ආන්දෝලනාත්මක සුදු කොඩි නඩුවේ නීතීඥ ලද්දුවහෙට්ටි මහතාගේ දේශනය

Spread the love

හිටපු යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව පවරා ඇති සුදු කොඩි නඩුවේ තවත් නඩු වාරයන් දෙකක් පසුගියදා එනම් ඔක්තොම්බර මස 12 සහ 13 යන දිනයන් දෙකෙහිදි කොළඹ මහ අධිකරණයේදී පවැත්විණි. එහිදී විත්තියේ දේශනය ඉදිරිපත් කරමින් විත්තියේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා විසින් කළ සම්පූර්ණ දේශනය මෙසේ පළ කරමු.

මෙම නඩුවේ නලින් ලද්දුවහෙට්ටි මහතාගේ විත්තියේ දේශනයට සවන් දීම සඳහා ප‍්‍රකට නීතිවේදීන් මෙන්ම නීති ශිෂ්‍යයන් ද බොහෝ පිරිසක් අධිකරණ ශාලාවට පැමිණ සිටීම විශේෂත්වයකි.

විත්තියේ වැඩිදුර දේශනය මෙම මස 18 වන දින යළි පැවැත්වේ.

ඔක්තොම්බර මස 12 වැනි දින

‘‘මේක පුදුම නඩුවක් මෙහි පුදුම සහගත සිදුවීම් ගණනාවක් තියෙනවා. පළමු සාක්කි කාරිය ෆෙඩි‍්‍රකා ජෑන්ස්ගේ සාක්කි විශ්ලේෂණයේදී අධිකරණයේ විශේෂ අවධානය යොමුවිය යුතුයි. ඇය කියනවා සරත් ෆොන්සේකා සමග පැවැත්වූ සාකච්ඡුාවට ඇයට අමතරව සභාපති ලාල් වික‍්‍රමතුංග, මාධ්‍යවේදිනී රශ්මින් විජේවර්ධන හා ඡුායාරූප ශිල්පී තුසිත කුමාර යන 4 දෙනාම ගියා කියා. නමුත් අධි චෝදනා ගොනු කරද්දී ඉන්නේ ෆෙඩි‍්‍රකා පමණයි. දෙවෙනි සාක්කිකරු ලෙස ලාල් වික‍්‍රමතුංගගේ නම ඉදිරිපත් කර තිබුනත් සාක්කියට කැඳෙව්වේ නෑ.

හරියට මේක ඔව්, නෑ, බෑ තරඟයක් වගේ. මේ නඩුව සාධාරණ සැකයකින් ඔබ්බට පැමිණිල්ල විසින් ඔප්පු කළා කියලා එක වචනයක් හෝ ප‍්‍රකාශ වූයේ නෑ.

ඊළඟ කරුණ චේතනාවක් තිබුණා කියන එක විමසිය යුතුයි. ඕනෑම අපරාධ නඩුවක එම අපරාධය කළ බවට ඔප්පු වන්නේ එය කළ පමණින් නොවේ. චේතනාවක් තිබීමත් එක් වීමෙනුයි. පැමිණිල්ල කළ යුත්තේ තම චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ගොස් තහවුරු කිරීමයි. විත්තිය කරන්න ඕනෑ සාධාරණ සැකයක් තිබෙන බව ඔප්පු කිරීමයි.

මෙහිදී ෆෙඩි‍්‍රකා නෝනාගේ සාක්කි කිරලා මැනලා අරගෙන බලන්න. මම අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ එකිනෙකට වෙනස් පරස්පර විරෝධී සාක්කි දෙන ෆෙඞ්රිකා නෝගේ සාක්කි පිළිගන්නවාද? එට වෙනුවෙන් තෙවරක් ලේ හොල්ලපු යුද වීරයෙක්ගෙ වචන පිළිගන්නවද කියලා විමසා බලන්න කියා යි.

මේ නඩුව පිටු 600 ක් පමණ සමන්විතයි. එ්ත් පැමිණිල්ල කවුද කියලා නිවැරදි සඳහනක් නෑ.

