ජනාධිපති ජෝන් එෆ්. කෙනඩිව මැරුවාද..? මරාගත්තාද..?

Spread the love

kenadi 2

“රටට ඔබ වෙනුවෙන් කළ හැක්කේ කුමක්දැයි නොඅසන්න. ඔබට රට වෙනුවෙන් කළ හැක්කේ කුමක්දැයි අසන්න.” ඇමෙරිකානුවන්ගේ ප්‍රියතම ජනාධිපතිවරයා වූ ජෝන් එෆ්. කෙනඩි පළමු වැනි වතාවට ජාතිය අමතමින් කියාසිටියේ එයයි. අඩු ම වයසක දී පදවිප්‍රාප්තිය ලැබූ ඇමෙරිකානු ජනාධිපති වරයා ඔහු යි. අඩුම වයසකින් මරණයට පත්වූ ඇමෙරිකානු ජනාධිපති වරයා ද ඔහු යි. ධවල මන්දීරය වඩාත් ආකර්ෂණීය තැනක් බවට පත්කළ කෙනඩි ජනාධිපතිවරයාත් ජනාධිපති ආර්යාවත් ඇමෙරිකානු ජනතාවගේ ආදරය දිනාගෙන සිටියා. නමුත් මතක තබාගන්න, ඇමෙරිකානු ජනතාව යනු ඇමෙරිකාවම නොවෙ යි…

1963 වසරේ නොවැම්බර් 21 වැනිදා දහවල් 12.30 ට, ඩලස් නගරයේ හි ඩිලී ප්ලාසා මාවතේ රිය පෙරහරින් ගමන් කරමින් සිටියදී සාහසිකයෙකු එල්ල කළ වෙඩි පහරකින් ජනාධිපති ජෝන් එෆ් කෙනඩි මරණයට පත්වුණා.

Kenadi 1

පළමුවැනි ස්නයිෆර් උණ්ඩය ජනාධිපතිවරයාගේ ගෙල සිදුරු කරමින් ඉදිරි අසුනේ සිටි, ටෙක්සාස් ආණ්ඩුකාරවරයාට බරපතල තුවාල සිදුකළා. දෙවැනි උණ්ඩය ජනාධිපතිවරයාගේ හිසෙහි දකුණු පස අර්ධය සුනුවිසුණු කර දැමුවා. තෙවැනි උණ්ඩය භීතියෙන් කම්පනයට පත්ව පිටතට පැනගත් ජනාධිපති ආර්යාව නූලෙන් මගහැර පියඹා ගියා.

ජනාධිපතිවරයාට වෙඩි තැබූ ලී හාවි ඔස්වල්ඩ් නැමැත්තා සිනමා ශාලාවකට රිංගාගැනීමට උත්සාහ ගනිමින් සිටියදී අත්අඩංගුවට ගැණුනා.

අවාසනාවකට මෙන් ඊට දින දෙකකට පසු නඩු අසන්නටත් ඉඩක් නොතබාම ජැක් රූබි නැමැත්තෙකු විසින් එල්ල කළ වෙඩි පහරකින් ලී හාවි ඔස්වල්ඩ් මියගියා.

ජෝන් එෆ් කෙනඩි ගේ ඝාතනය ගැන සොයන්න, ඉන් පසුව ධූරයට පැමිණි ජනාධිපති ලින්ඩන් ජොන්සන් විසින් පත්කරන ලද වොරන් කමිටුව සොයාගත් කරුණු ඔපමණයි. නමුත්, වොරන් කමිටු වාර්තාව සමාන කළ හැකි දෙයක් වේ නම් ඒ දුෂ්ට සුරංගනා කතාවකට පමණක්ය යන්න අද වන විට ප්‍රසිද්ධ රහසක් බවට පත් වී අවසන්.

