පොහොර තහනමෙන් ‘පලතුරු අපනයන කර්මාන්තය අවුලෙන් අවුලට වැටිලා‘

Spread the love

ලංකා පලතුරු සහ එළවළු අපනයනය කරන්නන්ගේ සංගමයේ උපසභාපති චරින්දි රණසිංහ

අනෙක් කාරණය අප රජයෙන් ඉල්ලා සිටින්නේ අපේ අදහස් නොවිමසා තීරණ නොගන්නා ලෙසය

රටේ කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කරන්නෝය. විවිධාංගීකරණය කරන්නෝය. අප සිතන්නේ රට ගැනය. රටක් ලෙස නැගීසිටින්නේ කෙසේද කියාය. එහෙයින් එවැනි පිරිසක් නොසලකා නොහැරීම රජයේ යුතුකමක් ලෙසම වගකීමක් ලෙස ද අපි දකිමු

එළවළු හා පලතුරු අපනයනය කිරීමෙන් දැනට ලංකාවට වසරකට ලැබෙන්නේ ඇමෙරිකන් ඩොලර් මිලියන 72 ක පමණ ආදායමකි. එය අවුරුද්දකට ඇමෙරිකන් ඩොලර් මිලියන 150 දක්වා වැඩි කිරීම දැන් අපේ ඉලක්කයයි. ඒ ඉලක්කය සපුරා ගැනීමට අපේක්ෂා කරන්නේ පලතුරු වර්ග තුනකිනි. ඒ කෙසෙල්, අඹ හා අන්නාසි යන වර්ග තුනයි. ඒ වර්ග තුනෙන් පමණක් දැනට ලබන අපනයන ආදායම වසරකට ඇමෙරිකන් ඩොලර් මිලියන 18 කි. එය ඩොලර් මිලියන 95 දක්වා වැඩිකිරීම අපේ ඉලක්කයයි.

ඒ ඉලක්කවලට යාමට පළමුව රජය පැත්තෙන් අවශ්‍ය වන්නේ වාණිජමය මට්ටමෙන් වගා කිරීමට අවශ්‍ය පසුබිම හා පහසුකම් සැලසීමය. දැනට ලංකාවේ වැඩියෙන් තිබෙන්නේ ගෙවතු වගාය. අක්කරය දෙක තුන යනාදී වශයෙන් පුංචි පුංචි වගා රටපුරා විසිරී තිබේ. එහෙත් විශාල අපනයන ඉලක්කයක් තිබෙනවා නම් අප ඒ වගා මහා පරිමාණ යායවල කළ යුතුය. එය කළ හැකි ක්‍රම කීපයකි.

වියට්නාමය, තායිලන්තය වැනි රටවල සේ අක්කර ගණන් විශාල ඉඩම්වල වගාකිරීම ඉන් එක ක්‍රමයකි. දැනට අපේ රටේ අක්කර දහය පහළොව සිට පනහ දක්වා ඉඩම්වල අඹ වගා කර තිබේ. එසේම තරමක් විශාල ගොවිපොළක් පදනම් කරගෙන තව තවත් පුංචි පුංචි ගොවිපොළ පවත්වාගෙන යාම තවත් ක්‍රමයකි. ලංකාවේ පවතින ඉඩම් ප්‍රශ්නය නිසා අපට ගැළපෙන්නේ එවැනි ක්‍රමයකි.

එසේම වගා කිරීමට සුදුසු ඉඩම් පවතින්නේ කොච්චර ද කෙසේ ද කොපමණ ද යනාදී තොරතුරු ඇතුළත් ඉඩම් බැංකුවක් ද අවශ්‍යයය. අලි මිනිස් ගැටුම් වැනි නොයෙක් ප්‍රශ්න ඇතිවී තිබෙන්නේ කිසිම සැලසුමක් නැතිව කරන වගා නිසාය. ඒ නිසා නිසි සැලසුමක් සහිතව ඉඩම් වෙන්කළ හැකි නම් අපනයනය මූලික කරගත් ගමනක් යා හැකිය.

කැවෙන්ඩිස් කෙසෙල් අපනයනය කරන සමාගමට ඉඩම් තිබේ නම් දැනට වඩා දෙගුණයක් තෙගුණයක් අපනයනය කළ හැකිය. තවත් හෙක්ටයාර් 1000 ක් තමන්ට ලැබෙන්නේ නම් ඔවුන් දැනට කරන අපනයන දෙගුණයක් කළ හැකි බව ඔවුහු කියති. ඒ තොරතුරෙන් අනාවරණ වන්නේ අපේ ඉලක්ක සපුරා ගැනීමට ඉඩම් අත්‍යවශ්‍ය බවය. එසේම එය දැනට බරපතළ ප්‍රශ්නයක්ව පවතින බවය. කැවෙන්ඩිස් කෙසෙල් පිටරට වර්ගයකි. සීනි, ඇඹුල් හා රත් වැනි දේශීය කෙසෙල් වර්ගවලට ද විදෙස් රටවල විශාල ඉල්ලුමක් පවතී.