මේ නඩුව පටන් ගන්නේ 2010 පෙබරවාරි 10 දා ඊට පසු අවස්ථා 3 කදී ෆෙඩි‍්‍රකා නෝනා සීඅයිඩියට කට උත්තර දීලා තියෙනවා. හතර දෙනෙක් ගිය සම්මුඛ සාකච්ඡුාවට එක්කෙනෙක් පමණක් සාක්කියට ආවේ ඇයි? මේ සම්මුඛ සාකච්ඡුාවට යෑමට පෙර සූදානම්වීමක් තිබුණා. ඇය කරුණු කිහිපයක් ඇගේ සටහන් පොතේ සටහන් කරගෙන ගියා.

රශ්මින් විජේවර්ධන සාකච්ඡුාවේදී විත්තිකරු කියන ලද දේවල් ප‍්‍රශ්න උත්තර ක‍්‍රමයට ලියලා තියෙනවා. ෆෙඞ්රිකා එක තැනකදී කියනවා රශ්මින් සම්මුඛ සාකච්ඡුාව කරන අයුරු බලන්න ගියා කියලා. තවත් තැනෙක කියනවා සම්මුඛ සාකච්ඡුාවෙ වෙලාවෙ රශ්මින් හා තුසිතට එළියට යන්න කියලා යම් යම් තොරතුරු ගත්තා කියලා. ඉන්පසු කියනවා රශ්මින් හා තුසිත යන දෙදෙනාම ගෙදර ගිහින් කියලා.

ලාල් වික‍්‍රමතුංග මේ ගමනට එක් වුනේ සරත් ෆොන්සේකාගෙන් යම් තොරතුරක් දැනගන්න කියලා කීවා. එ් අනුව සම්මුඛ සාකච්ඡුා කීයක් පැවැත්වුවද? රශ්මින්ගේ සාකච්ඡුාවේ කොතැනකවත් ෆෙඩි‍්‍රකාගේ නම සඳහන් කරලා නෑ. මේක නම් අපූරුම අපූරු සම්මුඛ සාකච්ඡුාවක්. මේ සම්මුඛ සාකච්ඡුාව පැවැත්වුවෙ රටේ යුද වීරයා මෙන්ම ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා සමගයි. ෆෙඞ්රිකා ජෑන්ස් කියන්නේ බොරු සාක්කි. ඇය කොන්වුණු හැම අවස්ථාවකදීම ඇගේ ස්ථාවරය වෙනස් කරනවා.

සන්ඬේලීඩර් පුවත් පතේ මෙම ලිපිය පළවෙලා සතියක් යද්දි ඇයට දැනුනා තමන්ට යම් චෝදනාවක් එල්ල වන බව. එයට එක හේතුවක් තිබුණා. ඇය ආරක්ෂක ලේකම්ට අපහාස කරලා ලියන්නෙ නෑ කියලා පොරොන්දු වෙලා තිබුනේ.. උසාවියට අපහාස කිරීමේ චෝදනාවක් එ් වන විටත් ගල්කිස්ස උසාවියේ විභාග වෙමින් තිබුනා. ඇයට අපහාස නඩු ගොඩක් තිබුනා. වරක් අගවිනිසුරු තුමියටත් අපහාස කරලා ශ්‍රේෂ්ඨාධිකරණයේදී සමාව අර ගත්තා. ඇගේ මාධ්‍ය සදාචාරයේ ඇහිල්ලක් බැලිල්ලක් නෑ.

ඇය සරත් ෆොන්සේකාගෙන් ඇසීමට සටහන් පොතේ ලියාගෙන ගිය කරුණු වල මේ ප‍්‍රශ්ණය නෑ. ඇයට සම්මාන ගන්න පුදුම ආශාවක් තිබුණා. 2010 මාර්තු 10 දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඇගේ නෝට් බුක් එක ඉල්ලූ වෙලාවෙ ඇය එය දෙන්න බෑ කියා එහි ඡුායා පිටපතක් ලබා දුන්නා නමුත් ජූනි 21 දා ඇය ඇගේ එම සටහන් පොත අධිකරණයට බාර දුන්නා.

