මට එදත්, අදත් න්‍යාය පත්‍ර නැහැ; චෞර ප්‍රභූ සන්ධාන වෙනුවට ශුද්ධ සන්ධානයක්‌ හදමු – ජනපති

Spread the love

මේ ආණ්‌ඩුව තුළ තමා යන්නේ අසීරු ගමනක්‌ බවත් දූෂණයට එරෙහිව කුමන අභියෝග පැමිණියත් ඊට මුහුණ දෙන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (26 දා) ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය ප්‍රධානීන් හා කර්තෘවරුන් හමුවූ අවස්‌ථාවේදීය.

මාධ්‍ය ප්‍රධානීන් හා කර්තෘවරුන් හමුවේ වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.

පසුගිය අවුරුදු දහයේදී ශ්‍රී ලංකාව රුපියල් ට්‍රිලියන දහයක විදේශ ණය අරන් තියෙනවා. නමුත් මෙයින් වත්කම් ලෙස පෙන්විය හැක්‌කේ ට්‍රිලියනයක්‌ පමණි. මෙය පුදුමාකාර තත්ත්වයක්‌. සංවර්ධන, චංචල සහ නිශ්චල දේපළ රාජ්‍ය වත්කම් හෝ ජනතා සුභසාධනය සඳහා ඉතිරි ට්‍රිලියන නවයක මුදල වැය කළ බවට කිසිදු ලිපි ලේඛණයක්‌ මුදල් අමාත්‍යංශය සතුව නැහැ.

පසුගිය වසර දහය තුළ ලබාගත් සමස්‌ත විදේශ ණය ප්‍රමාණය සහ ඒවා භාවිතා කළ අන්දම ගැන නිවැරදි තොරතුරු වහාම කඩිනමින් ජනතාවට ඉදිරිපත් කළ යුතුයි. මම මේ පිළිබඳව අවස්‌ථා කිහිපයකදීම කැබිනට්‌ මණ්‌ඩලය දැනුවත් කර තිබෙනවා.

පසුගිය අවුරුදු තුනේදී රජයට සෘජුව ලැබිය යුතු ආදායම ඇතැම් පිරිසකගේ ව්‍යාපාරවලට වාසිදායක වන අන්දමින් ඉතා සූක්‍ෂම ලෙස හරවා තිබෙනවා. එමෙන්ම ප්‍රතිඅපනයනයේදී සහ විදේශ රටවලින් ගෙන්වන භාණ්‌ඩ මිල තීරණය කිරීමේදී දේශපාලන අධිකාරියේ පවතින සබඳතා නිසා අක්‍රමිකතා සිදුවී තිබෙනවා.

අය වැය ශීර්ෂ මගින් වෙන් කළ මුදල්වලින් බොහෝවිට වැය කරන්නේ 50% හෝ 60% ක්‌ පමණයි. මේ නිසා අනිවාර්යයෙන්ම 40% ක මුදලක්‌ සංවර්ධන කටයුතු සඳහා යෙදවෙන්නේ නැහැ. එම තත්ත්වය යටතේ රට යහපත් තත්ත්වයට ගෙන ඒම අභියෝගයක්‌ වෙලා තියෙනව. මට ආණ්‌ඩුව ඇතුළෙම සටන් කරන්න සිදුවෙලා තියෙනවා. මේ කුමන තත්ත්වයක්‌ හමුවේ වුවද රට වෙනුවෙන් කළ හැකි උපරිම දේ කරන්න මම සූදානම්.

රටේ වංචා දූෂණය හෙළි කිරීමේදී මේ වන විට ඊට එරෙහිව චෞර ප්‍රභූ සන්ධානයක්‌ බිහි වී තිබෙනවා. එම චෞර ප්‍රභූ සන්ධානයට විකල්පයක්‌ ලෙස රටට ආදරය කරන ශුද්ධ සන්ධාන බිහි විය යුතුයි. හෙට උපදින දරුවන් වෙනුවෙන් යහපත් රටක්‌ නිර්මාණය කිරීමට අප ඒ දේ කළ යුතුයි. වංචා දූෂණ හෙළි කිරීමේදී ඒ පිළිබඳව කටයුතු කරන නිලධාරීන් සහ ආයතන දුර්වල කිරීමට ඉඩ නොතිබිය යුතුයි. බැඳුම්කර සිද්ධියේදී අර්ජුන ඇලෝසියස්‌ගේ දුරකථන සංවාද පරීක්‌ෂා කිරීමේදී මෙවැනි තත්ත්වයක්‌ උදාවුණා. දුරකථන පරීක්‌ෂා කරගෙන යද්දී ඔහු සමග දුරකථන සංවාදයේ යෙදුණු මැති ඇමැතිවරුන්ගේ නම් හෙළිවුණා. එම අවස්‌ථාවේදී මැතිඇමැතිවරුන්ගේ දුරකථන සංවාදවලට සවන්දුන් බවට චෝදනාවකුත් එල්ල වුණා. නමුත් එවැන්නක්‌ සිදුවුණේ නැහැ. සිදුවුණේ ඇලෝසියස්‌ගේ දුරකථන සංවාද පරීක්‌ෂා කිරීමේදී ඔහු සමග දුරකථන සංවාදයේ යෙදුණු අයගේ නම් හෙළිදරව් වීමයි. නමුත් මෙම සිද්ධිය නිසා පොලිස්‌ නිලධාරීන්ට කටඋත්තර දෙන්න සිදුවුණා. දිගින් දිගටම මෙවැනි තත්ත්වයක්‌ ඇතිවුවහොත් අපක්‍ෂපාතීව වැඩකරන රාජ්‍ය නිලධාරීන් අධෛර්යමත් විය හැකියි.

