බිත්තර ප්‍රහාරය පිටුපස ආණ්ඩුව ඉන්න බව පැහැදිලියි – ජාතික ජන බලවේගයේ නීතිඥයෝ

Spread the love

ප්‍රසන්න රණතුංග විසින් ලිපි දෙකක් ඉදිරිපත් කළා ජනාධිපතිට සහ පොලිස්පතිට වහාම පරීක්ෂණයක් කරන්න කියලා. ඒක දැක්කම මට නම් හිතුනේ හොරාම දුවනවා හොරා අල්ලපියෝ කියලා වගේ වැඩක් කියලා. කෙසේ නමුත් කැබිනට් ඇමතිවරයෙක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලලත් තවමත් කටඋත්තරයක් ගෙන නැති එක ගැන අපිට ප්‍රශ්නයක් තිබෙනවා

ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් විධායක සභාව නම් කිරීමේ සමුළුව අවස්ථාවේ මැරයින් යොදවා එල්ල කළ බිත්තර ප්‍රහාරය පිටුපස ආණ්ඩුව සිටින බව පැහැදිලි යැයි ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සඳහන් කරති.

ඔවුන් මේ බව පැවසූවේ එම නීතිඥයින් විසින් අද (01) පෙරවරුවේ, පැලවත්ත බත්තරමුල්ල හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

එහිදී නීතිඥ සුනිල් වටගල, නීතීඥ උපුල් කුමරප්පෙරුම, නීතීඥ චරිත් ගල්හේන යන අය අදහස් දැක්වූහ. එම අවස්ථාවට නීතීඥ අකලංක එක්වී සිටියහ.

පොලිස්පතිවරයා මේ දක්වා ගෙන ඇති පියවර මොනවද ?
එහිදී නීතිඥ සුනිල් වටගල

“ජාතික ජන බලවේගයේ ගම්පහ සමුළුවට බිත්තර ප්‍රහාරයක් එල්ල කළ සිදුවීමට වගකිව යුතු දෙදෙනෙක් අත්අඩංගුවේ පසුවෙනවා. ඔවුන් දෙදෙනා විසින් කරන ලද හෙළදරව් කිරීම් ඔස්සේ කරුණු සොයා බැලීමේදී මේ සිදුවීම පිටුපස වගකිව යුතු පුද්ගලයෙක් හෝ කණ්ඩායම් සිටින බව පැහැදිලියි. මෙය අපරාධමය වරදක්. අපරාධ නීතියේ මූලික සිද්ධාන්ත සම්පූර්ණ කර තිබෙනවා. සංවිධානාත්මක කල්ලියක ප්‍රහාරයක්. පොලිස්පතිවරයා මේ දක්වා ගෙන ඇති පියවර මොනවද? හරිහමන් කට උත්තරයක්වත් අරගෙන නැහැ. ශ්‍රී ලංකා පොලිසිය මේ සම්බන්ධයෙන් සාක්ෂි දාමය සොයාගත යුතුයි. මේ දම්වැලේ පුරුකෙන් පුරුකට යන්න හැකියාව පොලිසියට තිබෙනවා. දුරකතන පරීක්ෂා කරන්න සීසීටීවී දර්ශන බලන්න හැකියාව තිබෙනවා. නමුත් ඒවා පාවිච්චි කර ගන්න පාටක් පේන්නේ නැහැ.

ප්‍රසන්න රණතුංග විසින් ලිපි දෙකක් ඉදිරිපත් කළා ජනාධිපතිට සහ පොලිස්පතිට වහාම පරීක්ෂණයක් කරන්න කියලා. ඒක දැක්කම මට නම් හිතුනේ හොරාම දුවනවා හොරා අල්ලපියෝ කියලා වගේ වැඩක් කියලා. කෙසේ නමුත් කැබිනට් ඇමතිවරයෙක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලලත් තවමත් කටඋත්තරයක් ගෙන නැති එක ගැන අපිට ප්‍රශ්නයක් තිබෙනවා. මේකට සම්බන්ද පුද්ගලයින්ගේ ඡායාරූප ප්‍රසිද්ධ වුනා. මේකට ආපු එක් අයෙක් මහගෙදර විජයආරච්චිගේ රන්මල් අසිත කුමාර විජේරත්න (පෙර නම – ගේබි්‍රයල් රත්මල් අසිත කුමාර) දෙවැන්නා ආනන්ද බණ්ඩාර, ගම්පොල. එක් පුද්ගලයෙක් ඇවන්ට්ගාඩ් සමාගමට සම්බන්ධ ඡායාරූපවල සිටිනවා. මේ සංවිධානාත්මක කල්ලිය ඇවන්ගාඩ් සමාගමට සෘජුවම සම්බන්ධයි. ජනාධිපතිවරයාගේ කිට්ටුවන්තම පුද්ගලයෙක් තමයි ඇවන්ගාඩ් සමාගමේ සභාපතිවරයා.