කලින් ලබා දුන් ඡුායා පිටපතෙයි, පසුව ලබා දුන් පිටපතෙයි පිටුවල යම් වෙනසක් තියෙනවද කියලා මම දෙවතාවක්ම ඇහුවා. ඇය කිව්වේ වෙනසක් නැහැයි කියලා. නමුත් පැමිණිල්ල පවා පිළිගත්තා, හැමෝටම පෙණුනා ඒ කොළවල වෙනස. ජෑන්ස් නෝනට නොපෙනුණේ ඇයි?

ඇය කීවා ආරක්ෂක ලේකම්තුමාගේ දුරකතන අංකය දන්නේ නෑ කියලා. නමුත් ඇගේ නෝට් බුක් එකේ ආරක්ෂක ලේකම්වරයාගේ ජංගම දුරකථණ අංකය පවා තියෙනවා.

ඇය දෙරණ නාලිකාවට කීවා මේ සිද්ධිය පටිගත කලා කියලා. නමුත් පටිගත කරලා නෑ. සාක්කි ආඥාපනතේ ඇති තරම් ප‍්‍රතිපාදන තියෙනවා ඇයව ගෙනල්ලා ඇත්ත දැන ගන්න පුළුවන් බවට. ඇය තමන්ට අවාසි වූ සෑම අවස්ථාවකදීම වැටුණු තත්ත්වයෙන් මිදීම සඳහා අසත්‍ය ප‍්‍රකාශ කළා නැතිනම් වෙනත් කෙනෙකුගේ පිටේ ගැහුවා. ඇය කියන දේවල් පිළිගන්න බැරි බොරු සාක්කි.

හැරෙන හැරෙන අතේ අසත්‍ය ප‍්‍රකාශ කරනවා හරියට විස්සයි විස්ස ක‍්‍රිකට් මැච් ගහනවා වගේ. ඇය බොරු කියනවා කියලා දන්නවානම් ඇගේ බොරු සාක්කි බැහැර කළ යුතුයි. ඇය සාක්කි දුන් ආකාරය, විලාසය, ඔබතුමන්ලා දකින්න ඇති.

ඒ නිසා ගරු අධිකරණයෙන් ඉල්ලා සිටිනවා ඇගේ බොරු සාක්කි බැහැර කොට යුද බිමේ තෙවතාවක් ලේ හැලූ යුද වීරයාගේ සාක්කි පිළිගන්නා ලෙස.

 

ඔක්තොම්බර මස 13 වැනි දින 

‘ඊයේ මා ගරු අධිකරණයට ප‍්‍රකාශ කර සිටියේ පුවත්පතේ පළවූ අදාල කතාව තහවුරු කර ගැනීමකින් තොරව පළ කිරීම මාධ්‍ය සදාචාරය නොවන බවත් තහවුරු කර ගැනීමකින් තොරව පළ කිරීම නොකළ යුතු බවත් ය. මෙම සුදු කොඩි සිද්ධිය තහවුරු කර ගත්තේ කාගෙන්ද ඇහුවහම බි‍්‍රගේඩියර් ශවේන්ද්‍ර සිල්වා හමුදා ප‍්‍රකාශක උදය නානායක්කාර බැසිල් රාජපක්‍ෂ ගෝඨාභය රාජපක්‍ෂ යන 4 දෙනාගෙන් තහවුරු කර ගත්තා කීවා. මේ ගැන එකින් එක විමසද්දී ඇය පිළිගත්තා මේ 4 දෙනා අතරින් කිසිවෙකුගෙන් වත් තහවුරු කර ගත්තේ නෑ කියලා.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා අමතන්න කාර්යාලයට දුරකථන පණිවුඩයක් ලබා දුන් බවත්, ඔහු නොසිටි නිසා පණිවුඩයක් තැබූ නමුත් ඔහු තමන්ට ඇමතුවේ නැති බවත් ඇය පැවසුවා. ගෝඨාභය රාජපක්‍ෂ මහතා අමතන්න වෙනත් දුරකථන අංකයක් නොමැති බව ෆෙඩි‍්‍රකා ජෑන්ස් කී කතාව බොරුවක්. ඇය උසාවියට ඉදිරිපත් කළ ඇයගේ සටහන් පොතේ පැහැදිලිව තියෙනවා ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජංගම දුරකථන අංකය.

