සමලිංගික කාන්තාවන්ගේ මෙතරම් වර්ධනයක් ඇයි ? විමර්ශනාත්මක හෙළිදරව්ව

Spread the love

ලිංගිකත්වය ගැන අප සිතන ආකාරය වෙනස් වෙමින් පවතී. එකල සමලිංගිකත්වය පිළිඹිබු කරන අභිමානවත් ප්‍රසිද්ධ දේදුනු ධජයක් තිබූ තැන අද විවිධත්වය විදහා දැක්වීම සඳහා විචිත්‍ර ධජ මාලාවක් දැකිය හැකිය.

මිනිසුන් තම ලිංගිකත්වය ගැන සාකච්ඡා කිරීමට වැඩි වැඩියෙන් විවෘත වන බවක් පෙනෙන්නට ඇත. කලින් “නොපෙනී” සිටි අය පවා අනන්‍යතාව හෙළි කරමින් ප්‍රධාන ධාරාවේ කතිකාවක කොටසක් බවට පත් වීමත් සමග මෙය තවත් සාම්ප්‍රදායික මට්ටමෙන් එහාට ගොස් තිබේ.

විවෘත සංවාදයත් සමඟ ලිංගික අනන්‍යතාවන් දැඩි බවෙන් මිදී ‘සරල මාතෘකාවක්’ බවට පත්වෙමින් තිබේ.

නමුත් නව දත්ත වලින් පෙනී යන්නේ මේ වෙනස එක් කණ්ඩායමක් තුළ බහුලව පවතින බවය:

බොහෝ රටවල කාන්තාවන් අතීතයේ පැවති තත්වයට වඩා වැඩි වේගයකින් ලිංගිකත්වය සරල මාතෘකාවක් ලෙස වැළඳගෙන සිටින අතර, එය සමස්තයක් වශයෙන් පුරුෂයන්ට වඩා සැලකිය යුතු ලෙස වැඩි ය.

ඉතින්, මෙම වෙනසට හේතු මොනවාද? ප්‍රවීණයන් විශ්වාස කරන්නේ මෙම ප්‍රගතිය කෙරෙහි බලපාන සාධක රාශියක් ඇති බවය. විශේෂයෙන් සාම්ප්‍රදායික ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ භූමිකාවන් සහ අනන්‍යතාවන්ගෙන් මිදීමට කාන්තාවන්ට ඉඩ සලසන සමාජ වාතාවරණය මෙයට හේතු වී තිබේ.

කෙසේ වෙතත්, මෙම නව අවබෝධයත් සමඟ පවතින ගැටලුව වන්නේ අනාගතයේදී ස්ත්‍රී පුරුෂ සියලුදෙනාට මෙම ලිංගික සරල බවින් කුමක් අදහස් වේද යන්නයි.

සැලකිය යුතු මාරුවක්

නිව් යෝර්ක්හි ‘බිංග්හැම්ටන්’ මානව ලිංගික පර්යේෂණාගාරයේ ෂෝන් මැසේ සහ ඔහුගේ සගයන් දශකයක පමණ කාලයක සිට ලිංගික හැසිරීම් අධ්‍යයනය කරමින් සිටිති.

ඔවුන්ගේ සෑම අධ්‍යයනයකටම සහභාගී වූවන්ට තම ලිංගික කැමැත්ත සහ ලිංගිකත්වය වාර්තා කරන ලෙස ඉල්ලා තිබිණි.

කාලයත් සමඟ එම දත්ත වෙනස් වූයේ කෙසේදැයි මින් පෙර ඔවුන් කිසි විටෙකත් අවධානය යොමු කර තිබුණේ නැත. නමුත් ලිංගික ආකර්ෂණය පිළිබඳ තොරතුරු නිධානයක් මත තමන් හිඳගෙන සිටින බව ෂෝන් මැසේ සහ සගයන්ට මෑතකදී අවබෝධ වී ඇත.

“අපි හිතුවා, දෙයියනේ, අපි අවුරුදු 10 ක් තිස්සේ මේ දත්ත එකතු කළා නේද, ඇයි අපි ආපසු මේ දත්තවලට ගිහින් යම් නැඹුරුවක් (trend) තිබේදැයි බලන්නේ නැත්තේ කියලා?” බිංග්හැම්ටන් විශ්ව විද්‍යාලයේ කාන්තා, ස්ත්‍රී පුරුෂ භාවය සහ ලිංගික අධ්‍යයනය පිළිබඳ මහාචාර්ය ෂෝන් මැසේ පැවසීය.