කුප්‍රකට වොරන් කමිටු වාර්තාව හිතාමතා මගහරින ලද සාක්‍ෂි හා තොරතුරු බොහොමයි. විශේෂඥයන්, පර්යෙෂකයන් සහ මාධ්‍යෙව්දීන් දිගින් දිගටම ඒ පිළිබඳව කරුණු සොයා හෙළි කරමින් සිටිනවා. වාර්තාවට අනුව ලී හාර්වි ඔස්වල්ඩ් නැමැත්තා අසල තිබූ පොත් ගබඩාවේ සයවැනි මහලේ සිට ස්නයිෆර් උණ්ඩ ප්‍රහාර 3ක් එල්ල කර තිබෙනවා. එයින් දෙකක්ම ඉලක්කය වෙත ගිය අතර මගහැරීගියේ එකක් පමණයි. නමුත් අදාල ගිණි අවි වර්ගයට තත්ත්පර හයක කාලයක් තුළ එවැනි වික්‍රමයක් සිදුකිරීමට බැහැ.

වාර්තාව පුන පුනා තහවුරු කළ කරුණ වන්නේ ජනාධිපති කෙනඩි මියගියේ පිටුපස සිට හිසට සහ ගෙලට එල්ලවූ වෙඩිපහරක් නිසා වන බවයි. නමුත් ඇසින් දුටුවන්ගේ සාක්‍ෂි අනුව අඩුතරමේ වෙඩි පහර 4ක් එල්ලවී තිබෙනවා. ඉන් එක් උණ්ඩයක් කෙනඩිගේ හිස පිටුපසිනුත්, අනෙක් උණ්ඩය ඔහුගේ හිස ඉදිරිපසිනුත් වැදී තිබෙනවා. රථයේ ඉදිරි අසුනේ සිට තුවාල ලද ටෙක්සාක් ආණ්ඩුකාර ජෝන් කොනලි පවා කියාසිටියේ එය ස්වංක්‍රීය ගිණි අවියකින් කළ වෙඩිතැබීම් මාලාවක් ලෙස තමන්ට ඇසුණු බවයි.

දිශා දෙකකින් එල්ලවූ වෙඩි ප්‍රහාර හතරක් යනු, වොරන් කමිටුව විසින් හිතාමතා නොතකා හැර ඇති, ඝාතයන් එක් අයෙකුට වඩා සිටියා වන හැකි බවට වන ප්‍රබලම සාක්‍ෂියක්.

ඝාතනය සිදුවූ ස්ථානයේ ඉතා සැකකටයුතු පුද්ගලයන් තිදෙනෙකු ගැන සොයන්න වොරන් කමිටුව උත්සාහකොට හෝ නැහැ.

ඉන් පළමුවැන්නා මාර්ගය අසල තණ පිටියේ හිඳ සිටිනවා. ඔහු අත වෝකිටෝකි යන්ත්‍රයක් ඇතිබව ඡායාරූප සාක්‍ෂි වලින් පෙන්නුම් කෙරෙනවා. දෙවැන්නා සිටින්නේ කෙනඩිට මාරක වෙඩි පහර වදින ස්ථානයේ මාර්ගය අලස කුඩයක් ඉහළාගෙන යි. සියලු කලබල මධ්‍යයේ ඔහු කිසිවක් නොවූයේ මෙන් කුඩය අකුලාගෙන යන්න යනවා. තෙවැන්නා ද සිටින්නේ ඒ ආසන්නයේ යි. කෙනඩිගේ මොටර් රථයේ බඳෙහි ඔහුගේ ප්‍රතිබිම්බය පෙනෙනවා. ඔහු අත ඔසවා මිටමොළවා යමක් සන් කරනවා. වර්තමාන විවේචකයන් දැඩි ලෙස සැකකරන්නේ මෙම පුද්ගලයින් තිදෙනාම ඝාතකයාට හෝ ඝාතකයන්හට ප්‍රහාරයේ සාර්ථක අසාර්ථක භාවය පිළිබඳ සංඥාකරන්නන් හැටිටයි.

නමුත් වොරන් කමිටුවට අනුව එවැනි කිසිවෙක් නැහැ!

