ඔබ විසින් ඉංග්‍රීසි බසින් ලියන ලද “Finding Sinhabahu“ නම් ඓතිහාසික පර්යේෂණ ග්‍රන්ථය රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළලේදී සම්මානයට පාත්‍ර වී තිබෙනවා. මෙම සිද්ධිය ඔබ දකින්නේ කෙසේද?
මා වෘත්තියෙන් ළමා හා අසාත්මිකතා පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක්. මා පුහුණුව ලබා තිබෙන්නේ “විද්‍යා’ යැයි හැඳින්වෙන විෂය ධාරාවේ පමණයි. ඒ එසේ වුවත්, මා “කලා” යැයි හැඳින්වෙන විෂය ධාරාවේ විෂයයක් සම්බන්ධව රචනා කරන ලද පර්යේෂණ ග්‍රන්ථයකට, රාජ්‍ය සාහිත්‍ය සම්මානයකට පාත්‍ර වීම ගැන සතුටුයි. මෙවන් නිර්දේශයක් ලබා දීමට පෙර, මාගේ පර්යේෂණ කෘතිය, ඒ සම්බන්ධ විෂය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් කියවා විග්‍රහ කරන බව මා දන්නවා. මා කළ පර්යේෂණයේ විශ්වාසනීයත්වය ඔවුන් විසින් තහවුරු කර තිබීම මට ආත්ම විශ්වාසයක් ගෙන දෙනවා. මෙම ග්‍රන්ථයෙන් මෙතෙක් ලංකාවේ ඉතිහාස පොත්වල ලියවී ඇති කරුණු රැසක් නිවැරදි නොවන බව මා ඔප්පු කරනවා. ඒ එසේ වුවත් විද්‍යාත්මක ක්‍රමයක් අනුගමනය කර, මින් පෙර පැවති මත අපහාසයට හෝ උපහාසයට ලක් නොකොට, මෙම ග්‍රන්ථය ලිවීමට මා ප්‍රවේශම් වුණා. මෙයට මට වසර තුනක කාලයක් ගත වුණා. මාගේ උත්සාහය සාර්ථක වුණා.
මෙම කෘතියේ ඇති කරුණු සංක්ෂිප්තව පැවසිය හැකිද?
මෙය එක පොතකට එක් කරන ලද, විවිධ ඓතිහාසික මාතෘකා රැසක් පිළිබඳ, විද්‍යාත්මක විග්‍රහයක්. මුලින් මෙය මහා වංශයේ මුල් පරිච්චේද වල ඇති කරුණු වල සත්‍ය අසත්‍යතාවය විමසනවා. ඒ සඳහා මට “කාලිංග දේශය” ට, එනම් වර්තමාන ඊසානදිග අන්ද්‍රා ප්‍රදේශයට හා ඔරිස්සාවට යාමට සිදු වුණා. එම ප්‍රදේශයේ ඇති ක්‍රිස්තු පුර්ව දෙවැනි සියවසේ සෙල් ලිපි කිහිපයකින් එහි “හස්ත සිහ” නම් රජ කෙනෙකුගෙන් පැවත එන රජ පරපුරක්ද, “ලාල” නම් රටක් ද පැවති බව, මා ඔප්පු කරනවා. “හස්ත සිහ” හා “සිංහ බාහු” එකම තේරුම ඇති වචන දෙකක්. මහාවංශයට අනුව ඔහු රජකළේ “ලාල” රටේ.
මට සෙල් ලිපි කියවීමේ හැකියාව නැහැ. ඒ නිසා අද ලංකාවේ ඇතැම් ඓතිහාසික මිත්‍යාවන් වපුරන අය මෙන් මට ඕනෑ විදියට, ඒවා නැවත කියවීමක් මා කළේ නැහැ. මා මෙතෙක් පුරා විද්‍යාඥයින් විසින් කරන ලද සෙල්ලිපි කියැවීම්, වංශ කථාවල ඉතිහාස කරුණු සමඟ ගලපා විග්‍රහ කළා.