ෆෙඩි‍්‍රකා තවත් බොරු සාක්කියක් දුන්නා මෙම කථාව පටි ගත කළා කියලා. ලිප ගිනි මොලවන තෙක් ගිනි සැලියේ නටන කකුළුවා වගේ ඇය තමන්ගේ ජයග‍්‍රහණය ගැන කතා බස් මාධ්‍යයට කියා පෑවා. ඉන් ඇය බලාපොරොත්තු වුනේ තමන්ගේ පෞර්ෂය ඉස්මතු කර ගැනීමයි. 1 වන වොයිස් කට් එක රූපවාහිනියට දුන්නේ සරත් ෆොන්සේකාගේ කාර්යාලයෙන් එළියට එන ගමන්. දෙරණ නාලිකාවට දුන් වොයිස් කට් එකේ පැහැදිලිවම කියා තිබෙනවා මේ සිද්ධිය පටිගත කළා කියලා. දැන් අපි ඉන්නේ තාක්ෂණයෙන් ඉතා ඉහල යුගයක. මේ තියෙන්නේ රෙකෝඩරයක්. (ජංගම දුරකථනයක් වැනි රෙකෝඩරයක් පෙන්වයි* ෆෙඩි‍්‍රකා පලමුවන ඉනිම සෙල්ලම් කරද්දී කීවා, සම්මුඛ සාකච්ඡුාව පටිගත කළා කියලා. දෙවැනි ඉනිමේදී කීවා රෙකෝඞ් කලේ නෑ කියලා.

දෙරණ නාලිකාවේ නිරෝෂ තරංග ජයකොඩි දෙන සාක්කියේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලාල්කාන්ත කියනවා, ෆෙඩි‍්‍රකා ජෑන්ස්ට ජෙනරාල් ෆොන්සේකාට විරුද්ධ හඬ පටිය දාන්න කියලා. මගේ මතකයේ හැටියට 15 දින ඇගේ දුරකථනයට කතා කළා. එ් සියල්ල පටිගත වෙමින් කතා කළේ. ඇය රෙකෝඞ් කළාද ඒ සාකච්ඡුාව කියා ඇසුවාම ‘ඔව්’ කීවා. ඒ හඬ පටය තියෙනවාද කියා ඇසුවාම ‘ඔව්’ කීවා. මාධ්‍යවේදියෙක් හැටියට රෙකෝඞ් කරනවා කියා අපි කියන්නේ හඬ පටියකට නැගීමයි. එ් නිසා මා ලීවා ඇය එය රෙකෝඩි කළා කියලා’ යයි තරංග ජයකොඩි සාක්කි දෙනවා.

ෆෙඩි‍්‍රකා පවසනවා වැදගත් සෑම සම්මුඛ සාකච්ඡුාවක්ම ඇය පටිගත කරනවා කියලා. ඇයම කියනවා මෙයත් වැදගත් සම්මුඛ සාකච්ඡුාවක් නිසා 4 දෙනෙක් ගියා කියලා. නමුත් ඇය කියනවා එදින ඇයගේ රෙකෝඩරය (හඬ පටිගත කිරීමේ යන්ත‍්‍රය* කවුරු හරි අරන් කියලා. ඇගේ හඬ පටිගත යන්ත‍්‍රය වෙන කාට හරි දුන්නා නම් එකම රෙකෝඩරයද කාර්යාලයේ තියෙන්නේ. මේවා විශ්වාස කරන්න පුළුවන්ද? ඇය පටිගත කළ හඬ පටය පසුදිනක හැංගුවා කියා සැකයක් තියෙනවා. ඒ සැකයේ වාසිය විත්තිකරුට දෙන්න.

