කාන්තාවක් බිහිකළ දරුවකු ෂාෆි වෙනත් අයකුට දීමට අනුබල දීලා – සීඅයිඞීය උසාවියට දන්වයි; ෂාෆිගේ වඳ සැත්කම් ගැන තවත් තොරතුරු රැසක් අධිකරණයට

Spread the love

වෛද්‍ය සෙයිදු සහාබ්දීන් මොහොමඞ් ෂාෆි විසින් කුරුණෑගල ශික්‍ෂණ රෝහලේදී සිදු කරන ලද සිසේරියන් සැත්කම්වලදී සිදු වී ඇතැයි කියන පැලෝපීය නාළ අවහිර කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි කළ මවුවරුන්ට ලබන 30 වැනිදා සිට කොළඹ ජාතික රෝහලේදී එස්. එච්. ජී. පරීක්‍ෂණ සිදුකිරීමට අවසර ලබා දෙන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමට අවසර ලබාදීම කුරුණෑගල ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් සම්පත් කාරියවසම් මහතා ඊයේ (27 දා) අත්හිටුවයි කළේය. 

එවැනි පරීක්‍ෂණ මගින් සිසේරියන් සැත්කම් නිසා මේ වන විටත් මදසරුභාවයට ලක් වී ඇති මවුවරුන්ට තව තවත් සංකූලතා ඇතිවීමට ඉඩ ඇති බවත්, එමගින් එම මවුවරුන්ට ඉතා අහිතකර සංකූලතා ඇතිවිය හැකි බවත් පෙන්වා දෙමින් කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ මහෙස්ත‍්‍රාත්වරයා එම නියෝගය කළේය.

සරත් වීරබණ්ඩාර මහතා ඇතුළු විශේෂඥ වෛද්‍ය මණ්ඩලයකින් ඒ සම්බන්ධයෙන් නිර්දේශ ලබාගෙන ලබන 11 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ මහෙස්ත‍්‍රාත්වරයා එම නිර්දේශ අනුව ඉදිරි දිනයේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් ලබා දෙන බව පෙන්වා දුන්නේය.

වෛද්‍ය ෂාෆි මොහොමඞ් සම්බන්ධයෙන් මෙතෙක් සිදුකළ විමර්ශනවල ප‍්‍රගතිය සහ වින්දිතයන්ගෙන් හා සාක්‍ෂිකරුවන් 500 කට අධික ප‍්‍රමාණයකින් ලබාගත් සාක්‍ෂි සම්පිණ්ඩන ඇතුළත් පිටු 210 ක වාර්තාවක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ අධිකරණයට ඉදිරිපත් කළේය.

සැකකාර ෂාෆි මොහොමඞ් පසුගිය කාලය තුළ රුපියල් පන්කෝටි තිස්ලක්‍ෂයකට අධික මුදලක් වැය කර දේපළ මිලදී ගෙන ඇති බවත්, ඔහුගේ මාසික ආදායම රුපියල් දහනවලක්‍ෂ තිස්තුන්දහස් පන්සියයක් බවට අනාවරණය වී ඇතැයි ද එහිදී අධිකරණයට පෙන්වා දුන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඔහු ව්‍යාපාරික කටයුතු සඳහා පසුගිය කාලය තුළදී මිලියන තුන්සිය හැත්තෑහතක (377) මුදලක් ආයෝජනය කර ඇතැයි ද අධිකරණයට පෙන්වා දුන්නේය.

ජාතික තව්හිද් ජමාත් සංවිධානයට ආධාර අනුබල දීම සහ තව්හිද් ජමාත් සංවිධානයේ අරමුණු සාක්‍ෂාත් කර ගැනීම ඇතුළු චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගත් ඔහු සම්බන්ධයෙන් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විමර්ශනය සිදු කළ බව ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

ඔහු ත‍්‍රස්තවාදී කි‍්‍රයාවලට සම්බන්ධ බවට විමර්ශන වාර්තා හා බුද්ධි අංශ තොරතුරු අනුව අනාවරණය වී නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් රාජ්‍ය ආරක්‍ෂක ලේකම්වරයාට කරුණු වාර්තා කොට රැඳවුම් භාරයෙන් නිදහස් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

කෙසේ නමුත් ඔහු තමන් සේවය කළ රෝහලේ දී වෙනත් කාන්තාවක බිහිකළ දරුවකු නීත්‍යනුකූල නොවන ආකාරයෙන් වෙනත් අයකුට ලබාදීමට ආධාර අනුබල දී ඇති බව අනාවරණය වී ඇතැයි ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

විමර්ශන නිලධාරීන්ගේ කරුණු දැක්වීමෙන් අනතුරුව අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ටෙරී ප‍්‍රනාන්දු මහතා කරුණු දක්වමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එම සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකර ඇති ආකාරය පක්‍ෂග‍්‍රාහී බව අධිකරණයට පෙන්වා දුන්නේය.

සැකකාර වෛද්‍යවරයා විසින් සිදුකර ඇත්තේ ඉතා සූක්‍ෂම ආකාරයේ අපරාධයක් බවත්, ලංකා ඉතිහාසයේ එවැනි අපරාධයක් සම්බන්ධයෙන් මින් පෙර විමර්ශනයක් සිදුවීනැති බවත් නීතිඥ ටෙරී ප‍්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේය.

විමර්ශන නිලධාරීන් සිදුකර ඇත්තේ හොරාගේ අම්මාගෙන් පේන අසා හොරා නිදහස් කරන ආකාරයේ විමර්ශනයක් බව ද එහිදී පෙන්වා දුන් අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරයා ශල්‍යාගාරයක් තුළදී සිදුකරන සිසේරියන් සැත්කම්වලදී පැලෝපීය නාළය මිරිකනවා දැක්කාද? නැතිද? කියා සාක්‍ෂිකරුවන්ගෙන් අසා අධිකරණයට සාක්‍ෂි සම්පිණ්ඩන ඉදිරිපත් කිරීම මගින් අපරාධකරුට ලෙහෙසියෙන් නීතියෙන් බේරී සිටීමේ හැකියාව ද ඇතැයි පෙන්වා දුන්නේය.

-දිවයින-

RSL

Related Posts