රජය ආපදා වන්දි ලෙස කෝටි 400ක් ගෙවයි

Spread the love

2017 වසරේ සිදු වූ ස්වාභාවික ආපදා සඳහා පමණක් රුපියල් කෝටි 400 ඉක්මවූ මුදලක් ජාතික ස්වාභාවික විපත් රක්ෂණ ආවරණය මඟින් විපතට පත් වූ අයට ගෙවා ඇතැයි ජාතික රක්ෂණ භාර අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරි සනත් සී. ද සිල්වා මහතා පවසයි.

ඉකුත් 29 වැනිදා හටගත් දැඩි සුළං හා වැසි විපත නිසා දැනට ගෙවන්නට සිදු වී ඇති මුදල රුපියල් මිලියන 200 ඉක්මවයි. වසර මුලදී අත් වූ නියං තත්ත්වය හා වසර මැදදී ඇති වූ ගංවතුර සහ නායයෑම් නිසා සිදු වූ ආපදා වෙනුවෙන් ඉතිරි මුදල් ගෙවා ඇත.

මේ වසරේ මැයි මාසයේ හටගත් අධික ගංවතුර හා නායය‍ෑම් නිසා විපතට පත් ව‍ූවන්ට නිවාස, කුඩා ව්‍යාපාර හා දේපළ නැවත ගොඩනඟාගැනීමට රුපියල් මිලියන 2000ක රක්ෂණ වන්දි මුදලක් ගෙවූ බවද සනත් සී. ද සිල්වා මහතා පවසයි.

ඒ අනුව ගංවතුරින් හා නායයෑම්වලින් මුළුමනින්ම විනාශ වූ හා අඩක් හානියට පත් නිවාස එක්ලක්ෂ දාහත්දහසක් වෙනුවෙන්ද කුඩා ව්‍යාපාර 5000ක් වෙනුවෙන්ද මේ රක්ෂණ වන්දි පිරිනැමූ බව ප්‍රධාන විධායක නිලධාරිවරයා කීය.

ඉකුත් දා (29) හටගත් අධික සුළි සුළං තත්ත්වයෙන් විපතට පත් වූවන්ට ඉතා ‍ඉක්මනින් සහන සැලැසීමට පසුගිය සිකුරාදා (01) වන විට රුපියල් මිලියන 180ක මුදලක් නිදහස් කළ බව ඒ මහතා ප්‍රකාශ කළේය.

රටක් ලෙස ස්වාභාවික විපත්වලින් පීඩාවට පත් වන විට ජනතාවට නැවැත නැඟී සිටීමට අත දීමේ ජාතික යුතුකම ඉටු කිරීමේ අරමුණින් නව රජය විසින් ජාතික ස්වාභාවික විපත් ආපදා රක්ෂණ ක්‍රමවේදය රටට හඳුන්වා දුන් බව කී සිල්වා මහතා, මේ රක්ෂණාවරණයෙන් ප්‍රයෝජන ගැනීමට රටවැසි ජනතාව දැනුවත් කළ යුතු බවද කියා සිටියේය.‍

මේ වසරේ මැයි මාසයේ හටගත් ගංවතුරින් කොළඹ, ගම්පහ හා කළුතර ප්‍රධාන දිස්ත්‍රික්ක කිහිපයක නිවාස, දේපොළ හානි සිදු වූ අතර, ඒවා සියල්ලට මේ වනවිට රක්ෂණ වන්දි ගෙවා අවසන්යැයිද කී ප්‍රධාන විධායක නිලධාරියා, තමන්ට ලැබුණු වන්දි මුදල් ප්‍රමාණවත් නැති නම් අභියාචනා ඉදිරිපත් කොට එය වැඩි කරගැනීමේ අවස්ථාවද ජනතාවට ලබාදී ඇතැයි පැවසීය. වසර මැද ගංවතුරින් හානියට පත් නිවාස 70000කට හා කුඩා ව්‍යාපාර 5000කටද රක්ෂණ වන්දි ගෙවා තිබේ.

RSL

Related Posts