පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට වෙර දරන බලවේගවලට හිස නමන්නේ නෑ – අගමැති

Spread the love

ප්‍රජාතන්ත්‍රවාදී අගයන් ආරක්ෂා කරන රජය, රට අස්ථාවර කරමින් පටු ‍දේශපාලන අරමුණු මුදුන්පත් කිරීමට ‍වෙරදරන බල‍වේගයන්ට හිස ‍නොනමන බවත් ජනතා යහපත ‍වෙනු‍වෙන් අයහපත් ‍‍දේ යටපත් කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලි‍මේන්තු‍වේදී ඊ‍යේ (26) ප්‍රකාශ ක‍ළේය.

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළ රජය අදාළ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට ඉඩ ලබා‍දුන් බවත් රජය කිසිම විටක කිසිදු වෘත්තීය සමිතියක් සමඟ සාකච්ඡා ප්‍රතික්ෂේප කර ‍නොමැති බවත් අවධාරණය කළ අගමැතිවරයා පසුගිය කාල‍යේ එවැනි පිළි‍වෙත් ක්‍රියාත්මක ‍නොවූ බවත් රාජපක්ෂ ‍රෙජිමය පාර්ලි‍මේන්තුව සීල් තබා තිබූ බවත් පැවැසීය.

එ‍මෙන්ම රතුපස්වල වැලි‍වේරිය සිද්ධිය ‍මෙන් ‍මේ සිදුවී‍මේ දී කිසිවකුට ‍වෙඩි තැබීමට ආණ්ඩුව කටයුතු ‍නොකළ බව ද අගමැතිවරයා සඳහන් ක‍ළේය.

ඛනිජ ‍තෙල් ගැටලුව ‍සම්බන්ධ‍යෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වි‍ශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ‍මෙ‍සේ පැවැසීය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අගමැතිවරයා,

ඛනිජ ‍තෙල් ‍‍බෙදාහැරීම අත්‍යාවශ්‍ය ‍සේවාවක් ‍ලෙස නම් කිරී‍මේ ගැසට් නි‍වේදනය ඊ‍යේ රාත්‍රි‍යේ නිකුත් කළා. ‍මේ සම්බන්ධ‍යෙන් රජ‍යේ ස්ථාවරය ප්‍රතිපත්තිය හා දැක්ම සභාවට පැහැදිලි කළ යුතු යැයි කල්පනා කළා. අප එ‍සේ කරන්‍‍නේ පාර්ලි‍මේන්තු සම්ප්‍රදායන් සහ ප්‍රජාතන්ත්‍රවාදී අගයන් ආරක්ෂා කිරීමට අ‍පේ රජය සැමවිටම කැපවී සිටින ‍නිසයි. පසුගිය කාල‍යේ එවැනි පිළි‍වෙතක් ක්‍රියාත්මක වු‍ණේ නැහැ. රජ‍යේ ප්‍රතිපත්තිමය ‍‍තොරතුරු පමණක් නොව මූල්‍ය ‍තොරතුරු ද පාර්ලි‍මේන්තුව හමු‍වේ ඉදිරිපත් ක‍ළේ නැහැ. රාජපක්ෂ ‍රෙජිමය සම‍යේ පාර්ලි‍මේන්තුව නිකම්ම නිකම් සීල් එකක් බවට පත් කර තිබුණා.

ජනවාරි 08 වැනි දා විප්ලවයෙන් ‍මෛත්‍රීපාල සිරි‍සේන මහතා ජනාධිපති ‍ලෙස ‍මේ ර‍ටේ බහුතර ජනතාව පත්කර ගත් පසු අප නැවතත් ප්‍රජාතන්ත්‍රවාදී අගයන් රට තුළ ස්ථාපිත කිරීමට කටයුතු කළා. පාර්ලි‍මේන්තුව බලගැන්වූවා. එහි ප්‍රතිඵල ‍ලෙස ජනතාවට නිදහ‍සේ ජීවත්වී‍මේ නිදහ‍සේ අදහස් ප්‍රකාශ කිරී‍මේ අයිතිය ලැබුණා. ‍මේ අයිති‍යෙන් ප්‍ර‍යෝජන ගත් යම් යම් ‍කොටස් ඒ නිදහස් පරිසරය පාවිච්චි කරමින් පටු ‍දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට උත්සාහ කළ අවස්ථාවන් ගණනාවක් අපි නිරීක්ෂණය කළා.