මේ අතර රථ පෙරහැර පැමිණීමට පෙරාතුව සිදුවූ සිදුවීමක් ගැන ගෝර්ඩ්න් නමැත්තෙකු විස්තර කරනවා. ඔහු හිටපු හමුදා සෙබලෙක්. ඔහු මාර්ගය අසල තණපිටියට ඔබ්බෙන් ඇති වැට පිටුපසට වී රථ පෙර හැර නැරඹීමට සුදුසු ස්ථානයක් සොයාගත්තා. නමුත් එහි ආ තමන් විශේෂ ආරක්‍ෂක නියෝජිතයෙකු බවට හඳුන්වා දුන් පුද්ගලයෙකු ගොර්ඩ්න්ව එතැනින් ඉවත් කළා. පසුව හෙළිවූ තොරතුරු අනුව විෂේශ ආරක්‍ෂක සේවා නියෝජිතයන් කිසිවෙක් අදාල ප්‍රදේශයේ සේවයේ යොදවා සිට නැහැ. ඒ කෙසේවෙතත් මාරක වෙඩි උණ්ඩ වලින් එකක් පියඹා ගියේ තම හිසට ඉහළින් බව සොල්දාදුවෙකු ලෙස අත්දැකීම් ඇති ගෝර්ඩ්න් හට වගකීමෙන් කිවහැකිව තිබෙනවා. මේ අතර මෙවැනි පිරිසක් තමන් ආරක්‍ෂක නියෝජිතයන් ලෙස හඳුන්වා දෙමින් කෙනඩි ගමන්කිරීමට නියමිත මාර්ගය දෙපස සිටි ජනතාවගෙන් බොහෝදෙනොව ඉවත්කරනු ලැබ තිබෙනවා.

මේ කණ්ඩායම කවුරුන්ද?

කෙනඩිට වෙඩි පහර වැදෙන ඛේදජනක මොහොතේ දර්ශන ඒබ්‍රහම් සැපෘඩර් නැමැත්තාගේ කැමරාවේ වීඩියෝගතව තිබෙනවා. කෙනඩිගේ හිසට වෙඩි පහර වදින ආකාරයත් පසුපස වාහනයෙන් බැසගත් ආරක්‍ෂකයෙක් ලහි ලහියේ ජනාධිපති රථයට ගොඩවන්න උත්තසාහ දරන ආකාරයත්, ඒ අතර ජනාධිපති ආර්යාව ආසනයෙන් නැගිට මෝටර් රථයේ පිටුපස කොටසට පැනගන්නා ආකාරයත් එහි දැක්වෙනවා. ජනාධිපති ආර්යාවගේ මේ ක්‍රියා කලාපය දැඩි කතාබහට ලක්වුණා. ඇය ආසනයෙන් පිටතට පැනගන්නේ මෝටර් රථයේ පිටුපසින් ගොඩවන ආරක්‍ෂයාට උපකාරකිරීමට බව ඇතැම් අය සිතුවා. ඈ සිය සැමියා අනතුරේ හෙළී සිටියදී දිවි බේරාගැනීමේ උත්සාහයෙන් පිටතට පනිතැයි ඇතැම්හු මත පළකළා. ඒ ගැන දොස් නැගුවා. නමුත් ඇත්තවශයෙන්ම සිදුවූ දෙය පසු ඈ විස්තර කළා. ඈ මෝටර් රථයේ පිටුපස කොටසට පැනගන්නේ වෙඩිපහර වැදී ගැලවී විසිවන තම සැමියාගේ හිස්කබලේ කොටස් ක් අහුලා ගන්නයි. මේ කොටසෙන් යම් පිහිටක් වෙතැයි යන අසරණ බලාපොරොත්තුව පෙරදැරි ව ඈ රෝහළට යනතෙක්ම සිය ආදරණීය සැමියා‍ගේ හිස්කබලේ කොටස අත තබාගෙන සිටියා.