2011 සහ 2019 අතර කාලය තුළ විශ්ව විද්‍යාල වයසේ පසුවන කාන්තාවන් වැඩි වැඩියෙන් විරුද්ධ ලිංගිකයන් පමණක් ඇසුරෙන් ඈත් වී ඇති බව ඔවුහු සොයා ගත්හ.

2019 වන විට පුරුෂයන් වෙත පමණක් ආකර්ෂණය වන කාන්තාවන් සිටින්නේ 65%ක් පමණක් බව වාර්තා වී ඇති අතර, මෙය සැලකිය යුතු අඩුවීමක් ලෙස දක්වා ඇත. 2011 දී එය 77%ක අගයක තිබිණි.

එම වසර තුළ පුරුෂයන් සමඟ පමණක් ලිංගිකව හැසිරෙන කාන්තාවන්ගේ සංඛ්‍යාව ද අවම වී තිබේ.

මේ අතර, පුරුෂයින්ගේ ආකර්ෂණය හා ලිංගික හැසිරීම් බොහෝ දුරට එකම කාල රාමුවක ස්ථාවරව පවතින බව වාර්තා වේ.

පුරුෂයන්ගෙන් 85%ක් පමණ කාන්තාවන්ට පමණක් ලිංගිකව ආකර්ෂණය වන අතර, 90%කට ආසන්න සංඛ්‍යාවක් කාන්තාවන් සමඟ පමණක් ලිංගික සම්බන්ධකම් පැවැත්වූ බව වාර්තා විය.

Two women dance
ඡායාරූප ශීර්ෂ වැකිය,”ඇත්ත වශයෙන්ම ප්‍රගතියක් ලබා ඇත්තේ ස්ත්‍රීභාවය වටා වන අතර පුරුෂභාවය අතර මෙය සිද්ධ වෙලා තියෙන්නේ අඩු වශයෙන්.”

එක්සත් රාජධානිය සහ නෙදර්ලන්තය ඇතුළුව ලොව පුරා සිදු වූ අනෙකුත් සමීක්ෂණ ද එවැනිම සොයා ගැනීම් ඉදිරිපත් කරති. කෙසේනමුත්, සමස්තයක් ලෙස වසරින් වසර කාන්තාවන් අතර පුරුෂයන්ට වඩා වැඩි වශයෙන් සමලිංගික ආකර්ෂණය වාර්තාවීම වැඩි වී ඇත.

බලය සහ නිදහස

එක්සත් ජනපදයේ මැසචුසෙට්ස්හි ස්ප්‍රිංෆීල්ඩ් විද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්ය එලිසබෙත් මෝර්ගන් පවසන්නේ “මේ සියල්ල එක දෙයකට ලඝු කර ගැනීමට නොහැකි තරම් සංකීර්ණයි,” යනුවෙනි. නමුත් ස්ත්‍රී පුරුෂ භාවය, සහ ඔවුන් කොටස් දෙකම වෙනස් වී ඇති ආකාරය සහ වෙනස් වී නැති ආකාරය සැලකිය යුතු කරුණක් විය හැකිය.

පසුගිය දශක කීපය තුළ සංස්කෘතියේ සැලකිය යුතු වෙනසක් කළ ස්ත්‍රීවාදයේ ප්‍රගතිය සහ කාන්තා ව්‍යාපාර වැනි දේවලින් සමාජ දේශපාලන දර්ශනයේ සිදු වූ කැපී පෙනෙන වෙනස මෙම තත්ත්වයට හේතු වී ඇතැයි ෂෝන් මැසී සහ ඔහුගේ සගයන් බොහෝ දුරට හුවා දැක්වීය. කෙසේ වෙතත්, මෙම වෙනස්කම් පුරුෂයින් හා කාන්තාවන්ට බලපා ඇත්තේ වෙනස් ආකාරයෙනි.

“ඇත්ත වශයෙන්ම ප්‍රගතියක් ලබා ඇත්තේ ස්ත්‍රීභාවය වටා වන අතර පුරුෂභාවය අතර මෙය සිද්ධ වෙලා තියෙන්නේ අඩු වශයෙන්,” යනුවෙන් ෂෝන් මැසේ පවසයි.

වර්තමානයේ ලිංගික වශයෙන් සරල දෙයක් ලෙස හඳුනා ගන්නා LGBTQ+ (සමලිංගික සහ සංක්‍රාන්ති ලිංගික) ව්‍යාපාරයේ බලපෑම ඔහු බැහැර නොකළද, ෂෝන් මැසි විශ්වාස කරන්නේ ස්ත්‍රීවාදය සහ කාන්තා ව්‍යාපාර කාන්තාවන්ට ඔවුන් ගැන මේ ආකාරයෙන් හඳුනා ගැනීමට උපකාර වන භූමිකාවක් ඉටු කරන බවය.