රත් කෙසෙල්වලට චීනයෙන් තිබෙන ඉල්ලුම ඉතා විශාලය. සීනි හා ඇඹුල් කෙසෙල් විජලනය කර රට යැවිය හැකිය.

යුරෝපයෙන්, ඇමෙරිකාවෙන් හා ජපානයෙන් විජලනය කළ පලතුරුවලට ඉහළ ඉල්ලුමක් පවතී.

ලංකාවෙන් බහුල වශයෙන් රට යැවිය හැක්කේ ටී.ජේ.සී. අඹය.  සරලව කිවහොත් ඒ කහපාට ලොකු අඹ වර්ගයයි. මැදපෙරදිග, මාලදිවයින, යුරෝපය වැනි රටවල්වලින් ඒ අඹ වර්ගයට ඉහළ ඉල්ලුමක් පවතී. ඒ අඹවල මිල ඉතා ඉහළය. ඒ නිසා ඒ මිල ගණන් යටතේ විදෙස් වෙළෙඳපොළක් සකසා ගැනීම අපහසුය. ඒ නිසා ඒ අඹ වාණිජමය වශයෙන් වවන අය එකතු කරගත යුතුය. අඹ අපනයනයට තිබෙන විශාල ප්‍රශ්නයක් වන්නේ පලතුරු මැස්සාය. අඹ ගෙඩිවලට පලතුරු මැස්සාගෙන් වන හානි ඉතා විශාලය. ඔවුන්ගෙන් හානිවන පලතුරු රට යැවිය නොහැකිය. ඒවා රට යැවීමට ශාක නිරෝධායන සේවයෙන් ඉඩක් නොලැබෙයි.

ඒ නිසා ඒ ප්‍රශ්නයට විසඳුමක් ලෙස අපි අලුත් තාක්ෂණයක් භාවිතා කරමු. අප එය හඳුන්වන්නේ ‘වේපර් හීට් ට්‍රීට්මන්ට්’ නමිනි. එමගින් කරන්නේ දැඩි උෂ්ණත්වයකින් යුතු වාෂ්පවලින් පලතුරු මැස්සාගේ බිත්තර විනාශ කර දැමීමය. ඒ ක්‍රමය දැන් අපට ශාඛ නිරෝධායන සේවයෙන් ලැබෙයි. එලෙස සැකසූ අඹ ජෝර්දානයට යැවීමට අවස්ථාවක් සැලසී තිබේ.

එපමණක් නොව චීනය, ජපානය, කොරියාව වැනි රටවල වෙළෙඳපොළද ඒ අඹවලට විවර කරගත හැකිය. ඒ අනුව ටී.ජේ.සී. අඹවලට එතෙර රටවලින් ඉහළ ඉල්ලුමක් ලැබෙයි. ටී.ජේ.සී. අඹවල ඇටේ පුංචිය. එසේම ඒ අඹවල කෙඳි අඩුය. මස වැඩිය. අපනයන වෙළෙඳපොළට ගැළපෙන්නේ එවැනි ගුණාංග තිබෙන අඹය. ඒ ගුණාංග කරත්තකොලොම්බන් වැනි දේශීය අඹ වර්ගවල නොපවතී. ඒ නිසා අපේ පාරම්පරික අඹ වර්ග රට යැවිය නොහැකිය. ටී.ජේ.සී. අඹ අපනයනයට සුදුසු උෂ්ණත්වයක් යටතේ දින 14 ක් පමණ තබාගත හැකිය. එබැවින් ඒ අඹ මුහුදු මාර්ගයෙන් වුවද මැදපෙරදිග රටවලට යැවිය හැකිය.

රට යැවීම සඳහා අන්නාසි විජලනය කර සකස් කරන අයට දැන් අන්නාසි සොයා ගැනීම දුෂ්කරය. ඊට හේතුව රසායනික පොහොර ප්‍රශ්නයයි. එසේම දැන් අන්නාසි මිල ද ඉහළය.

සෑහෙන පිරිසක් දැන් අන්නාසි වගාව ද අතහැර දමා ඇත. ඊට හේතුව ද යූරියා පොහොර නැතිකමය. අපේ අන්නාසිවල තිබෙන වෙනස් රසය නිසා අපට අපනයන වෙළෙඳපොළේ ඉහළ තැනක් හිමිකරගත හැකිය.

තවත් රටවල් කීපයක තිබෙන්නේ වෙනස් අන්නාසි වර්ගයකි. එය එම්.ඩී. දෙක නමින් හඳුන්වයි. ඒ අන්නාසි වර්ගයේ හැඩය වෙනස්ය. ලංකාවේ අන්නාසිවල තිබෙන්නේ කේතු (Comical) ආකාරයකි. අපේ අන්නාසි ගෙඩියේ උඩ, මැද හා යට මහත සමාන නැත. එහෙත් එම්.ඩී. දෙක නමින් හඳුන්වන වර්ගයේ උඩ මැද යට මහත සමානය. ඒ අන්නාසි වර්ගය පහසුවෙන් කැපිය හැකිය. කපද්දි කැපෙන්නේ කෙළින් ඉරකිනි. අපේ අන්නාසි ගෙඩි කෙළින් ඉරකින් කැපුවොත් නාස්තිය විශාලය.