ඕනෑම වෘත්තීය කණ්ඩායමක් සිය වෘත්ති‍යේ උන්නතිය හා සුබසාධනය ‍වෙනු‍වෙන් කරනු ලබන ඉල්ලීම් අරගල වි‍රෝධතා ව්‍යාපාර පිළිබඳ අපට කිසිදු ගැටලුවක් නැහැ. නමුත් කිසියම් පිරිසක් පදනම් විරහිතව කිසිදු පිළිගත හැකි ‍‍‍හේතු ‍නොමැතිව ර‍ටේ ජන ජීවිතය කඩාකප්පල් ‍කොට රට අස්ථාවරභාවයට පත් කිරීමට අප ලබාදුන් නිදහස භාවිත කරනවා නම් රජයක් හැටියට වගකී‍මෙන් යුතුව ක්‍රියා කිරීමට අප බැඳී සිටිනවා.

ඛනිජ ‍තෙල් වෘත්තීය සමිති ඊ‍යේ හදිසි වැඩ වර්ජනයක් ආරම්භ කළා. ඒ සම්බන්ධ‍යෙන් ඔවුන්ගේ නිල අදහස් දැක්වීම ‍මෙ‍හෙමයි. ‍මෙ‍හෙම කියන්නේ ඛනිජ ‍තෙල් වෘත්තීය සමිති එකමුතු‍වේ කැඳවුම්කරු බන්දුල සමන් කුමාර මහතායි. ‘ලිඛිතව ජනාධිපතිවරයා එකඟ ‍වෙනවා නම් අපි අනිවාර්යෙන්ම වැඩ වර්ජනය නවත්වනවා. එ‍හෙම නැතිනම් ජනාධිපතිවරයා එක්ක ‍නො‍වෙයි, ශක්‍ර‍ දේ‍වේන්ද්‍රයා එක්කවත් අපි සාකච්ඡා කරන්න එන්‍‍නේ නැහැ.’

අ‍පේ රජය කිසිම විටක කිසිදු වෘත්තීය සමිතියක් සමඟ සාකච්ඡා ප්‍රතික්ෂේප කර නැහැ. ඛනිජ ‍තෙල් වෘත්තීය සමිති සමඟ අ‍පේ මැති ඇමැතිවරුන් අවස්ථා ගණනාවක දී සාකච්ඡා කර ති‍බෙනවා. මම අ‍ප්‍රේල් 24 හා ජූලි 13 යන දිනවල ඔවුන් සමඟ සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවල දී ඔවුන් ප්‍රධාන කරුණු තුනක් පිළිබඳ අවධාරණය කළා. පළමුවෙන්ම හම්බන්තොට ‍තෙල් ටැංකි සම්බන්ධව, ත්‍රිකුණාමලය ‍තෙල් ටැංකි පිළිබඳව, සපුගස්කන්ද ‍තෙල් පිරිපහදුව පිළිබඳවයි. ‍