විශේෂයෙන් පුරුෂයන් හා සම්බන්ධ ඓතිහාසික, සමාජභාවය මත පදනම් වූ සීමා කිරීම් ඒ ආකාරයෙන්ම පවතින අතර, ඒවායින් මිදීමට කාන්තා ව්‍යාපාර හා සමාන කිසිදු ව්‍යාපාරයක් පුරුෂයන් වෙනුවෙන් නොමැත.

2019 දී කාන්තාවන්ගෙන් 65% ක් වාර්තා වූයේ පිරිමින් වෙත පමණක් ආකර්ෂණය වන බව වන අතර එය 2011 දී 77% ට වඩා සැලකිය යුතු අඩුවීමකි.

“අවුරුදු පනහකට පෙර, ඔබ පුරුෂයෙකු සමඟ විවාහ වී එකට ජීවත් නොවන්නේ නම් ඔබට ජීවත් විය නොහැකි තත්වයක් තිබුණේ, මොකද ඔබට අවශ්‍ය දේ සපයන්න සිදු වෙලා තිබුණේ ඔහුට” යනුවෙන් එලිසබෙත් මෝර්ගන් පැවසීය.

එම අර්ථයෙන් ගත් කල, සාම්ප්‍රදායික ස්ත්‍රී සමාජ භූමිකාවන්ගෙන් කාන්තාවන් ඉවත් වීමේ කොටසක් ලෙස සුවිශේෂී විරුද්ධ ලිංගික සේවනය අත්හැර දැමීම දැකිය හැකිය.

මේ අතර, කාන්තාවන්ට වැඩි නිදහසක් ලබා ගැනීමට හැකි වී තිබෙන අතර, සමාජය තුළ බලතල අඛණ්ඩව පවත්වා ගෙන යන හෙයින් පුරුෂ සමාජභාවය සාපේක්ෂව ස්ථාවරව පවතී.

“(පුරුෂයන්) සමාජයේ බලය පවත්වාගෙන යන්න ඉතා බලවත් පුරුෂභාවයක් පවත්වාගෙන යාමට සිදුවන අතර, එම පුරුෂභාවයේ එක් කොටසක් විදිහට ගැනෙනවා විරුද්ධ ලිංගික ආකර්ෂණය,” එමෙන්ම සමලිංගික කැමැත්ත ප්‍රකාශ කිරීමෙන් එම බලය අඩු විය හැකි යැයි ඔවුන් විශ්වාස කරන බව එලිසබෙත් මෝර්ගන් පැවසීය.

ෂෝන් මැසේ පවසන පරිදි පුරුෂභාවය යනු “බිඳෙන සුළු සංකල්පයකි”. සමලිංගික ආකර්ෂණයෙන් එය “උල්ලංඝනය” කළ හැකිය.

කාන්තාවන් දෙදෙනෙකු ලිංගික සංසර්ගයේ යෙදීම සම්බන්ධයෙන්, විශේෂයෙන් පුරුෂයන්ගේ කෝණයෙන් ඇති කරවන “අර්චණකාමය” ගැන ද ලිංගික පුහුණුකරු සහ උපදේශක වයලට් ටර්නිං (24) පෙන්වා දේ.

වැරදි හේතු කාරණා නිසා වුවද කාන්තාවන් අතර සමලිංගික ආකර්ෂණය වඩාත් සමාජීය පිළිගැනීමට ලක්ව ඇත. මේ අතර, පුරුෂයන් දෙදෙනෙකු ලිංගිකව හැසිරීම සමාජයේ රසවත් මතයක් නොවන බව පෙනේ.

රටවල් 23 ක සමලිංගික පුරුෂයින් හා ස්ත්‍රීන් කෙරෙහි දක්වන ආකල්ප දෙස සොයා බැලීමට 2019 දී සිදුකළ අධ්‍යයනයකින් හෙළි වූයේ, “සමලිංගික කාන්තාවන්ට වඩා සමලිංගික පුරුෂයන්ට මිනිසුන් අකමැත්තක් දක්වන බවය.”

විවෘත සංවාදයක්

කාන්තාවන්ට තම ලිංගිකත්වය ගැන විවෘතව කථා කිරීමට ඇති ස්ථාන ද කාලයත් සමඟ වැඩි වෙමින් පවතී.

