‘බොරතෙල් ආනයනයට වඩා පිරිපහදු ඉන්ධන ලාබයි’

Spread the love

ඩොලර් කළමණාකරනයේදී බොරතෙල් ආනයනයට වඩා සෘජු පෙට්‍රල් සහ ඩීසල් ආනයනය කිරීම ලාභදායි යැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවේය.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කොළඹදී අද (18) පැවැති මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා, ‘‘බොරතෙල් පිරිපහදුවේදී දළ වශයෙන් රුපියල් පහක ලාභයක් ලැබෙනවා. නමුත් ආනයන භාණ්ඩවලට පැනවෙන බද්ද පිරිපහදු කළ ඉන්ධනවලට අඩුයි. ඒ හේතුවෙන් අපි පිරිපහදු කළ ඉන්ධන ආනයනය කළහොත් රුපියල් 15ක පමණ ලාභයක් ලබාගත හැකියි. පෙට්‍රල් සහ ඩීසල් සෘජුව ආනයනයේදී බැරයකට ඩොලර් 93.65ක් ගෙවිය යුතුයි. නමුත් එම ප්‍රමාණය නිෂ්පාදනය කිරීමට බොරතෙල් ආනයනයට ඩොලර් 197ක් වැය වෙනවා.

ඒ වගේම පිරිපහදුවෙන් ඉතිරි වන දැවි තෙල් සහ නැප්තා වර්තමානයේ භාවිතයට නොගන්නා නිසා සෘජු පෙට්‍රල් සහ ඩීසල් ආනයනය වඩාත් ලාභදායකයි. ඊට හේතුව වන්නේ බොරතෙල් පිරිපහදුවේදී දැවි තෙල් සහ නැප්තා සියයට 37 ක් ඉතිරි වීමයි. පවතින අධික වර්ෂාව නිසා විදුලිබල මණ්ඩලය දැවි තෙල් සහ නැප්තා මිලදී නොගැනීම නිසා ටොන් 13,500 ක් ටැංකිවල එකතු වී තිබෙනවා.

සපුගස්කන්ද පිරිපහදුව යල්පැන ගිය එකක් වීම නිසා බොරතෙල් බැරලයකින් පෙට්‍රල් සියයට 14 ක් සහ ඩීසල් සියයට 29 ක් පමණයි නිෂ්පාදනය කළ හැකි වන්නේ. පෙට්‍රල් සහ ඩීසල් බැරලයක් නිෂ්පාදනයට බොරතෙල් බැරල් 2.32 අවශ්‍ය වෙනවා. ඩීසල් බැරලයක් ඩොලර් 93ක් සහ පෙට්‍රල් බැරලයක් ඩොලර් 95ක් වෙනවා‘

අප මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් විශේෂඥයින්ගෙන් කළ විමසීමකදී ඔවුන් කිහිප දෙනකුම හෙළිකළේ අමාත්‍යවරයා කියන කතාව සාවද්‍ය බවයි. එසේම ඔහු මේ අවස්ථාවේ සිය ගැළවීමට නන්දොඩවන බව කී ඔවුහු සපුගස්කන්ද පිරිපහදුව වසා දැමීමට සිදු වුවහොත් එහි සේවය කරන දහස් ගණනකගේ රැකියා අහිමි වන බව ද කීවේය.

Related Posts