මේ වන විට යුක්රේනයේ නවතම තත්ත්වය කුමක් ද?

Spread the love

මේ වන විට යුක්රේනයෙන් පැමිණෙන වාර්තාවන්ගෙන් කියැවෙන්නේ රුසියානු හමුදාවන් කියෙව් අගනුවර තුළට ඇතුළුවී, එහි උතුරු දෙසින් පිහිටි ඔබොලොන් දිස්ත්‍රික්කය වටා කේන්ද්‍රගතව සිටිනබව යි.

මේ ජනවාසික ප්‍රදේශය කියෙව් පාර්ලිමේන්තුවට සහ නගර මධ්‍යයේ සිට කිලෝමීටර 9ක් උතුරින් පිහිටා තිබේ.

  • අද (පෙබ. 25) එරට වේලාවෙන් පෙරවරු 10ට ස්වල්ප මොහොතකට පෙර යුක්රේනයේ, ආරක්ෂක අමාත්‍යාංශය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා සිටියේ සතුරු රුසියානු ක්‍රියාකාරීන් එම ප්‍රදේශයට පැමිණ සිටිනබව යි
  • සාමූහිකව පෙළගැසී සතුරා සමග සටන් කිරීම සඳහා පෙට්‍රල් බෝම්බ සාදන්නැ යි ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටියේ ය
  • මේ අතර, ඔබොලොන්හි බොහෝදුරට හිස්ව ඇති මාර්ගවල සන්නද්ධ රථ ගමන් කරනු දැක්වෙන වීඩියෝ කීපයක් අන්තර්ජාලයට එක්කර තිබේ
  • සිවිල් වැසියන් සහ හමුදා නිල ඇඳුමින් සැරසුණු පුද්ගලයින් අතර සටන් සිදුවෙනු පෙන්වන වීඩියෝ දර්ශන ද දක්නට ලැබේ
  • රුසියානු හමුදාවන් කියෙව් අසල පිහිටි ප්‍රධාන ගුවන්තොටුපොළෙහි පාලනය අත්පත්කර ගත්බව ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළැ යි රුසියාවේ ඉන්ටර්ෆැක්ස් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි. ඒ සඳහා රුසියානු හෙලිකොප්ටර් 200ක් සහ ගොඩබෑමේ බලකායක් භාවිතා කළ බව එහි දැක්වේ
  • කියෙව් නගරය ගුවන් ප්‍රහාරයන්ට ද ලක්වෙමින් පවතින අතර, නගරවාසීන් රැකවරණය පතා භූගත දුම්රිය ස්ථානවලට එක්රොක්ව සිටියි
  • අද උදෑසන නගරයට අඛණ්ඩ ගුවන් ප්‍රහාර එල්ලවූ අතර, ප්‍රතිඵල ලෙස ඇතැම් මහල් නිවාසවල ජනේල පුපුරාගොස්, නගර වීදිවල ආවාට ඇතිව තිබේ
A boy plays on a swing in front of a damaged residential block in Kyiv hit by an early morning missile strike
අලුයම මිසයිල ප්‍රහාරයකින් හානියට පත් කියෙව්හි නිවාස සංකීර්ණයක් ඉදිරිපිට ඔංචිල්ලාවක් පදින පිරිමි ළමයෙක්
  • යුක්රේනයේ වෙනත් ප්‍රදේශවල සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක්, සටන්වලින් ගැලවීමට ද රුසියානු හමුදාවන් තම ප්‍රදේශය වෙත පැමිණීම හේතුවෙන් ද පළා යමින් පසුවෙයි.
  • හංගේරියාව පවසන්නේ සිය දේශසීමාවේ යුක්රේනියානු පැත්තේ කිලෝමීටර් තුනේ සිට පහ දක්වා දිග මෝටර් රථ පෝලිමක් ඇතිබව යි
  • කළු මුහුදේ දූපතක සිටි දේශසීමා ආරක්ෂකයින් 13දෙනෙකු රුසියානු යුද නෞකාවකට යටත්වීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මරාදමා ඇත
  • රට පුරා ගුවන් ප්‍රහාරවලින් සිවිල් වැසියන් 25 දෙනෙකු මියගොස්, 102 දෙනෙකු තුවාල ලබා ඇතිබව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි
  • දශක ගණනාවකට පසු යුරෝපයේ ඇති වූ පළමු ප්‍රධාන ගොඩබිම් යුද්ධයට ජාත්‍යන්තර ප්‍රජාව ප්‍රතිචාර දක්වමින් සිටියි
  • 2022 චැම්පියන්ස් ලීග් අවසන් මහා තරගයේ සත්කාරකත්වය දැරූ රුසියාවේ යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන්, රුසියාව එම සත්කාරකත්වයෙන් ඉවත්කර ඇති අතර, තරගය පැරිසියට ගෙනයාමට තීරණයකර ඇත
  • රුසියාව ද ෆෝමියුලා 1 තරගයෙන් ද ඉවත්කර තිබේ
  • රුසියාවේ යුද-විරෝධී විරෝධතාකරුවන් සිය ගණනක් අත්අඩංගුවට ගැනීම එක්සත් ජාතීන්ගේ සංවිධානය හෙළාදකියි. පුද්ගලයන් 1800ක් පමණ රඳවාගෙන සිටිනබව වාර්තා වේ
  • යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි, බොරිස් ජොන්සන් සහ අනෙකුත් ලෝක නායකයින් සමග අද උදෑසන සාකච්ඡා පැවැත්වීය. යුක්රේන හමුදාවන්ගේ නිර්භීතකම සම්බන්ධයෙන් එක්සත් රාජධානිය “ඉතාමත්ම පැහැදී සිටිනබව” බ්‍රිතාන්‍ය අගමැති ප්‍රකාශ කළ අතර, නායකයින් දෙදෙනා රුසියාවට එරෙහි සම්බාධක පිළිබඳව සාකච්ඡා කළහ
  • යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙකු ප්‍රකාශ කළේ රුසියානු ගුවන් යානයක් කියෙව්හි ඩානිට්ස්කි දිස්ත්‍රික්කයට ඉහළ අහසේ දී වෙඩිතබා බිම හෙළුණුබව යි. නමුත් මෙම වාර්තාවන්හි සත්‍යතාව සනාථකර නොමැත
  • ගැටුම් ඇරඹීමෙන් අනතුරුව, රුසියානු හමුදා විසින් උතුරුදිග යුක්රේනයේ, බෙලාරුසියානු දේශසීමාවට ආසන්නව, කියෙව් සිට කිලෝමීටර් 93ක් දුරින් පිහිටි පැරණි චර්නොබිල් න්‍යෂ්ටික සංකීර්ණයේ පාලනය අත්පත්කර ගෙන ඇත. එක්සත් ජනපදය පවසන්නේ යුක්රේන සොල්දාදුවන් ප්‍රාණ ඇපකරුවන් ලෙස එහි රඳවාගෙන සිටිනබව යි
Kyiv map
කියෙව් නගරයට රුසියානු හමුදා පැමිණීම රතු ඊතලයන්ගෙන් පෙන්නුම් කරයි