එක්සත් ජනපදයේ යූටා විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාව හා ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ අධ්‍යයන මහාචාර්යවරියක වන ලීසා ඩයමන්ඩ් 1990 දශකයේ මුල් භාගයේදී ලිංගික විවෘත බව අධ්‍යයනය කිරීමට පටන් ගත් විට ඇයගේ පර්යේෂණවලින් අවධානය යොමු කිරීමට සිදු වූයේ පුරුෂයන් කෙරෙහිය.

අධ්‍යයනයට සහභාගිවන්නන් බොහෝ දෙනෙක් පැමිණියේ සමලිංගික සහයෝගී කණ්ඩායම්වලින් වන අතර, එහි වැඩි කොටසක් සිටියේ පුරුෂ සාමාජිකයින්ය. මේ හේතුවෙන් “පර්යේෂකයන්ට පුරුෂයන් පහසුවෙන් සොයා ගැනීමට” හැකි වූ බව ඇය පැවසීය.

Two women walk away from the camera smiling
ඡායාරූප ශීර්ෂ වැකිය,කාන්තාවන්ට තම ලිංගිකත්වය ගැන විවෘතව කථා කිරීමට ඇති ස්ථාන ද කාලයත් සමඟ වැඩි වෙමින් පවතී.

නමුත් ලීසා ඩයමන්ඩ්ට අවශ්‍ය වූයේ කාන්තාවන්ගේ ලිංගිකත්වය දෙස බැලීමටය. දශකයකට වැඩි කාලයක් සෑම වසර දෙකකට වරක්ම සිය ලිංගික කැමැත්ත හා හැසිරීම් ගැන කාන්තාවන් 100 දෙනෙකු පරීක්ෂා කරමින් ඇය අධ්‍යයනයක් ආරම්භ කළාය.

Sexual Fluidity: Understanding Women’s Love and Desire (විචල්‍ය ලිංගිකත්වය: කාන්තාවන්ගේ ආදරය හා ආශාව තේරුම් ගැනීම) නම් ඇයගේ පොත 2008 දී ප්‍රකාශයට පත් කරන ලදී.

සමහර කාන්තාවන් අතර ආදරය හා ආකර්ෂණය සරල දෙයක් වන අතර කාලයත් සමඟ එය වෙනස් විය හැකි ආකාරය ගැන මෙම පොතේ සඳහන් වේ.

ලිංගික කැමැත්ත දැඩි සීමාවන් තුළ නිරූපනය කළ පෙර පැවති සිතුවිලි මාලාවට මෙය පටහැනි විය. ලීසා ඩයමන්ඩ් සිදු කරන ලද පිරිමින් පමණක් සරණ පාවාගත් අය අධ්‍යයනයන් මඟින් මේ මතය තහවුරු වී තිබේ.

ඇගේ පොත ප්‍රකාශයට පත් වූ සමයේදී, කළින් පුරුෂයන් ඇසුරු කළ සින්තියා නික්සන් සහ මරියා බෙලෝ වැනි එක්සත් ජනපදයේ ප්‍රකට කාන්තාවෝ සමලිංගික ආකර්ෂණය අත්විඳීම ගැන ප්‍රසිද්ධියේ සිය මත ඉදිරිපත් කළහ.

ස්ත්‍රී ලිංගිකත්වය සරල වීම ගැන කතා කිරීම සඳහා සිය වැඩසටහනට එක්වන්නැයි ඔප්රා වින්ෆ්‍රේ විසින් ලීසා ඩයමන්ඩ් හට ආරාධනා කරනු ලැබුවාය. එයින් පසු එම සංකල්පය නිල වශයෙන් ප්‍රධාන ධාරාවේ සංවාදයට ඇතුළු විණි.

ඊට අමතරව ස්ත්‍රීන්, ස්ත්‍රී-පුරුෂ ලෙස ද්විත්ව නොවන බව හඳුනා ගැනීමට භාෂාව ද පරිණාමය වී ඇති බව වයලට් ටර්නිං සඳහන් කරයි.

නිදසුනක් වශයෙන්, වයලට් ටර්නිං පවසන්නේ 2007 දී පමණ ඇයගේ සමලිංගික සහකාරියට ඇයගේ පාසලේදී “සමලිංගික – විෂම ලිංගික සන්ධානයක්” තිබුණ බවය.

එම වාක්‍ය ඛණ්ඩ සමලිංගික හෝ විරුද්ධ ලිංගික පුද්ගලයන්ට දිරි දුන් නමුත්, ඒ අතරමැද ලිංගික කැමැත්තක් ගැන හඳුනාගෙන සිටින්නන් සඳහා සැබෑ විකල්පයක් නොවීය. එමෙන්ම, කාන්තා ලිංගිකත්වය විශේෂයෙන් හැඳින්වීමට වචනයක් නොතිබිණි.