අදටත් ඊසානදිග ආන්ද්‍රා ප්‍රදේශයේ ඇති “සින්ගුපුරම්” ගම විජය රජු පැමිණි “සිංහපුරය” බව මා මෙහි පවසනවා. මෙම ගම ක්‍රිස්තු වර්ෂ පස්වෙනි සියවස වැනි ඈත කාලයකදී “සිංහපුර“ ලෙස හැදින්වුණු බවත්, එම ප්‍රදේශයේ “සිංහල” නම් ගමක් පැවති බවත්, ඒ අවට ප්‍රදේශයෙන් හමුවුණු, එම ශත වර්ෂයට අයිති තඹපත් කිහිපයකින් තහවුරු වෙනවා. විජය රජු ගැන පුරාවෘත රැසක් පවසන මෙහි ප්‍රදේශවාසීන් එහි ගිය අප උත්සවයක් පවත්වා පිළිගත්තා. දොලොස්වෙනි සියවසේදී “නිශ්ශංකමල්ල” රජු පැමිණි “කාලිංග සිංහපුර”යත් මෙයයි. ඒ බව ඔහුගේ සෙල්ලිපි වල සඳහන් වෙනවා. මේ කරුණු මෙතෙක් ගලපා තිබුණේ නැහැ. විජය රජුගේ කථාව ක‍්‍රි. පු. සතරවෙනි සියවසේ ඉන්දියාවේ ඊසානදිග වෙරළින් පැමිණි ආර්ය භාෂාවක් කථා කරන විශාල සංක‍්‍රමණිකයන් හෝ ආක‍්‍රමණිකයන් පිරිසක් පුවතයි. ඔවුන් විසින් ලංකාවේ ලිඛිත ඉතිහාසයේ පළමුවැනි රාජවංශය පිහිටුවා, සිංහල නම් ජන කොටසක් ලංකාවේ ස්ථාපිත කළ බව මගේ මතයයි.
එතකොට ඔබ කියන්නේ සිංහලයන් ආර්යයන් බවද?
ඉන්දියානු උප මහාද්වීපයේ ප්‍රධාන භාෂා ධාරාවන් දෙකක් තිබෙනවා. ඒ ආර්ය හා අනාර්ය ලෙස. සිංහල භාෂාව භාෂා ලක්ෂණ වලින් ආර්ය භාෂාවක්. එම භාෂාව තම මවු බස කරගත් අය අප ‘සිංහලයන්‘ ලෙස හඳුන්වනවා. දෙමළ බස අනාර්ය භාෂාවක්. එය මවුබස කරගත් අය අප ‘දමිළයන්‘ ලෙස හඳුන්වනවා. මෙම පොතහි ලංකාවේ සිංහල,දෙමල, මුස්ලිම්, වැදි ජනතාව හා ඉන්දියාවේ විවිධ ජනකොටස් වල ජාන සංයුතිය සසඳමින් මේ දක්වා කෙරී ඇති සියලු ජාන පර්යේෂණ ගැන විග්‍රහ කරන එක් පරිච්චේදයක් තිබෙනවා. මෙම පර්යේෂණ වලින් ඔප්පු වෙනවා අද සිංහලයන් ලෙස හඳුන්වන අයට ඉන්දියාවේ ඊසානදිග වෙරළෙහි මිනිසුන් සමගද, අද දමිළයන් ලෙස හඳුන්වන අය සමග ද කිට්ටු ජානමය සම්බන්ධතාවයන් ඇති බව. ශ්‍රී ලාංකික දමිළයන්ට, සිංහලයන් සමඟ ඇති ජානමය සබඳතාවයද එසේම බලවත්. මේ ඇසුරින් සහ “රොමිලා තාපර්“ වැනි ඉන්දියානු ප්‍රවීණ ඉතිහසඥයින්ගේ මත ඇසුරින් මා පවසන්නේ ආර්ය භාෂා කථා කරන හා අනාර්ය භාෂා කථාකරන ජන කොටස් මිස, ආර්යයන් හෝ අනාර්යයන් ලෙස ජානමය ලෙස ජාතීන් වෙන්කළ නොහැකි බවයි. වෙළඳ මාර්ග හමුවෙන ස්ථානයක පිහිටි, කුඩා දිවයිනක වාසය කළ නිසා අද අප සිංහලයන් ලෙස ජනකොටස, විවිධ ජාතීන්ගේ සම්මිශ්‍රණයෙන් ඇති වුවක්. එනමුත් ඔවුන්ට ආවේනික වූ භාෂාවක් හා සංස්කෘතියක් තිබෙනවා. මෙම භාෂාව හා සංස්කෘතියද ඉතිහාසය තුළ අනෙකුත් භාෂා හා සංස්කෘතීන්ගේ ආභාෂයෙන් වෙනස් වුණා. ඔවුන්ගෙන් බහුතරක් අදහන්නේ ථේරවාදී බුදුදහම. ග්‍රන්ථාරූඩවී ඇති ත්‍රිපිටකය වෙනස් නොවුනත් ඔවුන්ගේ පුජා විධි පවා ඉතිහාසය තුළ වෙනස් වුණා.