ජෑන්ස් නෝනාගේ ඉදිරියට පහර දීම තමයි ඇගේ සාමාන්‍ය සිරිත. ඇය ප‍්‍රශ්න කළා කර්තෘ සංසද සම්මාන උළෙලට ඇය දුන් අයදුම් පත‍්‍රය ගැන. ඇය හැමෝටම චෝදනා කළ මටත් චෝදනා කළා ඇයගේ අයැදුම් පත සොරකම් කළා කියලා. එ් ඇගේ මානසික තත්ත්වයයි. කිසිම දිනක ඇත්තක් නොකියන කෙනෙක්. ඇය පැවසුවා ‘‘මම ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනය මගිනුත් එම අයැදුම් පත‍්‍රය පරීක්‍ෂා කරලා බැලූවා. ඔවුන් තහවුරු කළා මෙය නලින් ලද්දුවහෙට්ටි මහතාට ඉදිරිපත් කළා කියලා අධිකරණ නියෝගයකට අනුව’’ නමුත් මම එවැනි දෙයක් ඉල්ලූවේ නෑ. මට එම අයැදුම් පත‍්‍රය ලැබුනේ පොල් රත්නායක සමාගම මගින්. ඇය කොටු වුනු සෑම අවස්ථාවකදීම කාවහරි පාවා දීලා තමන් බේරීමට උත්සාහ කරන තැනැත්තියක්.

‘ගෝඨා ඕඩර්ඞ් ටු දෙම් ටු බී ෂොට්’ ලිපියේ කරුණූ විරාම ලකුණු ඇතුලේ යොදද්දී අපි පිළිගන්නේ එය තව කෙනෙක් කියූ වචන විදියටයි. ඉංගී‍්‍රසියෙන් පවසන ලද දෙයක් සිංහලෙන් කියද්දීත් එම නිවැරදි වචනම භාවිතා කළ යුතුයි. මේ පිලිබඳව ඇගෙන් මමම ප‍්‍රශ්නයක් ඇහුවා.

ප‍්‍රශ්ණය – ‘ගෝඨා ඕඩර්ඞ් ටු දෙම් ටු බී ෂොට්’ එ් වචන ඒ විදිහට කිව්වද?
පිළිතුර – සමහර විට ඔහු මැරුවා කියා කියන්න ඇති. මම වෙඩි තිබ්බා කියා සටහන් කරන්න ඇති. එ්කෙන්ම ඔප්පු වෙනවා ජෙනරාල් දුන් ප‍්‍රකාශය නොවේ කියලා.
ප‍්‍රශ්නය – එ් වචනයමයි ඔහු කියා තිබුනේ කියලද තමා පාඨකයාට හඟවන්නේ
පිළිතුර – එකට අරුත් දෙන වචන තියෙනවා.
ප‍්‍රශ්නය – කොටේෂන් මාර්ක් එක තුල වචන මාරු කරලා වෙනස් කරලා සඳහන් කරන්න පුළුවන්ද?
පිළිතුර – එ් ආකාරයටම කළ හැකියි.

කොටේෂන් ඇතුලේ තියෙන වාක්‍යයක වරහන් තුල ලියූ දෙය සංස්කාර සටහන බවත් ඉතිරිය කෙනෙකු විසින් පවසන ලද දෙයක් බවත් පාඨකයාට පැහැදිලි කළ යුතුයි. මේ සිද්ධියට අදාල ලිපියේ ඈ යම් යම් උපුටා ගැනීම් සිදුකළා. නමුත් ඈ හැෙඟව්වේ එ් වචන විත්ති කරු විසින්ම භාවිතා කළ වචන බව ඇඟවීමටයි. මේ ලිපියේ ප‍්‍රශ්නය කුමක්ද කියලා කවුරුත් දන්නේ නෑ. උත්තරය තේරුම් ගන්න බෑ. සටහන් වල තියෙන වචන උත්තරයේ තියෙන පිළිතුරට ගැලපෙන්නේ නෑ. තවත් කරුණක් තියෙනවා කියන්න. දෙසැම්බර් 13 දින මේ ලිපිය පළවන්න පෙර මැයි 21 වෙනිදා ඬේලි මිරර් පත්තරේ මීට සමාන ලිපියක් පළවුනා. පළවුනා බයිලයින් නැතිව. (ලියූ ලේඛකයෙක් නැතිව* එම ලිපියේ කරුණු අකුරින් අකුර ඇය කොපි කරලා තියෙනවා. වචනෙට වචනෙ හරියට ගැලපෙන මේ ලිපි එක්කෝ ගිනස් පොතට යවන්න පුළුවන් ආශ්චර්යමත් සිදුවීමක්. නැතිනම් කොපි කිරීමක්. මෙය ඉතාම අපරීක්ෂාකාරී කොපි කිරීමක්. ඬේලි මිරර් පත්තරේ පළවූ ෙඡ්ද 4 ක් මේ ලිපියේ තියෙනවා. ඉතිරි ඒවා කොහෙන් හරි අරගෙන.