රුසියානු හමුදාවන්, සිවිල් වැසියන් සිටින ස්ථාන දුසිම් ගණනාවක් ඉලක්කකර ගනිමින් සිටිනබව යුක්රේනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙකු ප්‍රකාශ කළේ ය.

“රුසියානුවන් කියනවා ඔවුන් සිවිල් ස්ථානයන්ට පහර දෙන්නේ නැහැ කියලා, නමුත් පසුගිය පැය 24 තුළ සිවිල් ස්ථාන 33කට ප්‍රහාර එල්ලවෙලා තියෙනවා,” වඩිම් ඩෙනිසෙන්කෝ රොයිටර් පුවත් ඒජන්සියට පැවසීය.

අද පූර්වභාගයේ දී, යුක්රේන ජනාධිපතිවරයා එරට ආරක්ෂා කරනා වැසියන්ගේ උත්සාහයන්ට සිය ආචාරය පුද කළේ ය.

ඔහු සෙබළුන්ගේ සහ සිවිල් වැසියන්ගේ නිර්භීතකමට උපහාර දැක්වීය. බ්‍රහස්පතින්දා දිනය තුළ දී අවම වශයෙන් යුක්රේනියානුවන් 137ක් මියගියබව පැවසේ.

යුක්රේනය අවි දැරිය හැකි සියලුම පුරවැසියන්ගෙන්, සිය මව්බිම ආරක්ෂා කිරීමට එක්වන ලෙස ඉල්ලා සිටියේ ය. ඒ සඳහා වයස් සීමාවක් බල නොපානාබව හමුදා අණදෙන නිලධාරියාගේ ප්‍රකාශයේ සඳහන් විය.

කෙසේ වෙතත්, ආරක්ෂක අමාත්‍ය අලෙක්සි රෙස්නිකොෆ්ගේ පසුව නිකුත්කළ ප්‍රකාශයකින් විස්තර කළේ, “වයස් සීමාවක් නැතැ”යි කීමෙන් අදහස් කළේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් හැඟවීම සඳහාබව යි.