ඔබ මහා වංශයේ ඇති විස්තරයන් සත්‍යයන් යැයි පිළිගන්නවාද ?
විජය රජුගේ පැමිණීමේ කථාව යම් ඉතිහාස සිද්ධියක් ඇසුරින් මිත්‍යා කථාවක ස්වරූපයෙන් ඉදිරිපත් කරන ලද්දක් බව මගේ මතයයි. විජයාගමනයත්, බුද්ධ පරිනිර්වාණයත් එකම දිනයක සිදුනොවූ බවත්, මෙම සිද්ධි දෙක අතර අවම වශයෙන් වසර 150ක පරතරයක් ඇති බව මා සංකීර්ණ, විද්‍යාත්මක ගණනය කිරීමකින් අනතුරුව, මෙම පොතෙහි යෝජනා කරනවා. මහින්දාගමනය ඓතිහාසික වශයෙන් සත්‍යයක් බව අශෝක රජුගේ සෙල්ලිපි වලින් ඔප්පු වන නමුත්, අදට බෞද්ධයන් පිළිගන්නා වසරට වඩා වසර 34 කට පසු එම සිද්ධිය සිදුවූ බව මා මෙහි පවසනවා. මහා වංශයේ සඳහන් කරුණු සම්පුර්ණ සත්‍යයන් සේ වැළඳ ගැනීම හෝ, මිත්‍යා කතා ලෙස ප්‍රතික්ෂේප කිරීම හෝ නුසුදුසු බව මගේ අදහසයි. මහා වංශය මුලින්ම ලියවුණේ විජයාගමනයෙන් වසර 800කට පසුවයි. මෙය ලිවීමේදී තමන් මුඛපරම්පරාගතව එන ප්‍රවෘත්ති පවා උපයෝගී කරගත් බව එය ලියු මහානාම හිමියන් සඳහන් කරනවා. ධර්ම ග්‍රන්ථ ලියු පාලි බසින් ලියුවත්, “මහාවංසය“ වංශ කතාවක්. එම නිසා එයට වඳිමින්, එහි ඇති සියළු කරුණු සත්‍යය යැයි පිළිගත යුතු නැහැ. ඒවා විමසීමට ලක්කළ යුතුයි. ක්‍රි.ව. අටවෙනි සියවසේදී මහා වංශ සංස්කරණයක් කළ මොග්ගල්ලාන හිමියන් තමන් සඳහන් කරන කරුණු “නුවනැත්තන් විසින් පෙර අපර ගලපා පිළිගත හැකි නම් පමණක් පිළිගන්න. නැතිනම් නොපිළිගන්න.” යැයි ලියුවා. මෙය මාගේ පොතෙහි ආරම්භක වාක්‍යය ලෙස මා යොදා ගත්තා. මෙයට අවුරුදු 1200කට පෙර සිටි ඒ හිමියන්ට, අද සිටින අයට වඩා විචාර බුද්ධියක් තිබුණා. විසංවාදය අනුමත කිරීමට තරම් තැන්පත් කමක් තිබුණා.
ඔබගේ පොතෙහි ඔබ වැදි ජනයා ගැන අමුතු මතයක් ප්‍රකාශ කරනවා. එය කෙටියන් විස්තර කළ හැකිද?