ඇය කීවා මේක තමයි වසරේ හොඳම කතාව කියලා. කර්තෘ සංසදයේ සම්මාන උළෙලට යැව්වා කියලා. සම්මාන උළෙලට ඉදිරිපත් කරන්න නිසා මේ ගැන ලීවා කියලා කීවා.

ෆෙඩි‍්‍රකා ජෑන්ස් මහත්මියට කියන්න පුළුවන් එකම දෙයයි ඇත්තේ. ඇය මෙම ප‍්‍රවෘත්තිය මහජනතාවට පිළිගන්වද්දී එහි ආන්දෝලනාත්මක බවයි වැදගත් වුනේ. මන්ද ආන්දෝලනාත්මක වුනේ නැතිනම් සම්මාන ලැබෙන්නේ නෑ. පත්තරේ ඉහල යන්නෙත් නෑ. ඒ නිසා නොකියපු දේවල් විත්තිකරු කියූ දේවල් ලෙසට බාරගෙන ප‍්‍රකාශයක් කරලා තමන්ට සම්මානයක් ගන්නයි ඇයට වුවමනා වුනේ

සාක්කි සටහන් වල 446 පිටුවේ ඇයට අභියෝගයක් කරනවා. තමන්ගේ සටහන් පොතේ කොතැනද තියෙන්නේ සුදුකොඩි රැුගෙන ආව පිරිස මරණයට පත්වුනා කියලා ජෙනරාල් කීවා කියලා සටහන් පොත බලලා කියන්න කීවා.

ඇගේ උත්තරය වුනේ ‘කොහේවත් නෑ’ කියලා. හරියට ‘යන්නෙ කොහේද මල්ලෙ පොල්’ වගේ අහන ප‍්‍රශ්න වලට ෆෙඩි‍්‍රකා දෙන පිළිතුරු.

මේ වගේ කොපි කරන, බොරු කියන, අපරීක්ෂාකාරී ජනමාධ්‍යවේදිනියකගේ වචනද අධිකරණය පිළිගන්නේ? ලෝකයේ හොඳම හමුදාපතිගේ වචනද?

මගේ උගත් මිත‍්‍රයා මේ ගැන දන්නවා. ඒ නිසා සාධාරණ සැකය, චේතනාව යන වචන ගැන නොකියා දක්ෂ ලෙස ඔහුගේ කතාව කරගෙන ගියා. ෆෙඩි‍්‍රකා ජෑන්ස් දින 7 ක් මගේ ප‍්‍රශ්න වලටත් දින 4 ක් බණ්ඩාර මහතාගේ හරස් ප‍්‍රශ්න වලටත් පිළිතුරු දුන්නා. නමුත් එක එල්ලේ කෙලින් කිසිම පිළිතුරක් දෙන්න බැරි වූ සාක්කි කාරියක්.

ෆෙඩි‍්‍රකා ජෑන්ස් මහත්මිය වරින් වර ඇගේ ස්ථාවරය වෙනස් කළා. ඇය මුලික ප‍්‍රශ්න අසද්දී එකක් කියනවා. හරස් ප‍්‍රශ්නවලදී තව එකක් කියනවා. නැවත ප‍්‍රශ්න වලදී වෙනත් දෙයක් කියනවා. තමන් කොන්වෙද්දී තමන්ගේ ස්ථාවරය වෙනස් කරනවා.