මෙයින් ‍දෙවැනි හා තුන්වැනි කරුණු පිළිබඳව අපි එකඟත්වයකට පැමිණියා. ත්‍රිකුණාමල‍යේ ‍තෙල් ටැංකි පිළිබඳ සිදු ‍කෙ‍රෙන මූලික සාකච්ඡාවන්ට වෘත්තීය සමිති නි‍යෝජිතයන්‍‍ගේ අදහස් ලබා ගන්නා බව අප ඔවුන්ට දැනුම් දුන්නා. දැන් ඒ පිළිබඳ බරපතළ ගැටලුවක් නැහැ. ‍මේ ‍තෙල් ටැංකි පිළිබඳ හා බදු ගිවිසුම පිළිබඳ දැනට ‍ශ්‍රේෂ්ඨාධිකරණ‍යේ නඩුවක් විභාග ‍වෙමින් ති‍බෙනවා. එම නඩු තීන්දු‍වෙන් අනතුරුව ‍මෙහි ඇති නීත්‍යානුකූල තත්ත්වය පැහැදිළි කරන්න පුළුවන්. සපුගස්කන්ද ‍තෙල් පිරිපහදුව පිළිබඳ ‍යෝජනා ඛනිජ ‍තෙල් ඇමැතිවරයාට භාර‍දෙන ‍ලෙස අපි ‍යෝජනා කර ති‍බෙනවා. ඒවා ලැබුණු පසු අපි සලකා බලනවා.

හම්බන්‍‍තො‍‍ට ‍තෙල් ටැංකිවල අයිතිය ඇත්‍‍තේ වරාය අධිකාරියටයි. වරාය අධිකාරියට ‍මේ අයිතිය ලබා‍ දෙන්‍‍නේ හිටපු ජනාධිපති ‍ මහින්ද රාජපක්ෂ මහතායි. නමුත් ඒ අවස්ථා‍වේ කිසිවකුත් වි‍රෝධය පළ ක‍ළේ නැහැ. අප දැන් ඛනිජ ‍තෙල් වෘත්තීය සමිති ඉල්ලීම වරාය අමාත්‍යාංශයට ‍යොමු කරනවා. රජ‍යේ කිසිදු ක්‍රියාපිළි‍වෙතකින් ‍තෙල් සංස්ථාවට අගතියක් ‍හෝ හානියක් සිදු‍නොවන බවට මා වෘත්තීය සමිති හමු‍වේ සහතික වුණු බව ‍මෙහි දී සඳහන් කරන්නට කැමැතියි. එවැනි පසුබිමක ඛනිජ ‍තෙල් වෘත්තීය සමිති හදිසි වර්ජනයක් කැඳවීම අවාසනාවන්ත තත්ත්වයකි.

වර්තමාන‍යේ රට පුරා ‍ඩෙංගු වසංගත තත්ත්වයක් පවතිනවා. ‍මේ තත්ත්ව‍යෙන් ජනතාව මුදා ගැනී‍ම සඳහා සියලු පාර්ශ්වයන් එකට එක්ව ‍ඩෙංගු මර්දන ව්‍යාපාරයකට සම්බන්ධවී සිටිනවා. ර‍ටේ සියලු විද්යුත් මාධ්‍ය ආයතන සිය තරගකාරීත්වය ප‍සෙකලා ‍ඩෙංගු මර්දන වැඩසටහන් සඳහා දායකත්වය ලබාදී ති‍බෙන්නේ රට ‍වෙනු‍වෙන් යුතුකම් ඉටු කළ නිසයි. ‍ඩෙංගු පාලනයට, වැළැක්වීමට හා ‍රෝගීන් සුවපත් කිරීමට පක්ෂ, පාට, ජාති ආගම් සියලු ‍‍‍භේද ඉවතලා ර‍ටේ බහුතර ජනතාව ‍වෙ‍හෙසෙන අවස්ථාවකයි ශක්‍රයා එක්කවත් සාකච්ඡා කරන්නේ නැහැ කියමින් ඛනිජ ‍තෙල් වර්ජනය ක්‍රියාත්මක කරන්නේ.