බැඳුම්කර කොමිෂන් වාර්තාව ගැන මා කළ ප්‍රකාශය අසත්‍ය බව රවි කරුණානායක ප්‍රකාශ කළා. නමුත් එම ප්‍රකාශය කළේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්ගේ උපදෙස්‌ ඇතුවයි. රවි කරුණානායක බැඳුම්කරය ගැන මා කළ ප්‍රකාශයට එරෙහිව පාර්ලිමේන්තුවේදී කරන්න ගිය විශේෂ ප්‍රකාශය මුල් අවස්‌ථාවේදී අගමැතිවරයා වළක්‌වා ගත්තා. දෙවැනි වර එය වළක්‌වා ගත්තේ කථානායකවරයායි. බැඳුම්කරය ගැන රවි කළ ප්‍රකාශය සිය දිවි නසා ගැනීමක්‌ ලෙසයි මා දකින්නේ. මහ බැංකු බැඳුම්කර කොමිෂන් සභා වාර්තා බරපතළ වංචා සහ දූෂණ පිළිබඳ සොයා බැලීමට පත්කළ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අනුව නීතිමය කටයුතු සහ එහි ඉදිරි පියවර ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන අයහපත් තත්ත්වයන් වළක්‌වා ගැනීම සඳහා මම සෑම කැපවීමක්‌ම කරනවා.

ලබන 10 වැනිදා පැවැත්වෙන පුංචි ඡන්දය සාධාරණ සහ අපක්‍ෂපාතී මැතිවරණයක්‌ ලෙස පැවැත්වීම මාගේ අරමුණයි. මේ සම්බන්ධයෙන් මා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සමඟ සාකච්ඡා කළා. කොට්‌ඨාස මට්‌ටමින් ඡන්ද ගණනය කිරීමේ දී ඇතිවිය හැකි තත්ත්වයන් වළක්‌වා ගැනීම සඳහා අවම වශයෙන් පළාත් පාලන ආයතනයක හෝ ඡන්ද එක්‌ මධ්‍යස්‌ථානයකදී ගණනය කළ හැකිද යන්න සොයා බැලීමට මා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට උපදෙස්‌ දුන්නා. මැතිවරණ සමයේදී රට තුළ තිබිය යුතු සාමකාමී තත්ත්වය නැති කිරීමට ඇතැම් පිරිස්‌ උත්සාහ ගැනීම කනගාටුදායකයි. සයිටම් ප්‍රශ්නය මුල් කරගෙන සරසවියට ආ අලුත් සිසුන් මුලට දමාගෙන කළ උද්ඝෝෂණය මා අනුමත කරන්නේ නෑ. අහිsංසක විශ්වවිද්‍යාල සිසුන් බියවද්දමින් ඔවුන් මහ පාරට ගනිමින් සිදුකරන එම පහත් උත්සාහයන් හෙළා දැකිය යුතුයි. විශේෂයෙන් ශිෂ්‍ය භික්‍ෂූන්වහන්සේලා ක්‍රියාකාරිත්වය ගැන අප කනගාටු වෙනවා. බුදුදහම සුරැකෙන්නේ භික්‍ෂු විනය පවතිනතාක්‌ පමණයි. නමුත් උද්ඝෝෂණයට ආ අපගේ ශිෂ්‍ය භික්‍ෂූන්වහන්සේලාගේ හැසිරීම දුටුවිට ලෝකවාසීන් අපේ රට දිහා වැරදි විදියට බැලීමට ඉඩකඩ තිබෙනවා.

මෙහිදී මාධ්‍ය ඇසූ ප්‍රශ්නවලට ජනපතිවරයා පිළිතුරු දුන්නේ මෙසේය.

මාධ්‍ය – පසුගිය අවුරුදු තුනේදී රට අයහපත් වූ නිසා ආර්ථිකය ඔබේ අතට ගන්නා බව ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග කවරේද?

ජනාධිපති – ආර්ථිකය කඩා වැටී ඇති බව මා කීවේ නෑ. නමුත් පසුගිය අවුරුදු තුන තුළදී රජයට ලැබිය යුතු ආදායම් මාර්ග අහිමි වෙලා තියෙනවා. මා කලින් සඳහන් කළ ආකාරයට රජය භාණ්‌ඩාගාරයට ලැබිය යුතු මුදල් ඉතා සුක්‍ෂම ලෙස පෞද්ගලික අංශයේ කිහිපදෙනකුට යන ආකාරයට කටයුතු සිදුවෙලා තියෙනවා. නමුත් 2015 දී මා රට භාරගන්නා විට තිබූ තත්ත්වයට වඩා දැන් රට යහපත් තත්ත්වයකයි පවතින්නේ. බරපතළ කඩා වැටීමක්‌ තිබුණා. යුරෝපා වෙළෙඳපොළ අපිට ආර්ථික වශයෙන් සම්භාධක පනවමින් තිබුණා. නමුත් මේ වනවිට අපිට එම තත්ත්වය වෙනස්‌ කර ගැනීමට හැකිව තිබෙනවා.

