ඇදි ඇදී ගිය උමාඔය ව්‍යාපෘතිය ඇමති රවී කඩිනම් කරයි.. තවත් විදුලිය ජාතික පද්ධතියට

Spread the love

ලබන වසර මැද වනවිට උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතු අවසන් කරන බවත්, ඒ හරහා ජාතික විදුලිබල පද්ධතියට තවත් මෙගාවොට් 120ක ධාරිතාවයක් එකතු වන බවත් විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකරන ලද්දේ, පසුගියදා උමා ඔය බලාගාරයේ ඉදිකිරීම් ප්‍රගතිය නිරිකෂණය කිරීම සදහා පැවති නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි. තමන්ට අවශ්‍ය වන්නේ හැකි ඉක්මනින් මෙවැනි ව්‍යාපෘති නිම කර, ජාතික විදුලි බල පද්ධතියට ලබාදිය හැකි දායකත්වය ලබා දෙන්න බවද අමාත්‍යවරයා පවසයි.

උමා ඔය බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතිය, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය, වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශයේ හා ලංකා විදුලිබල මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක වෙමින් පවතී.

ව්‍යාපෘතිය පුහුල්පොල හා ඩයබරා අසල කුඩා ජලාශ දෙකකින් සමන්විත වන අතර, එම ජලාශ දෙක උමගකින් සම්බන්ධ වේ. රන්දෙණියෙහි පිහිටි භූගත විදුලි බලාගාරය හරහා  (transbasin) උමගක් ඔස්සේ, ජලය උමා ඔයේ සිට කිරිඳි ඔය දක්වා යොමු කරයි. 

කිලෝ මීටර 27 ක් දිග ද.වෝ. 132 (kV) සම්ප්‍රේෂණ රැහැන් මාර්ග පද්ධතියක් මගින් මෙම බලාගාරය බදුල්ල ග්‍රිඩ් උපපොළ හා සම්බන්ධ කෙරේ. ව්‍යාපෘතියේ මුළු පිරිවැය ඇමර්කානු ඩොලර් මිලියන 5 29ක් හා රුපියල් බිලියන 06 කි. ඉරාන රජය, ඉරාන අපනයන සංවර්ධන බැංකුව (Export Development Bank of Iran) මගින් ඇමරිකානු ඩොලර් මිලියන 450 ක්, ණය මුදලක් ලෙස සපයයි.

 වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශය සහ ඉරාන රජය මගින් නම් කරන ලද කොන්ත්‍රාත්කරු වන, ෆෙරාබ් බලශක්ති හා ජල ව්‍යාපෘති සමාගම (Farab Energy and Water Project Company) අතර කොන්ත්‍රාත්තුව 2008 අප්‍රේල් මස 28 දින අත්සන් තබන ලද අතර, 2010 මාර්තු මාසයේ සිට කොන්ත්‍රාත්තුව ක්‍රියාත්මක කරනු ලැබීය. 

2019 වර්ෂයේ දෙසැම්බර් මාසයේ දී ව්‍යාපෘතිය නිම කිරීමට අපේක්ෂා කළ නමුත්, යම් යම් හේතූන් මත ප්‍රමාදවූ උමා ඔය ජලවිදුලි ව්‍යාපෘතිය, වර්තමාන විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය මත ලබන වසරේ අප්‍රේල් – අගෝස්තු යන කාලසීමාව තුලදි නිම කෙරෙනු ඇත.  

මෙම නිරීක්ෂණ චාරිකාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ විෂයභාර අමාත්‍යවරයා පැවසුවේ අද පවතින විදුලි ඇනහිටීම් වලට ප්‍රධානම හේතුව යම් යම් හේතූන් මත මෙවැනි ව්‍යාපෘති ප්‍රමාදවීම බවයි. තම පාර්ශවයේ එකම අධිෂ්ඨානය මෙන්ම ප්‍රයත්නය වන්නේ, තිබෙන බාධක, අවහිරතා ඉවත් කර, මෙවැනි ව්‍යාපෘති කඩිනමින් නිම කර,  විදුලි ජනනය වර්ධනය කිරීම බව අමාත්‍යවරයා එහිදි ප්‍රකාශ කළේය.

RSL

Related Posts