ඛනිජ ‍තෙල් ‍බෙදා හැරීම අකර්මණ්‍ය වු‍ණොත් ර‍ටේම එදි‍නෙදා කටයුතු අඩපණ ‍වෙනවා. ‍රෝහල් ‍සේවක ‍සේවිකාවන්ගේ ගමනාගමනය ගිලන් රථ ධාවනය විදුලි ජනනය ‍පොදු ප්‍රවාහන ‍සේවා ආදී ‍‍‍ ‍සෞඛ්‍ය ‍සේවාවන්ට ඍජුවම බලපාන ක්‍ෂේත්‍ර ගණනාවකට ‍මේ වර්ජන බලපානවා. අ‍නෙක් අතින් ගුවන් යානා ගමන් ඇණ හිටීම වරායාංගණයන්ට ‍තෙල් ‍නොමැතිවීම නිසා බහාලුම් කටයුතු නතරවීම ආර්ථිකයට බලපානවා.

තවත් අතකින් සාමාන්‍ය ජනජීවිතයට බාධා ‍වෙනවා. ‍හෙට අනිද්දා ආරම්භවීමට නියමිත පාසල් විභාය කටයුතු අඩාල ‍වෙනවා. ඊ‍යේ රාත්‍රිය වන විට ඛනිජ ‍තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයන් තුළ යම් යම් ක්‍රියාවන් සිදුවන බවට වාර්තා වුණා. ‍

තෙල් ‍බෙදා හැරීමට බාධාවන අයුරින් බවුසර් හරස් කිරීම, ඒවා‍යේ හුළං ඇරීම. වෑල් ගලවා විසි කිරීම, වැනි‍දේත් ඒ අතර සිදුවී ති‍බෙනවා. ‍මීටත් වඩා බරපතළ ක්‍රියාවන් සිදුවිය හැකි බවත් වාර්තා වුණා. ඛනිජ ‍තෙල් ‍බෙදා හැරීම අත්‍යාවශ්‍ය ‍සේවාවක් ‍ලෙස නම් ක‍ළේ සියලු ‍දේ අධ්‍යයනය කිරී‍මෙන් පසුවයි. අත්‍යාවශ්‍ය ‍සේවා ගැසට් නි‍වේදන‍යෙන් පසු පරිශ්‍රයන් තුළ හා ‍‍ඒවා‍යේ ප්‍ර‍වේශ මාර්ග ආරක්ෂා කරලී‍මේ කටයුතුවලට ආරක්ෂක හමුදාව මැදිහත් වුණා.

ඒ ව‍ගේම ඉන්ධන ‍බෙදා හැරී‍මේ කාර්යන්ට පූර්ණ ආරක්ෂාව සැපයී‍මේ වගකීම ඔවුන්ට පැවරුණා. අද දහවල් වන විට සියලු කටයුතු යථා තත්ත්වයට පත් ‍කෙරුණා. ‍මේ වන විට ඉන්ධන බවුසර් පිටත් කරමින් පවතිනවා. ගුවන් යානා ඉන්ධන රැගත් දුම්රිය ද කටුනායක බලා යාමට සූදානම්. සියලු කටයුතු යථා තත්ත්වයට පත් ‍වෙමින් ති‍බෙනවා.

අප ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා. ප්‍රජාතන්ත්‍රවාදී අගයන් ඉහළට ඔසවා තබනවා. අධිකරණයට හා නීතියට ගරු කරනවා. නමුත් ඒවා විනාශ කරමින් රට අස්ථාවර කරන බල‍වේගවලට යට‍වෙන්නේවත් හිස නමන්නේවත් නැහැ. ර‍ටේ ජනතාව‍ගේ යහපත ‍වෙනු‍වෙන් ‍මෛත්‍රීපාල සිරි‍සේන මහතා‍ගේ නායකත්ව‍යෙන් යුතු අ‍පේ රජය හැම විමට ක්‍රියා කරනවා. අප යහපත් ‍දේ අගය කරනවා. යහපත් ‍දේ ආරක්ෂා කරනවා. යහපත් ‍දේ ‍වෙනු‍වෙන් ‍පෙනී සිටිනවා. නමුත් අයහපතට අප ඉඩ‍දෙන්නේ නැහැ.

RSL

Related Posts