අද රමේෂ් පතිවරණ ඇමතිවරයා කියනවා මේක ආණ්ඩුව අපහසුතාවයට පත්කරන්න කරපු වැඩක් කියලා. අපි කියනවා ජනාධිපතිවරයාගේ සමීපතමයාගේ පුද්ගලික ආරක්ෂක ආයතනයේ පිරිසක් තමයි මේ ප්‍රහාරයට සම්බන්ධ වෙලා තිබෙන්නේ. ඒ නිසා අපි කියනවා ආණ්ඩුව සෘජුවම සම්බන්ධයි කියලා. මේ ගැන ජනාධිපතිවරයා පරීක්ෂණයක් කළ යුතුයි. අපිට ව්‍යවස්ථාවෙන් ලබාදී ඇති අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් තිබෙනවා. ජාතික ජන බලවේගයට තිබෙන ජනතා ආකර්ෂණය දරාගන්න බැරිව කරන ලද ප්‍රහාරයක් මේක. සැකකරුවන් අත්අඩංගුවේ ඉන්නවා. පරීක්ෂණ ඉදිරියට කරගෙන යන්න පොලිසියට පුළුවන්. අඹේපිටිය ඝාතන සිදුවීම අපිට මතකයි. වෙඩි තැබුවේ වෙනත් පුද්ගලයෙක්. අන්තිමට පොට්ට නවුෆර් තමයි මරණ දඩුවමට ලක්වුනේ අනුබල දීම නිසා. ඒ නිසා මේ බිත්තර ප්‍රහාර සිදුවීමට ඇත්ත වගඋත්තරකරුවන් වන්නේ රුපියල් 5000 අරගෙන ආපු අය නෙවෙයි. මේ සිදුවීමට අනුබල දුන්න පුද්ගලයා තමයි ඇත්ත වගඋත්තරකරු වෙන්නේ. ජනාධිපතිවරයා මීට මැදිහත්වීමක් කළ යුතුයි. ඇත්ත වගඋත්තරකරු හෙළිකරන්නේ නැතිනම් මේක පිටුපස ආණ්ඩුව සිටින බවට සැකයක් නැහැ. ඒ වගේම අපි මේ පරීක්ෂණ ගැන අවධානයෙන් ඉන්නවා.”

බිත්තරය ආරම්භයක් පමණයි. මින් පසු ඕනෑම දෙයක් සිදුවිය හැකියි
නීතිඥ උපුල් කුමරප්පෙරුම

“මේ සිදුවීම සාමාන්‍ය බිත්තර ප්‍රහාරයක් නෙවෙයි. විරුද්ධවාදියෙක්ට බිත්තර, තක්කාලි ගහනවා වගේ සාමාන්‍ය දෙයක් නෙවෙයි. මේ පිටුපස බරපතල තත්වයක් තිබෙනවා. අත්අඩංගුවට ගත් අය කියලා තිබෙනවා මෙය මෙහෙයවූයේ ප්‍රසන්න රණතුංග කියලා. ඒ වගේම සිදුවීමට සම්බන්ධ එක් පුද්ගලයෙක් ඇවන්ගාඩ් සමාගමට සම්බන්ධයි කියලා මූලික පරීක්ෂණවලදී හෙළිවෙලා තිබෙනවා. මොකක්ද මේ ඇවන්ගාඩ් ආයතනය කියන්නේ. මේ රටේ ත්‍රීවිධ හමුදාවේ සහ පොලිසියේ ආයුධ කුලියට අරගෙන පවත්වාගෙන යන කුලී හමුදාවක්. මේ ආයතනයේ ලංකාවේ හමුදාවල් සතුව තියෙන ටී56, ඒකේ47 ටී81 මැෂින්ගන් සබ් මැෂින්ගන් ආදී සියලුම වර්ගයේ ආයුධ තිබෙනවා. ඒ වගේම මේක අතුරු හමුදාවක්. මේ අතුරු හමුදාව සම්බන්ධයෙන් නොයෙකුත් විවේචන තිබුණා. ඒ නිසා එම සමාගම සතුව තිබුණ ව්‍යාපාර කටයුතු නාවික හමුදාවට බාරදුන්නා. මේ සමාගමේ හමුදාවෙන් විශ්‍රාම ගිය මේජර් ජනරල්ලා, නාවික හමුදාපතිලා සෙබලු සියල්ල ඉන්නවා. ඉතාම හොඳ පුහුණුවක් ලත් හමුදාවක්. එතකොට තිබෙන භයානකත්වය මොකක්ද? මේ සිදුවීම අල්ලගන්න බැරි වුනානම් මොකක්ද ඊළඟ වෙන්න පුළුවන්.

