අනිවාර්ය නඩත්තු කටයුතු වෙනුවෙන් ලක්විජය බලාගාරයේ විදුලි ජනන කටයුතු තාවකාලිකව නවතා දැමේ

Spread the love

පුත්තලම ලක්විජය ගල් අඟුරු විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු සම්පූර්ණයෙන් නැවතා දැමීමට සැලසුම් කර ඇතැයි මේ දිනවල ප්‍රචාරය වන ප්‍රවෘත්තියෙහි කිසිදු සත්‍යයක් නොමැති බවත්, ලක්විජය බලාගාරයේ පළමු ජනන යන්ත්‍රයේ අනිවාර්ය නඩත්තු කටයුතු වෙනුවෙන් එම යන්ත්‍රයේ විදුලි ජනන කටයුතු තාවකාලිකව නවතා දැමීමට සැලසුම් කර ඇති බවත්, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන කටයුතු අමාත්‍යංශය පවසයි.

මෙගාවොට් 300 බැගින් වූ ජනන යන්ත්‍ර 03 කින් සමන්විත පුත්තලම ලක්විජය බලාගාරයේ සම්පූර්ණ දාරිතාවය මෙගාවොට් 900 කි. මෙහි එක් එක් ජනන යන්ත්‍රයන් විදුලිය ජනනය කළ කාලසීමාවන් අනුව නඩත්තු කටයුතු සදහා නැවැත්විය යුතුය.

ඒ අනුව ලක්විජය බලාගාරයේ නිත්‍ය නඩත්තු කාලපරිච්ඡේදයන් අනුව A ඛාණ්ඩයේ නඩත්තු වසර 04-06 අතරද, B ඛාණ්ඩයේ වසර 03-04 අතරද, C ඛාණ්ඩයේ නඩත්තු A හා B නඩත්තු සිදු නොවන සෑම වසරකම, මෙහෙයුම් කාලය පදනම්ව ක්‍රියාත්මක කළ යුතුවේ. ඒ අනුව මෙගාවොට් 300 සමන්විත පළමු ජනන යන්ත්‍රයේ A මට්ටමේ නඩත්තුව 2016 පෙබරවාරි මසදී සිදුකළ අතර B මට්ටමේ නඩත්තුව ක්‍රියාත්මක කිරීමට නියමිතය. එමෙන්ම ඒ සදහා දින 75 ක පමණ කාලයක් ගතවන බවද පෙන්වා දී තිබේ.

එබැවින් 2019 ඔක්තෝබර් මස මැද භාගයේදි පළමු ජනන යන්ත්‍රය විදුලි ජනනයෙන් ඉවත් කිරීමට සිදුවන අතර නඩත්තු කටයුතු අවසන් වූ පසු යළිත් පළමු ජනන යන්ත්‍රය නැවතත් සාමාන්‍ය පරිදි විදුලි ජනන කටයුතු සඳහා යොදා ගැනීමට නියමිත බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය, මේ වනවිට දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල විදුලි බලාගාරයන්හි විදුලි උත්පාදන කටයුතු උපරිමයෙන් සිදුවන බැවින් මේ අනුව ලක්විජය බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය නඩත්තු කටයුතු සදහා යොමුකිරීමට සැලසුම් කල බවද වැඩිදුරටත් අවධාරණය කරයි.

RSL

Related Posts