කුප්‍රකට මහේන්ද්‍රන්ගේ වරෙන්තුවට මොකද වුණේ..? රහස් පොලිසිය සමඟ හොරා පොලිස් කරවාද..?

Spread the love

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ පළමුවන සැකකාර හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තු නියෝග ක‍්‍රියාත්මක කිරීමට ගෙන ඇති පියවර හා ඔහු ශ‍්‍රී ලංකාවට පිටුවහල් කරගැනීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ලබන 30 වැනිදා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොටුව මහෙස්ත‍්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඊයේ (23) නීතිපතිවරයාට නියෝග කළාය.

එම සැකකරු ඔහුට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ගොනු කර ඇති බැඳුම්කර වංචාවට අදාළ චෝදනා හා ඒවා සනාථ කිරීමට ඉදිරිපත් කොට ඇති ලේඛනවල පිටපත් හා වරෙන්තු පිටපත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය එහිදී අධිකරණයට දැනුම් දුන්නාය.

සැකකරු එම ඉල්ලීම කොට ඇත්තේ පොලිසිය හරහා බැවින් ඔහු ඉල්ලා සිටින ලේඛනවල පිටපත් ඔහුට යෑවීම පිළිබඳව නීතිමය තත්ත්වය අධ්‍යයනය කරමින් පවතින බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එහිදී අධිකරණයට දැනුම් දුන්නාය.

එම සැකකරු මේ වන විට රැඳී සිටිනුයේ කුමන රටක දැයි එහිදී මහෙස්‌ත්‍රාත්වරිය විමසූ අතර එයට පිළිතුරු දෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පෙන්වා දුන්නේ ඔහු මේ වන විට සිංගප්පූරුවේ රහසිගතව රැඳී සිටින බව නිරීක්‍ෂණය කොට ඇති බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ වනවිට තහනමට ලක්‌කර ඇති පර්පෙචුවෙල් ට්‍රෙෂරීස්‌ සමාගමට අයත් ගිණුම්වල තැන්පත් කොට තිබෙන රුපියල් බිලියනයක මුදල එම සමාගමට ආපසු මුදාහරින ලෙස නියෝගයක්‌ කරන්නැයි ඉල්ලා පර්පෙචුවෙල් ට්‍රෙෂරීස්‌ සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ලිතව කරුණු ගොනු කළ අවස්‌ථාවේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඒ බව පෙන්වා දුන්නාය.

සිය සේවාදායක සමාගම ඉල්ලා සිටිනුයේ ප්‍රශ්නගත මහ බැංකු බැඳුම්කර වෙන්දේසිවලට පෙර උපයාගත් මුදලක්‌ බැවින් ඒවා තවදුරටත් රඳවා තබා ගැනීමේ නීතිමය අවශ්‍යතාවයක්‌ නොමැති බව ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන මුවාවෙන් සිය සේවාදායක සමාගමට අයත් අතිශය රහස්‍ය තොරතුරු සම්බන්ධයෙන් ද අනාවරණය කර ගැනීමේ උත්සාහයක නිරත වී ඇති බව ඩබ්ලිව්. එම්. මෙන්ඩිස්‌ සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කෝලිත ධර්මවර්ධන මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන සිදුකරනුයේ මහ බැංකු බැඳුම්කර වංචාවෙන් උපයාගත් මුදල් තෙවන පාර්ශවයකට ප්‍රේෂණය වූ ආකාරය ගැන මිස එක්‌ එක්‌ සමාගම්වල හා පුද්ගලයන්ගේ රහස්‍ය තොරතුරු නොවන බවත් විමර්ශනවලදී එවැනි රහස්‍ය තොරතුරු අනාවරණය වුවත් ඒ ප්‍රසිද්ධ නොකිරීමට විමර්ශන නිලධාරීන් වගබලා ගන්නා බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය එහිදී පෙන්වා දුන්නාය.

යම්කිසි අපරාධයක්‌ සම්බන්ධයෙන් අනාවරණය කරගැනීම සඳහා විමර්ශනය කිරීමේ අයිතිය අපරාධ පරීක්‍ෂණ නිලධාරීන්ට ඇති බවද මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය එහිදී පෙන්වා දුන්නාය. රජයේ අධිනීතිඥ සහන්‍යා නාරංපනාව මෙනවිය රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්‌මිණි ගිරිභාගම මෙනවිය සමඟ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටියාය.

උප පොලිස්‌ පරීක්‍ෂක නිමල් ජයවීර, පොලිස්‌ පරීක්‍ෂිකා එච්. ධර්මලතා මහත්මිය ඇතුළු නිලධාරි කණ්‌ඩායමක්‌ සමඟ පොලිස්‌ අධිකාරී පී. අම්පාවිල මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කළේය.

නීතිඥ සනත් විඡේවර්ධන මහතාගේ උපදෙස්‌ පරිදි නීතිඥ ලලිත අමරසේන, අසේල සේරසිංහ, හරීන් සද්ධාසේන ඇතුළු නීතිඥ මණ්‌ඩලයක්‌ සමඟ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා විත්තිය නියෝජනය කළේය.

RSL

Related Posts