මේක සාමාන්‍ය සිකියුරිටි ෆර්ම් එකක් නෙවෙයි. ආයුධ අතේ තිබෙන අතුරු හමුදාවක්. හමුදාවට සමාන හෝ වැඩි විනයක් තිබිය යුතුයි. හමුදාව රජයට වගකියනවා. මේ අතුරු හමුදාවට වගකියන්නේ කවුද? මේ ආයතනයේ සභාපතිවරයාම ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතාට, ජනතා විමුක්ති පෙරමුණට විශාල චෝදනා රාශියක් එල්ල කරල තිබෙනවා. අභියෝග එල්ල කරලා තියෙනවා. අපහාසාත්මක ප්‍රකාශ කරලා තිබෙනවා. මේ වගේ පුද්ගලයෙක් නායකත්වය දෙන අතුරු හමුදාවකට වගකියන්නේ කවුද? මේවැනි අතුරු හමුදාවකට ආයුධ දරන්න බලපත්‍රය දෙන්නේ ආරක්ෂක අමාත්‍යංශයයි. ආරක්ෂාව සපයන ආයාතනයක් වුනත් බලපත්‍රය දෙන්නේ ආරක්ෂක අමාත්‍යංශයයි. ඇවන්ගාඩ් ආයතනයේ පුද්ගලයින් පක්ෂ සමුළුවකට ප්‍රහාරයක් එල්ල කරනවානම් ඔවුන් කරන්නේ අදාල බලපත්‍රලාබී සමාගමේ කටයුත්තක්ද? ඒ ගැන මේ රටේ ජනතාව මාධ්‍ය වගේම ආරක්ෂක අමාත්‍යංශයත් හොඳට කල්පනා කරල බලන්න ඕනෑ.

නිශ්ශංක සේනාධිපති රන්ජන් රාමනායක නිදහස් කර ගැනීමේ පණිවිඩකරු වෙනවා. ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරියත් ජනාධිපතිට පණිවිඩ ගෙනියන්න කියන්නේ සේනාධිපතිටයි. ඒකෙන් තේරෙනවා නේද නිශ්ශංක සේනාධිපති සහ ජනාධිපති අතර සම්බන්ධය මොකක්ද කියලා. එසේ නම් ජනාධිපතිවරයා මේ ගැන පරීක්ෂණයක් අනිවාර්යෙන් කළ යුතුයි. මෙහි බරපතල කාරණය වන්නේ මින් පස්සේ එන්නේ බෝම්බද කියන කරුණයි. පහුගිය කාලේ සිදුවුණු සිදුවීම් ජනතාවට මතකයි. දේශපාලන පක්ෂවලට මෙහෙම කරනවානම් සාමාන්‍ය ජනාතාවට කරන දේ මොකක් වෙයිද? ඒ නිසා පොලිසිය මේ විමර්ශන නිසිආකාරය කළ යුතුයි. දුරකතන ඇමතුම් විස්තර ලබාගන්න. සීසීටීවී දර්ශන විමර්ශනය කරන්න. දුරකතන සමාගම්වලින් විස්තර ලබාගන්න. මේ සැකකාර පුද්ගලයින් ගනුදෙනු කළ පුද්ගලයින් ගැන සොයන්න. මේවා විමර්ශනය කරන්න පොලිසියට හැකියාව තිබෙනවා. ඒ අනුව තමයි නියම චූදිතයා හඳුනාගත හැක්කේ. අපරාධ සම්බන්ධයෙන් විමර්ශණ ගැන ඕනෑ තරම් උදාහරණ තිබෙනවා.

කටඋත්තරයක්වත් නොගෙන පොලිසිය නිද්‍රාශීලීව ඉන්නවා කියන්නේම පොලිසියට බලපෑමක් තිබෙනවා කියන කරුණයි. පොලිස්පතිතුමාත් පොලිසියේ අනෙකුත් නිලධාරීන් මතක තබාගත යුතු කරුණ වන්නේ ඔවුන් පඩි ලබන්නේ මහජන මුදලින් බව. ආණ්ඩු සදාකාලික පවතින්නේ නැහැ කියලත් පොලිසිය මතක තබාගත යුතුයි. එසේ නොමැතිනම් පොලිසියට උසාවි ගානේ රස්තියාදු වෙන්නත් සිදුවන බව මතක තබාගත යුතුයි. බිත්තරය කියන්නේ ආරම්භයක් විතරයි. මීට එහා ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. මින් පසු සිදුවන සියලුම සිදුවීම්වලට මේ කණ්ඩායම් වගකිව යුතුයි. ඇවන්ගාඩ් මුදලාලි කොතරම් තමන්ට සමීප වුවත් ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කළ යුතුයි.”