කෙනඩි ගේ මරණ පරීක්‍ෂණ වාර්තාව වොරන් කමිටුව විසින් නින්දාසහගත ලෙස යටගසා ඇති කරුණුව වලින් තවත් එකක්. වෙඩිපහර වැදී දරුණු වේගයකින් කෙනඩිගේ හිස පිටුටසට විසිවන අයුරු වීඩියෝවේ දැක්වෙනවා. ඔහුගේ හිස්කබලේ දකුණු අර්ධයේ කොටසක් ගැලවී වීසිවී ගිය බවට ජනාධිපති ආර්යාවද සාක්‍ෂිදරනවා. ඕනෑම ගිනි අවි පිළිබඳ දැනීමක් ඇති අයෙක් දන්නා පරිදි ස්නයිෆර් උණ්ඩයක් වැදීම නිසා අතිශය දරුණු හානියක් සිදුකරන්නේ උණ්ඩය ඇතුළුවන තැන නොව පිටවන තැන යි. කෙනඩිගේ හිස පිටුපස බේස්බෝල් පන්දුවක් තරම් විශාල පිටවුම් තුවාලයක් වූ බව වෛද්‍ය කණ්ඩායමේ අය පවා පවසා තිබෙනවා.

නමුත් වොරන් කමිටුව සැලකිල්ලට ගත් මරණපරීක්‍ෂණ වාර්තාවල මේ කිසිවක් නැහැ. එහි දැක්වෙන කෙනඩිගේ මළසිරුරේ ඡායාරූපයේ පවා හිසෙහි තුවාලයක් දක්නට නැහැ. ඇත්තේ ගෙලෙහි උණ්ඩයකින් සිදුරුවූ තුවාලයක් පමණයි. එදා කෙනඩිගේ මලසිරුරෙහි මුල් ඡායාරූප මුද්‍රණය කළ රසායනාගාර ශිල්පීන් පවා පවසන්නේ මේවා වෙනත් දළ සේයාපටල වලින් ලබාගත් ව්‍යාජ ඡායාරූප වන බවයි! එපමණක් නොවෙයි, එදින ඩලස් රෝහලේදී කෙනඩිගේ මරණ පරීක්‍ෂණය සිදුකළ වෛද්‍ය කණ්ඩායම මුලුමනින්ම එයට නවකයන්. සිය ජනාධිපතිවරයාගේ මරණපරීක්‍ෂණය ඔවුනට නියැලීමට සිදුවූ පළමුවැනි මරණ පරීක්‍ෂණයයි. රෝහලේ වඩා පළපුරුදු වෛද්‍ය කණ්ඩායම කිසියම් බලවේගයක් විසින් එදින රෝහලේ සේවයෙන් ඉවත්කර තබා තිබෙනවා.

කෙනඩි ඝාතනය සම්බන්ධව ඇති ප්‍රබලතම සාක්‍ෂිය වන්නේ ඒබ්‍රහම් සැපෘඩර් ගේ වීඩියෝව යි. එමුත් එය 1975 වසර වන තුරුම මහජනතාව වෙනුවෙන් මාධ්‍යයට නිතුක් කෙරුනේ නැහැ. දැන් ඕනෑම කෙනෙකුට එය අන්තර්ජාලය ඔස්සේ නැරඹිය හැකියි. එහෙත්, අද සැපෘඩර් වීඩියෝව නරඹන ඔබ හෝ මම හෝ දකින්නේ එහි සැබෑ ස්වරූපය නොවෙයි!

එදා ඩිලී ප්ලාසා මාවත ඔස්සේ රථ පෙරහැර ඒ මාරක වංගුවට ප්‍රවිෂ්ටවෙද්දී ජනාධිපතිවරයා රැගත් රථයේ වේගය අඩු කෙරුණා. ඒ බවට ඇසින් දුටු සාක්‍ෂිකරුවන් පමණක් නොව, රථ පෙරහරේ ඉදිරියෙන් ගමන් කළ පොලිස් යතුරුපැදි ධාවකයන් පවා සහතික කර කියනවා. නමුත් අද දකින්නට ඇති වීඩියෝවේ රථයේ වේගය අඩුරීමක් දක්නට ලැබෙන්නේ නැහැ.

ඒ රූපරාමු කිහිපය ඉතා සූක්‍ෂම අයුරින් අදාල වීඩියෝවෙන් ඉවත් කරන්නට අදිසි බලවේගය කටයුතු කර තිබෙනවා.