වසර 45,000 පෙර සිට ලංකාවේ සියළු ප්‍රදේශවල වාසය කළ බලන්ගොඩ මානවයා හා අමිශ්‍ර වැදි ජනයාගේ දේහ ලක්ෂණ අතර කිසිදු වෙනසක් නැහැ. පී. ඊ .පී දැරණියගල සහ මහාචාර්ය කෙනත් ආර්. කෙනඩි මෙම මතය පවසනවා. ලංකාවේ මෙගලිතික සුසාන භූමිවල විසුවේ මේ වැදි ජනයාගෙන් යකඩ යුගයට දියුණුවී, ගම්මාන හා කුඩා නගර තනා ගෙන විසු පිරිස් බව “මානව දන්ත විද්‍යාව” මගින් හෙළිවෙන කරුණු වලින් පැහැදිලි වෙනවා. ඩයේන් හෝක්ලි හා මහාචාර්ය කෙනත් ආර්. කෙනඩි මේ පිළිබඳව පැහැදිලිව පවසනවා. මෙම මෙගලිතික සුසාන භුමි ඇසුරෙහි ජිවත් වුවේ සිංහලයන් හෝ දමිළයන් බවට කිසිම ලකුණක් නැහැ. විජය පුරාවෘතියේ සඳහන් වන “යක්ෂයන්” මෙම දියුණු වැදි ජන කොටස් බවටත්, විජයගෙන් නියෝජයනය වන ජන කොටස මොවුන් යටපත් කොට, ඉන් පසුව ඔවුන් සමඟ මිශ්‍ර වූ බව මා යෝජනා කරනවා. 20 වෙනි සියවසේ මුල් බාගයේදී ජර්මානු විද්‍යාඥයෙක් කළ හිස් කබල් පර්යේෂණයකින් ඒ බව ඔප්පු වෙන්වා. හැබයි අද වැදි ජනයා ඔවුන්ටම ආවේනිකවූ ජාන සංයුතියක් ඇත්තන්. මා විශ්වාස කරන විධියට වැදි ජනයා මිශ්‍ර නොවී කඳුකරයට හෝ කැලෑවට පලාගිය හෝ එහි ජීවත්වූ බලංගොඩ මානවයාගෙන් පැවත එන්නන්. ඇත්ත වශයෙන්ම මේ මුළු රටම ඔවුන්ගේ පාරම්පරික නිජ භුමියයි. ඔවුන් අන් සියලු ජන කොටස් මෙම දිවයිනට පැමිණීමට පෙර, මේ දේශයේ සියලු ප්‍රදේශවල අවම වශයෙන් වසර 40,000 ක් තනිවම ජිවත් වුණා. එම කාලයේ අන් කිසිදු මානව වර්ගයක් මේ දිවයිනේ සිටි බවට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් දැනට නැහැ. එසේ සිටි බවට පළ කරන සියලු අදහස් මත පමණයි. ලංකාවේ අපි සාක්ෂි සහ මත හැමවිටම පටලවා ගන්නවා.
පණ්ඩුකාභය රජුගේ පුරාවෘතිය ප්‍රවෘත්තිය ඔබ වෙනස් අයුරකින් විස්තර කරනවා නේද?
පණ්ඩුකාභය කරන්නේ මෙහි සිටි මුල් වාසීන් හා සංක්‍රමණිකයින් තරුණයන් හා එක්ව පැරණි රජ පරපුරට විරුද්ධව කැරලි ගසා, ඉන්පසු සියලු ජන කොටස් එක් කිරීම බව මා පවසනවා. පණ්ඩුකාභය විසින් අනුරාධපුරය නගරය තැනීමේ පුරාවෘත්තය, මෑත කාලයේ අනුරාධපුරයේ ඇතුළු මහනුවර කල කැනීම් වලින් සත්‍ය බවට ඔප්පුවෙනවා. කාබන් කාල නිර්ණයන් අනුව මෙම නගරය තැනූ කාල වකවානුව මහා වංශයේ සඳහන් කාලයට වඩා වෙනස් වුවත්, මහින්දාගමනය ඇසුරින් මා යෝජනා කරන කාලයට සමපාත වෙනවා. පණ්ඩුකාභය සැඟවී සිටියේ මාතලේ දිස්ත්‍රික්කය හා දුම්බර කඳුවැටිය ආශ්‍රිතව බව මහා වංශයේ ඇති ග්‍රාම නාම වලින් පැහැදිලි වෙනවා.
ආර්ය චක්‍රවර්ති රජ පරපුර ගැන ඔබ මතබේදාත්මක මතයක් මෙම පොතෙහි පවසනවා. එය විස්තර කළ හැකිද?