ආණ්ඩුව තමන්ගේ කුණු වැඩ ටික කරගන්න අතුරු හමුදාවක් පවත්වාගෙන යනවා
නීතිඥ චරිත් ගල්හේන

“පොලිසිය පැත්තෙන් සාදාරණයක් ඉටු වෙයි කියලා විශ්වාසයක් නැහැ. ලංකාවේ දේශපාලනයේ මැරයෝ යොදාගන්න එක ඉතිහාසයේ සිටම තිබුණා. විධායක ජනාධිපති ධුරය නිර්මාණය වීමත් සමඟ පාතාලය යොදා ගත්තා. ජේ ආර්ගේ සිට එය සිදු වුනා. හමුදා නිලධාරීන් යොදාගත්තා. ඔබට මත ඇති කලාකරුවන්, විද්වතුන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් මාධ්‍යවේදීන් මැරයින්ගේ ප්‍රහාරයට ලක්වුනා. වර්තමානයේ උදා වෙලා තියෙන්නේ වෙනස්ම තත්වයක්. පොලිසිය හෝ හමුදාව පාවිච්චි කරන්නේ නැතුව දේශපාලකයින්ගේ අතේ කුණු ගාගන්නේ නැතුව දේශපාලකයින්ට අවශ්‍ය සියලුම ආකාරයේ කුණු වැඩ කරගන්න අතුරු හමුදාවක් නිර්මාණය කරගෙන තිබෙනවා. මේක භයානක තත්වයක්. මේක ජාතික ආරක්ෂාවටත් තර්ජනයක්.

නවීන ආයුද සන්නද්ධ, ආයුධ ගැන සංඛ්‍යාලේඛන පවා නැතිව අතුරු හමුදාවක් දෙමළ මනුස්සයෙකුට හෝ මුස්ලිම් මනුස්සයෙකුට නඩත්තු කරගෙන යන්න පුළුවන්ද? මෙවැනි ව්‍යාපාරයක් ආරම්භ කළොත් රාජපක්ෂවරයෙකු පාලනයේ නොසිටින මොහොතක එවැනි ලයිසන් එකක් දුන්නොත් කොහොම විරෝධයක් එයිද? හමුදාවක නම් සෙබලෙකුට ආයුදයක් දුන්නොත් එම ආයුදයට භාවිතා කරන උණ්ඩයෙන් උණ්ඩයට වගකීමක් ඔහුට තිබෙනවා. අදාල සෙබලාට තිබුණ ආයුදයේ අංකයක් පවා තිබෙනවා. ජනතාවට රටට වගකියන්න බැදිලා නැති විනයක් නැති පිරිසකට ආයුධ ලබාදීලා අතුරු මැර හමුදාවක් පවත්වාගෙන යෑමේ තත්වයක් අද උදාවෙලා තිබෙනා. එය භයානකයි. පටන් ගන්නේ බිත්තරයකින් වෙන්න පුළුවන් ඉලක්කය අපි වෙන්න පුළුවන්. නමුත් මේක නතර වෙන්නේ කොහෙන්ද?
\
ඉස්සර මැරයෝ නඩත්තු කළේ මන්ත්‍රීවරු ඇමතිවරු. ජනාධිපතිට අගමැතිට ඕන මැර වැඩ කරගන්න ඇමතිලා මන්ත්‍රීලා මැරයෝ නඩත්තු කරගෙන ගියා. අද ඒ තත්වය වෙනස් වෙලා ජනාධිපති වටේ ඉන්න ව්‍යාපාරිකයෝ කිහිප දෙනෙක් මේ වැඩේ කරගෙන යනවා. ජනාධිපතිට අතිශය ලබාදීලා පාර්ලිමේන්තුවේ 2/3ක් ලබාදීලා රට පාලනය කරන්න ව්‍යාපාරිකයෝ කිහිපදෙනෙක්ට අවස්ථාව උදාවෙලා. ඉන් එක් ව්‍යාපාරිකයෙක් අතුරු හමුදාවක් නඩත්තු කරනවා. මේක රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට තර්ජනයක්. විකල්ප මතයක් දැරීමට ජනාතාවට තියෙන අයිතියට තර්ජනයක්. ඒ නිසා මේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ කළ යුත්තේ ජාතික ජන බලවේගයට එල්ල කළ ප්‍රහාරයක් නිසා නොව ජනතාවට එල්ල කළ ප්‍රහාරයක් නිසයි. ඒ වගේම ජනතාවට මේ පුද්ගලයින් ගැන දැන ගැනීමේ අයිතියක් තිබෙනවා.”

Related Posts