ඇය මෙම අධිකරණයේදී දිවුරුම් දීලා සාක්කි දුන්නා ‘වෝන්ටඞ් සහ ඇටෙම්ටඞ්’ වන වචන දෙක එකයි කියලා. තමන් වැරැුද්දක් කළා කියලා පිළිගන්න කිසිම සූදානමක් නෑ. වැරදි ලිපියක් ලියුවා කියලා පිළිගන්න සූදානමක් නෑ. ‘වෝන්ටඞ් සහ ඇටෙම්ටඞ්’ කියන ඉංග‍්‍රීසි වචන දෙක එකයි කියන්න පුළුවන් ඇයට ඕනෑ දෙයක් කරන්න පුළුවන්.

ඇය බාහිර ස්වරූපයෙන් පෙන්වුවත් තමන් ඇත්ත කියනවා කියලා ඇයව අබමල් රේණුවක්නි වත් විශ්වාස කරන්න බැරි සාක්කි කාරියක් ඇගේ වචන මතම ද මේ නඩුව තීරණය වන්නේ? ලෝකයේ හොඳම ජෙනරාල් වරයාගේ කථාව මතද? කියලා මම ගරු අධිකරණයට පවසන්න කැමතියි? ඇය ප‍්‍රධාන බොරු 22 ක් කියලා තියෙනවා.

මේ නඩුවේ පැමිණිල්ල ලොකු අයාසයක් දැරුවා සී ඞී පටියක් ගෙනත් ඔප්පු කරන්න විත්තිකරු රත්නපුරයේදීත් මෙවැනි ප‍්‍රකාශයක් කලා කියලා. මෙම සීඞී පටියේ තියෙන්නේ වෙනස් කිරීම් කළ ප‍්‍රවෘත්තියක් කියලා අපි පෙන්වලා දුන්නා. එය සාක්කියක් ලෙස සලකන්න බෑ කියලා මා කීවා. මේ සීඞී පටිය ඔප්පු කරන්න පැමිණිල්ලෙන් සාක්කිකාරයන් ගණනාවක් ආවා. සීඞී පටයට අදාල සියළුම අය අධිකරණයට ගෙනත් ඔප්පු කරන්න හැදුවා නමුත් මේ සාක්කි කරුවන්ගේ දම්වැලේ පළමුවැනි පුරුක දුර්වල නිසා තව සාක්කි කරුවෝ 100 ක් ගෙනාවත් වැඩක් නෑ. පළමු වන සාක්කි කරු ඉතාම පැහැදිලිව කියනවා. ‘ජෙනරාල් කියූ දේවල් මට මොනවත් ඇහුණේ නෑ’ කියලා. එතකොට සාධාරන සැකය ඇති වෙලා ඉවරයි. එසේනම් ඒ සැකයේ වාසිය දෙන්න ඕනේ විත්තිකරුට. ඔහු කීප පොලකම නොකඩවා කියනවා ‘මට ඇහුනේ නෑ’ කියලා. රත්නපුර රැුලියේ දර්ශනය එය බව ඔහු පිළිගත්තා. අනික පත්තරේ ගිය කතාවයි ඒ තැටියේ කතාවයි කොහෙත්ම සම්බන්ධයක් නෑ.

මම මේ ගරු අධිකරනයෙන් ඉල්ලා සිටින්නේ පැමිණිල්ලේ සාක්කි ගැන විමසිල්ලෙන් බලන්න කියලයි. නීතියේ අන්ධ දෙව්දුව තරාදියක් අල්ලාගෙන ඉන්නවා. එම තරාදියේ එක පැත්තකට ෆෙඩි‍්‍රකා ජෑන්ස්ව දමන්න. අනෙක් පැත්තට විත්තියේ සාක්කි දමන්න. අන්තිමට මට කියන්න තියෙන්නේ ෆෙඩි‍්‍රකා නෝනා ගැන මෙන්න මෙහෙම දෙයක්

‘පහසුවටත් ලේසිටත් දැන දැන වැරදි කරනවා
එහෙම කළත් නිදහසටත් කියන්න බොරුත් තියෙනවා
නැතිනම් හදල කියනවා
නැතිනම් මවල කියනවා’

RSL

Related Posts