මෙය මතබේදාත්මක වීමට හේතුවක් නැහැ. “යාල්පානවෛපවමාලෙයි” ශ්‍රී ලාංකිකයන්ගෙන් සඟවා තබන, දමිළයන්ගේ එකම වංශ කතාවයි. එය අන්තර්ජාලයෙන් බාගෙන කියවන ලෙස මා ඔබගෙන් ඉල්ලා සිටිනවා. එහි සඳහන් වන අයුරින් යාපනයේ රජකම් කළ එකම රජ පරපුරවූ ආර්ය චක්‍රවර්ති රජ පරපුර කාලිංග දේශයෙන් පැමිණ, යාපනය ප්‍රදේශය පාලනය කළ අය. ඔවුන්ගේ මුලදී විජයගේ කථාව සේම සිංහයකුට ඇඳා තිබෙනවා. මෙම පරපුරේ මුල් රජවරුන්ගේ නම් ආර්ය නම් මෙම පොත ලියු පසු පෘතුගීසි මුලාශ්‍රයක තිබී ඔවුන්ගේ ධජයෙහි සිංහයෙකු සිටි බවට ඇති සටහනක් මට හමු වුණා. ඔවුන් එම ප්‍රදේශය පාලනය කළේ ක්‍රි. ව. 13 වෙනි සියවසේ සිට වසර 300ක් පමණයි. පැරණි සෙල්ලිපි ඇසුරින් ඔවුන් ඔරිස්සාවේ “ගංගා ” රජ පරපුරට අයත්, කාලිංග මාඝ සමඟ පැමිණි ආර්ය භාෂාවක් තමන්ගේ මවු බස කරගත් අය බව මා ඔප්පු කරනවා. ද්‍රවිඩ නම් ඇත්තේ ඔවුන්ගේ අවසාන රජවරුන් කිහිප දෙනාට පමණයි. “යාල්පානවෛපවමාලෙයි” වංශ කතාවේ දමිළයන් හා සිංහලයන් බොහෝ කලක් තිස්සේ යාපනය ප්‍රදේශයේ එක්ව ජීවත්වූ අයුරු මැනවින් විස්තර කරනවා. මෙම සිංහලයන් පසුකලක දෙමළ භාෂාව තම මවු බස කරගනිමින් දමිළයන් බවට පත්වු බව මගේ මතයයි.
ඔබ දන්ත පුරය සොයා ගිය පුවත මෙහි තිබෙනවා නේද?
ඔව්. ලංකාවට දන්ත ධාතුව වැඩම කිරීමේ පුරාවෘත්තීයේ විශ්වාසනීයත්වය මා තහවුරු කරනවා. එහි සඳහන් දන්ත පුරය අදටත් “දන්ත පුරම් ” නමින් ඊසාන දිග අන්ද්‍රා ප්‍රදේශයේ වනගතව තිබෙනවා. මෙහි ගිය මට, කැලය තුළ තිබෙන බෞද්ධ නටබුන් රැසක් දැක ගැනීමට හැකි වුණා. මට වැටහී ගිය අයුරින් මේවා මහායාන නටබුන්. මෙම ප්‍රදේශය ශ්‍රී ලංකා – ඉන්දියා පුරාවිද්‍යා ගවේෂණයකට යොමුවිය යුතු බවයි මගේ අදහසයි.
සිංහලයාගේ ආරම්භය ගැන ලියු මේ පොත ඔබ ඉංග්‍රීසියෙන් ලියුවේ ඇයි?
මාගේ පළමුවෙනි ඓතිහාසික පර්යේෂණ ග්‍රන්ථය වූ “ලක් ඉතිහාසයෙන් වසන්වූ චීන මෙහෙයුම” මා ලියුවේ සිංහලින්. එහි මුලාශ්‍ර බොහොමයක් සිංහල. එනමුත් මෙම පොතෙහි මුලාශ්‍ර වලින් 95% පමණ ඉංග්‍රීසි. මා වෛද්‍යවරයෙක් නිසා මෙම පර්යේෂණ සඳහා වැය කළ හැකි කාලය සීමිතයි. එසේම මම මෙම පොතෙහි මුලාශ්‍ර වල වැදගත් කොටස්, එලෙසින්ම පාඨකයාට ඉදිරිපත් කරනවා. ඒ මා කියන කරුණුවල විශ්වාසනීයත්වය තහවුරු කිරීමටයි. මුලාශ සිංහලට පරිවර්තනය කොට මෙම පොත ලියුවා නම් ඒ සඳහා ගත වන කාලය වැඩියි. මෙම පොත සිංහල බසට පරිවර්තනය කිරීමට කැමතිනම් මාගේ පුර්ණ සහයෝගය එවැන්නෙකුට ලැබෙනවා.