මාධ්‍ය – ඉදිරි ජනාධිපතිවරණයට ඔබ ඉදිරිපත් වෙනවාද?

ජනාධිපති – මම මේ රටේ ජනාධිපති වුණේ කවුරුවත් නොසිතූ ආකාරයටයි. මීට ප්‍රථම ජනාධිපති ධුරයට පත් වූයේ විපක්‍ෂ නායක ලෙස හෝ අගමැතිවරයා ලෙස කටයුතු කළ අයෙක්‌. ඇමැතිවරයකු සිට දින ගණනාවක්‌ ඇතුළතදී ජනාධිපති ධුරයට පත් වූයේ මා පමණයි. එය විශේෂත්වයක්‌. මට එදත් න්‍යාය පත්‍ර තිබුණේ නෑ. අදත් නැහැ. මම කරන්නේ දැනට රටට අවශ්‍ය දේ. මම ඉදිරි ජනපතිවරණයට තරග කළත් නැතත් මගේ පණ තියෙනකම් දේශපාලනය කිරීම නතර කරන්නේ නැහැ. මාගේ ජානවල ලේවල දේශපාලනය තියෙනවා. මම දේශපාලන ජීවියෙක්‌.

මාධ්‍ය – විගණන පනත ඉක්‌මනින් ගෙන එනවයි ප්‍රකාශ කළත් පසුගිය අවුරුදු තුනේම ඔබට එය කළ නොහැකි වුණා නේද?

ජනාධිපති – 2016 දෙසැම්බර් අයවැය යෝජනා ඉදිරිපත් කරද්දී විගණන පනත ලබන අවුරුද්දේ (2017) ජනවාරි මාසයේ ගෙනෙන බව පොරොන්දු වුණා. එදා මෙදා තුර මම මේ ගැන කැබිනට්‌ එකේදී වරින් වර කතා කළා. විශේෂයෙන් කොමිෂන් සභාවල කොමසාරිස්‌වරු පවත්වනු ලබන ප්‍රගතිසමාලෝචන රැස්‌වීම්වලදී මම මේ ගැන විමසා සිටියා. එහිදී එම නිලධාරීන් කියා සිටියේ තමන් වැටුප් ලබමින් නිකරුණේ කාලය ගත කරන බවයි. මම මේ බව කැබිනට්‌ මණ්‌ඩලයට දැනුම් දුන්නා. නමුත් සමහරුන්ට උවමනාවක්‌ නැති නිසා මෙම පනත ගෙන ඒම ප්‍රමාද වුණා. කෙසේ නමුත් මේ වනවිට කැබිනට්‌ මණ්‌ඩලයේ අනුමැතිය ඊට ලැබී තිබෙනවා.

මාධ්‍ය – ගෝඨාභය රාජපක්‌ෂ මහතා අත්අඩංගුවට නොගැනීමට යම් යම් හේතු තිබෙනවාද?

ජනාධිපති – ගෝඨාභය රාජපක්‌ෂ පිළිබඳ නීතිපති දෙපාර්තමේන්තුවේ ලිපි ගොනුව පොලිස්‌පතිවරයාට ලැබී තිබුණා. ඔහු මට ඒ බව දැන්වුවා. ගෝඨාභය රාජපක්‌ෂ පමණක්‌ නොවෙයි වෙනත් ඕනෑම දේශපාලන චරිතයකට එරෙහිව නඩු පැවරීමේදී වඩාත් හොඳින් සොයාබැලිය යුතු බව මා අගමැතිවරයාට දැනුම් දී තිබෙනවා. ගෝඨාභය රාජපක්‌ෂ ගැන ලිපිගොනුව මට ලැබුණ දවසේ අගමැතිවරයා සිටියේ ඉන්දියාවේ. අගමැතිවරයා ඉන්දියාවට ගොස්‌ තිබුණේ එදින උදයේ මට ලිපිගොනුව ලැබුණු බව පොලිස්‌පතිවරයා දැනුම් දුන්නේ සවස. අගමැතිවරයා ලංකාවට ආ පසු මා මේ බව ඔහුට දැනුම් දුන්නා. අදාළ ලිපිගොනුව ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් ලවා පරීක්‍ෂා කර ඒ පිළිබඳව තීරණයක්‌ ගතයුතු බව මා ප්‍රකාශ කළා. ප්‍රතිඵල නැති අහක දාන නඩු පවරන්න එපා කියලයි මම උපදෙස්‌ දුන්නේ. එහෙම වුණොත් අපිට විශාල ප්‍රශ්නයක්‌.

RSL

Related Posts