරන්නේනම් අපේ රටට අබසරණය. එම නිසා රන්ජන් කියන විදියට මන්ත‍්‍රීවරුන් 24 දෙනෙක් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නම් ඔවුන් සම්බන්ධයෙන් පියවර ගතයුතුය.

අනෙක් අතට කැබිනට් මන්ත‍්‍රීවරුන් පිරිසකට රන්ජන් එල්ල කරන චෝදනාව නිවැරදි නොවේ නම් එය එම මැති ඇමැතිවරුන්ට කෙරෙන අසාධාරණයකි. එනිසා කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය පාවිච්චි කරන, නොකරන මැති ඇමැතින් හඳුනා ගැනීම කාගෙ කාගේත් සෞඛ්‍යයට හොඳය. කොකේන් පාවිච්චි කළ අයකුගේ මුත‍්‍ර සාම්පලයක් දින 14 ක් ඇතුළත පරීක්‍ෂණයට භාජනය කිරීමෙන් ඔහු කොකේන් පාවිච්චි කළේද නැද්ද යන්න තහවුරු කර ගත හැකි බව වෛද්‍ය මතයයි. නමුත් කොකේන් ප‍්‍රමාණයේ මාත‍්‍රාව අනුව මෙම තත්ත්වය වෙනස්විය හැකිය.

එනිසාම මේ මොහොතේ ඕනෑනම් මැති ඇමැතීන්ට තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට ස්වෙච්ඡුාවෙන්ම ඉදිරිපත් වීමටත් පුළුවන. එවිට තමන් කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය පාවිච්චි නොකරන මහජන නියෝජිතයකු බව ඔප්පු කර ගැනීමට පුළුවන. එය හොඳ ආයෝජනයකි. ඊළඟ මහ මැතිවරණයේදී එය හොඳට මාකට් කරගැනීමට පුළුවන. එවිට අපේ ඡන්ද දායකයන්ට අනේ අපේ මන්ත‍්‍රීතුමාණන් කොකේන් ගසන්නේ නැතැයි කියා හෝ හිත හදාගැනීමට පුළුවන.

-දිවයින-

RSL

Related Posts