කෙනඩි ඝාතන කුමන්ත්‍රණය පිළිබඳව “ක්‍රොස්ෆයර්” නමින් පොතක් ලියා පළකළ ජිම් මාර්ස් නැමති කතුවරයා ඒ පිළිබඳව පෞද්ගලිකවම බොහෝ තොරතුර සොයා බැලූ කෙනෙක්. ඩිලී ප්ලාසා මාර්ගයේ පදිකවේදිකාව අයිනක කහ පැහැයෙන් සළකුණු දෙකක් කර ඇති බව ඔහුට දක්නට ලැබුණා. ජනාධිපතිවරයා රැගත් රථයේ වේගය අඩාලවූයේද හරියටම මෙම කහ සළකුණු දෙක අතර දී යි. එය වෙඩි ප්‍රහාරය එල්ලකළ යුතු නිශ්චිත තැන හරිහැටි ඝාතකයාට දැන්වීමට කරන ලද සලකුණක් ද?

ඒ අවාසනාවන්ත දිනයේදී ජනාධිපති කෙනඩිගේ රිය පෙරහැර අදාල වංගුව පසුකර තණ නිල්ල මැදින් ගමන්කිරීමට නියමිතව තිබුණේ නැහැ. මුල් ගමන් සැලසුම තිබුනේ අදාල ප්‍රදේශය මගහැරයන්නයි. මන්දයත් වේගය අඩාලවන තියුණු වංගුවක් සහිත තට්ටු ගොඩනැගිලි හා වැටවල් වලින් වටවූ එළිමහන් භූමියක් යනු ප්‍රභූ ඝාතන පිළිබඳ ඉගැන්වෙන අත්පොත් වේ නම් එවැන්නකට පවා සුදුසු සරල උදාහරණයක්. අවසන් මොහොතේ රිය පෙරහැරෙහි මග වෙනස් කිරීමට ලැබුණු අණ කාගේද?

එදා කෙනඩිගේ රථය පිරිවැරූ ආරක්‍ෂාවට යොදවනු ලැබ සිටියේ ඔහුගේ සුපුරුදු ආරක්‍ෂකයන් නොවෙයි. ඉන් තිදෙනෙක්ම හදිසියේ අනුයුක්ත කළ අයයි. එක් ආරක්‍ෂකයෙකු පමණක් ජනාධිපති ආර්යාවගේ ඉල්ලීම පිට ඇගේ ආරක්‍ෂක කණ්ඩායම අතරින් එයට එක්කෙරුණා. ජනාධිපති වරයාට වෙඩි වදිත් දී කලබලවී දිවවිත් රථයට ගොඩවන්න දැඩි උත්සාහක් දරන්නේ එම ආරක්‍ෂකයා පමණයි. ඔහු සිය රථයෙන් පනිත්දී අනෙක් ආරක්‍ෂකයේ සියළුදෙනාම වැඩි කලබලයකින් තොරව වෙනත් දිශා බලාසිටිනා හැටි AP පුවත් සේවයේ මාධ්‍යෙව්දියෙකුගේ ප්‍රවෘත්ති කැමරා කාචයේ පැහැදිලිව සටහන්ව තිබෙනවා. සැලසුමක් ක්‍රියාත්මක වෙද්දී එයට අනුකූලව සිටින්න ඒ ආරක්‍ෂකයන් හට කිසියම් අණක් ලැබී තිබුණේද?

කෙනඩි ඝාතනය ඇසින් දුටු සාක්‍ෂිකරුවන්ගෙන් 18 දෙනෙකු වසර 3 ක කාලයක් තුළ මරණයට පත්ව තිබෙනවා. සයදෙනෙක් වෙඩි තැබීම්වලට ලක්වීමෙන්. තිදෙනෙක් මොටර් රථ අනතුරුවලින්. මරණ දෙකක් සියදිවි නසාගැනීම්. එක් අයෙක් ගෙලට සිදුවූ තුවාලයකින් මියගියා. තවත් අයෙක් කරාටේ පහරක් වැරදීම නිසා මියගිහා. ස්වභාවික හේතු නිසා යැ යි කිව හැකි මරණ තිබුනේ පහක් පමණයි. ඒ අතරම සාක්‍ෂිකරුවන් බියවැද්දීමේ උත්සාහ රැසක් ද වාර්තාවුණා. ඒ බියවැද්දීම් FBI ආයතනගේ ගිණුමට බැරවී තිබුණා.

