විවාහ මංගල්‍ය සඳහා සහභාගී කර ගත හැකි පිරිස 200ක් දක්වා වැඩිකිරීමට රජයේ අවධානය

Spread the love

විවාහ මංගල්‍ය හා වෙනත් උත්සව සඳහා සහභාගී කර ගත හැකි පිරිස 200ක් දක්වා වැඩිකිරීමට රජයේ අවධානය යොමුවෙයි . ඊට අදාල යෝජනාව දැනටමත් කොවිඩ් 19 පාලනය කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත යොමුකර ඇතැයි කාර්මික අපනයන,  ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

සමස්ත ලංකා උත්සව ශාලා හා ආහාරපාන සපයන්නන්ගේ සංගමය සමඟ ඊයේ (23) පැවැති සාකච්ජාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. සාකච්ඡාව බියගම පිහිටි උත්සව ශාලාවක දී  පැවැත්විණ. මේ සඳහා දිවයින පුරා විසිරී සිටින උත්සව ශාලා හිමියෝ 100කට අධික පිරිසක් සහභාගී වුහ.

කොඩිඩ් 19 වසංගතය හේතුවෙන් විවාහ මංගල උත්සව හා වෙනත් උත්සව සඳහා සහභාගී කරගත හැකි සංඛ්‍යාව 100 දක්වා සීමා කර තිබූ අතර සංගම් නියෝජිතයන් පෙන්වා දුන්නේ එය ප්‍රමාණවත් නොවන බවයි. විවාහ මංගල උත්සවයකදී උත්සව ශාලා හිමියන්ට දැරීමට සිදුවන පිරිවැයත් සමග බරපතළ පාඩුවක් සිදුවන බවද ඔවුහු පෙන්වා දුන්හ. මෙම තත්ත්වය නිසා ආහාර පාන සපයන්නන්, වීඩියෝ හා කැමරා ශිල්පීන්, අෂ්ඨකවරුන්, මඟුල් බෙරකරුවන් ඇතුළු විශාල පිරිසක් පීඩාවට පත්ව සිටින බවද එම සංගම් නියෝජිතයෝ ඇමතිවරයාට පෙන්වා දුන්හ.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී කියා සිටියේ තමන් දැනටමත් මේ පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා සමඟ සාකච්ජා කර ඇති බවයි. ඉතා ඉක්මනින් මේ සඳහා අවශ්‍ය පියවර ගන්නා බවද අමාත්‍යවරයා කීවේය. ආහාරපාන සපයන්නන් මෙහිදී කියා සිටියේ සිය කර්මාන්තයට රජයේ කිසිදු ආධාරයක් නොලැබෙන බවයි. කොඩිඩ් 19 හේතුවෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙල අනුව ද තමන්ට එම වරප්‍රසාද හිමි නොවන බව ඔවුහු පෙන්වා දුන්හ. ඊට ප්‍රතිචාර දක්වමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ සංචාරක සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි අයට මෙම වරප්‍රසාද ලැබෙන බවයි. එලෙස ලියාපදිංචි වී නැත්නම් සංචාරක අධිකාරියේ කඩිනමින් ලියාපදිංචි වන ලෙස ඇමතිවරයා ඔවුන්ට උපදෙස් දුන්නේය. මේ වනවිට අන්තර්ජාලය ඔස්සේ ඒ සඳහා අයදුම් කිරීමේ පහසුකම් සලසා ඇතිබවද ඇමතිවරයා මෙහිදී කීවේය. මෙම අවස්ථාවට සහන් ප්‍රදීප් විතාන මහතාද සහභාගී විය.

RSL

Related Posts