“නමුත් දැන් මේ දේවල් පිළිගන්නා නිසා, සෑම කෙනෙකුම ‘වෙනස් ලිංගික’ අය ලෙස හඳුනා ගැනීමට විකල්පයක් තිබෙනවා,” යැයි වයලට් ටර්නිං පවසන්නේ කාන්තාවන් ද ඇතුළුව සියලු ලිංගිකත්වයන් ඇතුළත් වන පරිදි කථනය සහ පාරිභාෂික විද්‍යාව පරිණාමය වී ඇති බවය.

Two women embrace
ඡායාරූප ශීර්ෂ වැකිය,”අපේ සංස්කෘතිය ලිංගිකත්වය හා සම්බන්ධ දේවල් ගැන දැඩි ලැජ්ජාවක් ඇති කරලා තියෙනවා.”

ලිංගිකත්වය සරල දෙයක් බවට පත් වීමේ අනාගතය කුමක්ද?

සරල ලිංගිකත්වය වැඩි වශයෙන් පුරුෂ අවකාශයකට ඇතුළු වීමේ මාවතකට පිවිස තිබිය හැකිය. ටික්ටොක්හි, තරුණ, විෂම ලිංගික පුරුෂයන් තම වීඩියෝවල සමලිංගිකයින් ලෙස හැසිරීම ජනප්‍රිය වී ඇත.

මෙම ප්‍රවනතාව ගැන නිව් යෝර්ක් ටයිම්ස් හි පළ වූ ලිපියකට අනුව මෙවැනි වීඩියෝ වැඩි වශයෙන් නරඹන්නේ කාන්තා අනුගාමිකයින් (followers) ය.

මේ නිර්මාණකරුවන් වෙනත් ලිංගික පුද්ගලයන් ලෙස පෙනී සිටීම සිදුකරන්නේ තම කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ නැත්නම් වැඩිපුර ‘ක්ලික්’ ලබා ගැනීමට හෝ විය හැකියි. කෙසේ වුවත් මෙම ප්‍රවනතාව පුරුෂභාවය කෙරෙහි ආකල්ප වෙනස් කිරීමටත් එමඟින් අනාගතයේදී වැඩි පුරුෂයන් පිරිසක් ලිංගික සරල බව වැළඳ ගැනීමටත් මාවත සකසනු ඇත.

ලිංගිකත්වය විවෘතව කතා කරන කාන්තාවන් ද මේ මාවත සැකසීමට උපකාරී වනු ඇත. වැඩි වශයෙන් කාන්තාවන් තම ලිංගිකත්වය ගැන විවෘතව සාකච්ඡා කිරීම යන්නෙන් අදහස් කරන්නේ, පොදුවේ පවතින ලිංගිකත්වය ගැන දැඩි මතයට තිබෙන විකල්ප ගැන වැඩි දෙනෙක් සාකච්ඡා කිරීමය.

“අපේ සංස්කෘතිය, ලිංගිකත්වය හා සම්බන්ධ දේවල් ගැන දැඩි ලැජ්ජාවක් ඇති කරලා තියෙනවා” යනුවෙන් ලීසා ඩයමන්ඩ් පැවසීය.

“මිනිසුන්ට තම ආශාවන් විනිශ්චය කිරීමකින් තොරව, ලැජ්ජාවකින් තොරව කීමට පහසු සහ සමාජීය වශයෙන් පිළිගත හැකි ඕනෑම දෙයක්,” ඔවුන්ගේ ලිංගික කැමැත්ත විවෘත කිරීමේ, නැතහොත් අවම වශයෙන් සලකා බැලීමට ඉඩ සලසා දෙන බව ඇය තවදුරටත් පැවසුවාය.

“අපි අනිවාර්ය විෂම ලිංගිකත්වයෙන් [සහ] සාම්ප්‍රදායික පුරුෂ භාවයෙන් මිනිසුන් නිදහස් කිරීම ආරම්භ කළ යුතුයි” යනුවෙන් ෂෝන් මැසේ පවසයි. “එය ලිංගිකත්වයේ විවිධත්වයට ඉඩ සලසන්න පුළුවන්, නැත්නම් වෙනස් ප්‍රතිඵලයක් හෝ සමහර විට ඒ හා සමාන ප්‍රතිඵලයක් (කාන්තාවන්ට) ලබා ගත හැකියි.”

බී.බී.සී. සන්දේශය ඇසුරිනි – ශීර්ෂපාඨය සංශෝධනය කර ඇත.

Related Posts