සියල්ල මෙසේ සිදුවෙත්දී උපජනාධිපතිවරයාව සිටි ලින්ඩන් ජොන්සන් ඇමෙරිකා එක්සත්ජනපදයේ මීළඟ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නා.

පැය හැත්තෑ දෙකක් ඇතුලත ජෝන් එෆ් කෙනඩි අවසන් සුසුම් හෙළූ ජනාධිපති ලිමොසීන් රථය පිරිසිදු කර නවීකරණය කරවන්න ලින්ඩන් ජොන්සන් හට උවමනා වුනා. අබිරහස් ලෙස හැළී ගිය කෙනඩිගේ රුධිරය සේදී යද්දී අතිශය වැදගත්විය හැකිව තිබූ සාක්‍ෂි රැසක් ද ඒ හා සමග සේදී නොයන්නට ඇතැයි සිතිය හැකිද? කෙසේ නමුත් මොටර් රථයට වහළක් පවා සවිකර නවීකරණය කරනු ලැබූවත් ලින්ඩන් ජොන්සන් ජනාධිපතිවරයා කිසිදා එය පාවිච්චියට ගත්තේ නැහැ.

ඉතින් කෙනඩිව මරාදමන්න උවමනා වූයේ කාට ද? ඒ ඇයි?

ජනාධිපති පදවියට පත්වූ කාලයේදී ම, ඇමෙරිකානු ආරක්‍ෂක අංශ වල බලතල වැඩිකරන්නට ජෝන් එෆ් කෙනඩි ප්‍රතිඥා දී සිටියා. නමුත් බොහෝ කලක් වසන්කර තිබුණු රාජ්‍ය ලියවිලි රැසක් ඔහු අතට පත්වුණා. ඇමෙරිකානු මධ්‍යම ඔත්තුසේවය ආරක්‍ෂක අංශ සමග එක්වී දීර්ඝකාලයක් තිස්සේ නිරත වුණු කුප්‍රකට කුමන්ත්‍රණ, රාජ්‍යයන් වැට්ටවීම සැලසුම් ආදී බොහෝ අඳුරු දෑ ඒවායේ තිබුණා. කෙනඩි සිය රට එහි ගැනත් රාජ්‍ය යාන්ත්‍රණය ගැනත් අතිශය කම්පාවටත් කණස්සල්ලටත් පත්වුණා. “සී. අයි. ඒ. සංවිධානය කැබල දහසකට සුනුවිසුණු කරදමනවා!” යැයි කෙනඩි කියා සිටියේ ආවේගයෙන්. ඔහු වහාම CIA ප්‍රධානියාව ධූරයෙන් පහකොට එම ඒකකය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානීන්ගේ භාරයට පත්කළා. අසාර්ථක වුණු කියුබානු ආක්‍රමණය ගැන උරණවූ මධ්‍යම ඔත්තු සේවයේ ඇතැම්හු කෙනඩිට ඒගැන දොස් නැගුවා. FBI ප්‍රධානියාගේ තනතුර තිබුණේ අනතුරක යි. මන්දයත් වයස් සීමාව ඉක්මවා සිටි FBI ප්‍රධානියාට තම ධූර කාලය දිගු කරගත හැකි එකම මග ජනාධිපතිගේ නිර්දේශය යි. උද්ගතව ඇති තත්ත්වය හමුවේ ජනාධිපති කෙනඩි රහස් ඔත්තු සේවා ප්‍රධානීන්ගේ කෙරුවාවන් ගැන තවදුරටත් විශ්වාසය තබමින් සිටියේ නැහැ.