ඔබ වැඩිදුරටත් ඉතිහාස පර්යේෂණ කරනවාද?
යම් ඉතිහාස කරුණක් ගැන සියලු දේ සොයාගෙන ඇති යැයි මා හට වැටහී ගියොත් මම එය ගැන නැවත ලියා කාලය නාස්ති කරන්නේ නැහැ. මේ දිනවල මම “මායාදුන්නේ“ සහ “සීතාවක රාජසිංහ“ රජවරුන්ගේ ද්විත්ව චරිතාපදානය ලියනවා. මායාදුන්නේ උපන් දින සිට සීතාවක රාජසිංහ මියයන කාලය දක්වා ඇති සියලු විස්තර පෘතුගීසි හා සිංහල මුලාශ ඇසුරින් නිසි වසර වකවානු ඇසුරින් ඉදිරිපත් කිරීම මගේ අරමුණයි. මෙයට වසර සියයකට පෙර පෝල් ඊ. පීරිස් මහතා මෙම යුගය ගැන ලියුවත් එකල ඔහු සතුව තිබූ මුලාශ්‍ර සීමිතයි. මා මේ පොතෙහි කරුණු එකතු කිරීම සිදුකර හමාරයි. මෙම පොතින්ද මෙතෙක් නොදැන සිටි කරුණු රැසක් හෙලිදරුවූ වේවි.
අවසාන වශයෙන් ඔබට පැවසීමට ඇත්තේ කුමක්ද?
ඉතිහාස පර්යේෂණයන් ඉතා සියුම්ව, ගැඹුරින්, සත්‍යවාදීව කළ යුත්තක්. මත ප්‍රකාශ කිරීම ඉතා ප්‍රවේශමෙන් කල යුතුයි. සොයාගෙන ඇති විද්‍යාත්මක කරුනුත්, තම පුද්ගලික මතත් කලවම් නොකොට වෙන්වෙන්ව පැවසිය යුතුයි. අද ලංකාවේ ඉතිහාස කතන්දරකරුවන් බහුලයි. කතන්දර ඇසීමට මිනිසාගේ ඇති ප්‍රාථමික ආශාව සංසිඳුවීමට ඇතැමුන් කිසිදු මුලාශ්‍රයක් ගැන සඳහන් නොකොට, විද්‍යාත්මක සාධක මත පදනම් නොවී ලස්සනට කතන්දර ගොතා කියනවා. සමහරු සත්‍යය ටිකක් කියලා ඉතිරි ටික අසත්‍යයෙන් පුරවනවා. යූ ටියුබ් නාලිකා වල නළුවන් වනවා. කිසිත් නොදන්නා අය “සාදු, සාදු ” කියා මේ කථා පිළිගන්නවා. රාවණා කථාව, බුදුන් වහන්සේ ලංකාවේ උපන් කථාව, ශ්‍රී ලංකාව තරම් දියුණු රටක් කිසිදිනක අතීතයේ ලොවෙහි නොතිබීමේ කථාව, විජය පැමිණෙන විට අති දියුණු ශිෂ්ටාචාරයක් ලංකාවේ තිබීමේ කථාව, අපි දාගැබ් තනන විට සුද්දන් කොළ අතු ඇඳ සිටීමේ කථාව මෙවන් කතාන්දරයි. අපගේ මවුබිමට ආදරය කිරීම හොඳ දෙයක් වුවත්, ජනප්‍රිය වීමේ අදහසින්, බොරු ගොතා කීම වැරදියි. අන් සංස්කෘතීන් හෙළාදැකීම වැරදියි. මිනිසුන්ගේ විචාර බුද්ධිය මොට කිරීම වැරදියි. බොරුවෙන් ගොඩනඟන දේශප්‍රේමයත් බොරුවක්. එයට පැවැත්මක් නැහැ. මෙම ව්‍යාජ ඉතිහාස කතාන්දරකරුවන් හා කපටි දේශපාලක්නයන් අතර වැඩි වෙනසක් නැහැ.
විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ සමඟ සාකච්ඡා කළේ සුජීව සෙනරත්