Attacks on Kyiv in the morning
අද උදෑසන කියෙව් වෙත එල්ලවූ ෂෙල් ප්‍රහාරයකින් විනාශ වූ නිවාස සංකීර්ණ ගොඩනැගිල්ලක සුන්බුන් අස්පස් කරන කාන්තාවක්

බ්‍රහස්පතින්දා (පෙබ. 24) ආක්‍රමණය ආරම්භයේ පටන් රුසියානු හමුදා යුක්රේනයේ උතුරු, නැගෙනහිර, සහ දකුණේ පෙරමුණුවලින් වේගයෙන් ඉදිරියට ඇදෙමින් කියෙව් අගනුවර කරා ගමන් කරමින් සිටියේ ය.

කියෙව් නගරයට වයඹ දෙසින් පිහිටි බුචාහි ජනාවාස ප්‍රදේශයකට මිසයිල ප්‍රහාරයක් එල්ලවෙන ආකාරය දැක්වෙන වීඩියෝව සත්‍යබවට BBCය විසින් මේ වන විට තහවුරුකර ගෙන තිබේ.

මිසයිල ප්‍රහාරයක් එල්ලවුණේ, රුසියානු හමුදා කියෙව් අගනුවර උතුරු ප්‍රදේශවලට ඇතුළුවී ඇතිබවට යුක්රේන රජය අනතුරු ඇඟවීමත් සමග යි.

කියෙව් අගනුවරට තදාසන්න ඩිමර් සහ ඉවන්කීව් ප්‍රදේශවල සිටින යුක්රේන සන්නද්ධ හමුදාවන් රුසියානු භටයින් සමග සටන් වදිනබවත්, යුක්රේන හමුදාව රුසියානු සන්නද්ධ රථ විශාල ප්‍රමාණයක් ඒ ප්‍රදේශයන් තුළට පැමිණ ඇතිබවත් යුක්රේන හමුදාව ප්‍රකාශ කරයි.

හමුදාව පැවසුවේ, යුක්රේන භට පිරිස් අගනුවරට වයඹ ප්‍රදේශයට පැමිණ ඇති රුසියානු හමුදාවන්ට “අඛණ්ඩව ප්‍රතිරෝධය දක්වන” බව යි.

රුසියානු හමුදාවන්ගේ ඉදිරි ගමනට බාධා කිරීම සඳහා, යුක්රේන භට පිරිස් විසින් ටෙටෙරිව් ගඟ මායිමේ පිහිටි පාලමක් විනාශ කරන ලදබව ද ඔවුන් පවසයි.

Humans and animals alike are sheltering from an expected attack
ප්‍රහාරවලින් රැකවරණය ලැබීම සඳහා ජනයා සිය දරුවන් සහ සුරතලුන් ද රැගෙන බිම්ගෙවල් තුළට වැදී සිටියි

මේ අතරේ, රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ, තම හමුදා චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය අත්පත්කර ගත්තේ එය “ආරක්ෂා කිරීම” සඳහාබව යි.

“ජාතිකවාදී කණ්ඩායම් සහ අනෙකුත් ත්‍රස්තවාදී සංවිධානයන් න්‍යෂ්ටික ප්‍රකෝපනයක් සඳහා රටේ පවතින තත්ත්වය භාවිතයට නොගන්නාබව” සහතික කිරීම සඳහා එසේ සිදුකළබව එහි දැක්වේ.

රුසියාව පවසා සිටියේ බලාගාරය අවට ප්‍රදේශයේ විකිරණ මට්ටම සාමාන්‍ය අගයක පවතිනබව යි. එහි කාර්යය මණ්ඩලය විකිරණශීලීතා මට්ටම් අඛණ්ඩව නිරීක්ෂණය කරනබව ද ඔවුන් පවසයි.

රුසියානු හමුදා ඊයේ (පෙබ. 24) මේ කුප්‍රකට න්‍යෂ්ටික බලාගාරය අත්පත්කර ගත්හ.

රුසියාවේ දීර්ඝකාලීන මිතුරෙකු වන චීනය තවමත් තවමත් රුසියාව හෙළාදැකීම ප්‍රතික්ෂේප කරමින් සිටියි. යුක්රේනයට එරෙහි රුසියාවේ ක්‍රියාමාර්ගය “ආක්‍රමණයක්” ලෙස හැඳින්වීම එහි විදේශ අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කළේ ය.

අමාත්‍යංශයේ දෛනික ප්‍රවෘත්ති සාකච්ඡාවක දී මාධ්‍ය ප්‍රකාශක වැන්ග් වෙන්බින් චීනයේ ස්ථාවරය නැවතත් අවධාරණය කළේ, එය සියලුම රටවල භෞමික අඛණ්ඩතාවයට ගරු කළත්, “ආරක්ෂක ප්‍රශ්න සම්බන්ධයෙන් රුසියාවට මතුව ඇති සාධාරණ ගැටලු” ද එය වටහාගෙන ඇතිබව යි.

bbc sandesaya

Related Posts