ඇමෙරිකානුවන් ආදරය කළ ඇමෙරිකාවේ ජනාධිපතිවරයා ඇමෙරිකානු ආරක්‍ෂක අංශ වලට හිරිහැරයක් බවට පත්වූයේ නොදැනීම යි…

ඉතින්, ජනාධිපති ජෝන් එෆ් කෙනඩිව වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳව සැකපිට, සිනමාශාලාවකට රිංගාගැනීමට උත්සාහකරමින් සිටියදී ලී හාවි ඔස්වල්ඩ් නැමැත්තාව අත් අඩංගුවට ගැනුණා. ඩලස් පොලීසිය ඔහුගෙන් ප්‍රශ්නකලත් ඔහු කීවේ “ඔබනේ පොලීසිය ඔබ සොයාගන්න” යනුවෙනුයි. ඩලස් පොලීසිය සැකකරුගේ විස්තර සොයා වෙහෙසෙන අතරතුර බළලෙකු මල්ලෙන් එළියට පැන තිබුණා!

පොලීසිය කිසිත් සොයාගත නොහැකිව වෙහෙසෙත්දී, FBI ආයතනය හෙලි කළ තොරතුරු අනුව ලී හාවී ඔස්වල්ඩ් නැමැත්තා CIA සංවිධානය වෙනුවෙන් සේවයකළ අයෙකු බවත්, ඔහු මරීන් භටයෙකු ලෙසද කටයුතු කර ඇති අතර රුසියාවේ ද සිට ඇති බව පසුවදා පුවත්පත් වල ලොකු අකුරින් පළවුණා.

Kenadi 3

දෙදිනකට පසු ලී හාවි ඔස්වල්ඩ් මාධ්‍ය හමුවට පැමිණවූවා. ඔහු තමන්ට නීතී ආධාර අවශ්‍යව ඇති බව කියා සිටියා. ඔබ ජනාධිපතිවරයා මරුදැමුවේ ද යන ප්‍රශ්නයට ඔහු කිසිවක් කීවේ නැහැ. ඉන් මදකට පසුව ඩලස් නගරශාලාවෙන් පිටතට පැමිණෙමින් සිටියදී, සියලු මාධ්‍ය වල කැමරා ඇස් අබියසදීම ජැක් රූබි නැමැත්තෙකු විසින් ලී හාවි ඔස්වල්ඩ්ව වෙඩි තබා ඝාතනය කෙරුණා. ඝාතකයාගේ පාපෝච්චාරණය හෝ බිහිසුණු සාක්‍ෂිය සදාකාලයටම එසේ නිහඬවුණා.

kenadi3

කෙනඩිගෙන් හිස් වූ පදවියට උප ජනාධිපතිව සිටි ලින්ඩන් ජොන්සන් පත්වුණා.

ඒවනවිට ඇමෙරිකා එක්සත්ජනපදයට ඉමහත් අපකීර්තියක් ගෙන එමින් තිබූ වියට්නාම සංග්‍රාමයෙන් ඇමෙරිකානු හමුදාඛණ්ඩ සියල්ල 1965 වසර වෙත්දී ඉවත්කරගැනීමේ නිල ලේඛනයකට ජනාධිපති කෙනඩි අත්සන් කර තිබුණා. කෙනඩිගේ මරණයෙන් දින හතරකට පසුව අභිනව ජනාධිපති ලින්ඩන් ජොන්සන් කළේ කෙනඩිගේ ලියවිල්ල බල රහිත කරමින් තවදුරටත් ඇමෙරිකානු හමුදා වියට්නාමයේම තබන නව ලියවිල්ලකට අත්සන් තැබීම යි. පුදුමසහගත ලෙස කිසියම් හෝ කෙනෙකු විසින් අදාල ලියවිල්ල කෙටුම්පත් කර තිබුණේ කෙනඩිගේ මරණයට පෙර දිනයේදී යි!

