NMRA නීති අංශයේ ඉහළ නිලධාරිනියකගේ අක්‍රමිකතා ගැන අමාත්‍යාංශය ගොළු ඇයි ?

Spread the love
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නීති අංශයේ ඉහළ නිලධාරිනියකගේ අක‍්‍රමිකතා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට කරුණු ඉදිරිපත් කළත් මේ වන තෙක් අමාත්‍යාංශයේ පරීක්ෂණ කටයුතු සිදුකර නොමැති බවට සෞඛ්‍ය වෘත්තීය සමිති ආරංචිමාර්ග සදහන් කරයි.
නීති අංශයේ කටයුතු කරමින් සිටින මෙම නිලධාරිනිය පසුගිය යහ පාලන ආණ්ඩු සමයේදී කොන්ත‍්‍රාක් පදනම මත සේවයට බැදී ඇති අතර එම කාලයේදී සිදුවූ යම් අක‍්‍රමිකතා සම්බන්ධයෙන්ද ඇයට විරුද්ධව චෝදනා එල්ලවී තිබෙන බව ආරංචිමාර්ග පවසයි.
මේ වන විට ජෝර්ජ් ස්ටුවට් සමාගම විසින් මෙරටට ගෙන්වන ඖෂධ, ආනයනය සදහා වන බලපත‍්‍ර ලබාදීම සම්බන්ධයෙන් කටයුතුවලට මෙම නිලධාරීනිය සක‍්‍රීයව මැදිහත්වී ඇති බවට අමාත්‍යාංශයට තොරතුරු වාර්තාවී තිබේ. පියයරු පිළිකා සදහා ප‍්‍රතිකාර ලෙස ලබාදෙන ඖෂධ ආනයනය කිරීම සදහා නියමිත ක‍්‍රමවේදයෙන් බැහැරව අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් පසුගිය දිනවලදි චෝදනා එල්ලවී තිබුණි.
මේ අතර යාඩන්, ස්ලිම් ෆාමා වැනි ජාත්‍යන්තර ඖෂධ සමාගම්වල දේශීය නියෝජිත ආයතනවල යම් යම් අක‍්‍රමිකතාවයන්ට මෙම නිලධාරිනියගේ සහාය හිමිව ඇති බවටද සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචිමාර්ග සදහන් කරයි.
මෙම නිලධාරිනියට කොළඹ විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධියක් හැදෑරීම සදහා රුපියල් ලක්ෂ හතරක පමණ මුදලක් ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ලබාදී ඇති අතර එම මුදල් ලබාගැනීම සදහා අධ්‍යක්ෂ මණ්ඩල පත‍්‍රිකාවක්ද ඉදිරිපත් කර තිබුණි.

Related Posts