කෙනිඩිව මරාදැමුවේ කවුද? ලී හාවි ඔස්වල්ඩ් සැබෑ ඝාතකයාද? නැතහොත් සැබෑ ඝාතන සැලසුම වසන්කිරීමට දමන ලද ඉත්තෙක්ද? ඩලස් පොලීසිය ඉතිරිපත් කළ වාර්තා වලට අනුව කෙනෙකු රයිෆලයකින් වෙඩි තැබීමේදී ඔහුගේ මුහුණෙහි සහ දෑත්වල තැවරෙන වෙඩිබෙහෙත් අංශු ලී හාවි ඔස්වල්ඩ් ගේ සිරුරෙහි අඩංගුව තිබුණේ නැහැ. නමුත් තවත් පුදුමයක් ඇතිකරමින් වොරන් කමිටුවට ගිය වාර්තාවේ එම කොටස ඇතුළත් වූයේ නැහැ. එපමණක් නොවෙයි. “ලී හාවි ඔස්වල්ඩ්” යන නම යටතේ කලින් කල ලබාගත් ඡායාරූප කිහිපයක් තිබෙනවා. නමුත් ඒවා සමාන නැහැ. ඇතැම් එකක් පුද්ගලයන් දෙදෙනුගේ මුහුණු එක් කර සැකසූ ඒවා යි! සැබැවින්ම ලී හාවි ඔස්වල්ඩ් යන නම දරන තැනැත්තා කවුද? එය පවා ගැටලුවක්.

කරන ලද සූක්‍ෂම ඡායාරූප පරීක්‍ෂාවකින්, රථ පෙරහැරට වම්පස වැටට මුවාවී යමෙකු ගිනි අවියකින් වෙඩිතබන ආකාරක් දක්නට ලැබෙනවා. මුහුණ පැහැදිලි නැතිමුත් ඒ ලී හාවි ඔස්වල්ඩ් නම් නොවෙයි. මේ අබිරහස් පුද්ගලයාව හඳුනාගත හැකි එකම සාක්‍ෂිය ඔහු ඇඳ සිටින කළු නිල ඇඳුම සහ උරහිසෙහි ඇති පොලිස් ලාංඡනයයි. එමෙන්ම තවත් කුප්‍රකට ආරක්‍ෂක අංශ ප්‍රධානියෙකු කෙනඩි ඝාතනයට ලක්වූ මාවත අයිනෙන් ඇවිදයනු ඡායාරූප වල දක්නට ලැබෙනවා. ඒ ජෙනරල් එඩ්වර්ඩ් ජී ලෑන්ස්ඩේල් නැමැත්තායි. රහස් දේශපාලන ඝාතන රැසක් මෙහෙවයූ කණ්ඩායමක ප්‍රධානියා ඔහුයි. කෙනඩි වෙඩි පහරට ලක්වත්දී ඔහු එතැනින් ඇවිදයාම අහඹුවක්ද?

කරුණු කෙසේවෙතත් ඇමෙරිකානු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි ගේ මරණයය ඉතිහාසයේ ඉතා පැටලිලිසහගත අබිරහස් ඝාතන අතරට එක්වී අවසන්. දැන් දැන්, සිදුවී ඇති දේ හෙළිකරන සෙවනැලි මතුවුවත් එවායේ ප්‍රභවයට බිඳවැට්ටවිය නොහැකි සාක්‍ෂි බවට පත්වීමට හැකියාවක් ලැබී නැහැ.

ජනාධිපති කෙනඩිව ඝාතනය කළ ලී හාවි ඔස්වල්ඩ් ව මරාදැමූ ජැක් රූබි හට මරණ දඬුවම නියම වුණා. නමුත් ඔහු යළි අභියාචනයක් ඉදිරිපත්කරමින් තමන් හට සත්‍ය තොරතුරු හෙළි කරන්න ඕනෑ බව කියා සිටියා. යළි නඩුවිභාගයට දින නියම කිරීමෙන් පසු ජැක් රූබි සිපිරිගෙය තුළදී ම රෝගාතුරව මිය ගියා. ඔහුගේ මරණයට හේතුව පෙනහළු පිළිකාවක් නිසා ඇතිවූ සංකූලතාවක් බව මරණපරීක්‍ෂණයේ සඳහන් වුණා…

මණයට පත්වන්නට පෙර ජැක් රූබි බන්ධනාගාර ආරක්‍ෂකයෙකු අමතා මෙසේ කියා තිබුණා.

“එය ඉතා නින්දිත කුමන්ත්‍රණයක්. ලැජ්ජාසහගත කුමන්ත්‍රණයක්. කවදා හෝ ලෝකයා දැනගන්නා, දැනගත යුතු, ඉතා නින්දිතම කුමන්ත්‍රණයක්…”

-අඛිල රන්සිරි මලලගේ-

RSL

Related Posts