ඒ නිසා එම්.ඩී. දෙක නමින් හඳුන්වන අන්නාසි වර්ගය අපනයනය සඳහා සකස් කිරීමේ කටයුතුවලට බෙහෙවින් යහපත්ය. එම්.ඩී. දෙක අන්නාසි වර්ගය තිබෙන්නේ තායිලන්තය, වියට්නාමය, ඉන්දුනීසියාව වැනි රටවලය. දැන් ලෝකයේ ප්‍රචලිතව තිබෙන්නේ ඒ අන්නාසි වර්ගයයි.

වසර 2000 පමණ වනතුරු ලෝකයේ බහුතරය කැමැති වුණේ ලංකාවේ අන්නාසිවලටය. එම්.ඩී. දෙක අන්නාසි වර්ගය නිර්මාණය කළේ අපේ අන්නාසිවලට වෙනත් අන්නාසි වර්ගයක් මිශ්‍ර කිරීමෙනි. රසින් ඉහළ ලංකාවේ අන්නාසිය. එහෙත් අපනයනය සඳහා සකස් කිරීමට පහසු හැඩය තිබෙන්නේ එම්.ඩී. දෙක අන්නාසිවලය.

ඒ නිසා ලෝක බැංකුවේ ආධාර මත ක්‍රියාත්මක වන ‘කෘෂිකර්ම ක්ෂේත්‍රය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය’ යටතේ එම්.ඩී. දෙක නමැති අන්නාසි වර්ගය ලංකාවට හඳුන්වා දීමට නියමිතය. ඒ සඳහා අපේ සංගමය ද මැදිහත් වෙයි. ඒ අන්නාසි වර්ගය සාර්ථකව වගා කළ හැකි වුණොත් අපනයනයට ඉතා වාසිදායකය. ඉන්දුනීසියාව, වියට්නාමය වැනි රටවල සිට යුරෝපයට තිබෙන දුර වැඩිය. එහෙත් ලංකාවේ සිට යුරෝපයටත්, මැදපෙරදිගටත්, එංගලන්තයටත් එතරම් දුරක් නැත. අපේ රටේ සිට ඒ රටවලට තිබෙන දුර අඩුකමේ වාසිය ද අපට ලබාගත හැකිය. ලංකාවට අලුත් වර්ග හඳුන්වා දීමට අපේ සංගමය උත්සාහ කරන්නේ එබැවිනි.

අපේ රටේ දැනට තිබෙන අන්නාසි වර්ගය යැවිය හැක්කේ ගුවනින් පමණකි. මාලදිවයින හැරුණු විට​ අනෙක් බොහෝ රටවලට යවන්නේ ගුවනිනි. එහෙත් කාර්මික තාක්ෂණික ආයතනය (I.T.I.) සමඟ එකතු වී දැනට අප සතු අන්නාසි වර්ගය මුහුදු මාර්ගයෙන් යැවීමට සුදුසු ක්‍රමවේදයකට සැකසීමට අපි කටයුතු කරගෙන යමින් සිටිමු. දැන් ගුවනින් ප්‍රවාහනය කිරීමේ ගාස්තු වැඩි නිසා අප උත්සාහ කරන්නේ මුහුදු මාර්ගයෙන් භාණ්ඩ යැවීමටය. එසේ නොකළහොත් අපට ඉන්දියාව, ඉන්දුනීසියාව හා වියට්නාමය වැනි රටවල් සමඟ තරග කිරීම අපහසුය. ඒ රටවල වාණිජමය වශයෙන් වගා කරන නිසා නිෂ්පාදන වියදම අපට වඩා පහළය. ඒ නිසා අපනයන වෙළෙඳපොළ තව තවත් ජයගැනීම සඳහා අප අපේ රටේ නිෂ්පාදන වියදම ද අඩු කරගත යුතුය.

රසායනික කෘෂිකර්මාන්තය නවතා කාබනික කෘෂි කර්මාන්තයට එක රැයකින් යාම නිසා ඇතිවූ ප්‍රශ්න ද ඉතා බරපතළය. අපේ අපනයනකරුවෝ ඒ වන විට ඉතා විශාල කාබනික නිෂ්පාදන අපනයන වෙළෙඳපොළක් සකසාගෙන නොසිටියහ. මැදපෙරදිග උදාහරණයකට ගත්තොත් ඒ රටවල තවමත් කාබනික ආහාර සඳහා වෙළෙඳපොළක් සැකසී නැත. යුරෝපයේ, ඇමෙරිකාවේ හා ජපානයේ කාබනික ආහාර සඳහා විශාල ඉල්ලුමක් පවතී.

එක රැයින් කාබනික කෘෂිකර්මාන්තයට යාම නිසා එවැනි වෙළෙඳපොළක් සොයාගැනීම අපහසු විය. අපේ නිෂ්පාදිත මුහුදු මාර්ගයෙන් යවා ගැනීමටවත් අප සූදානම්ව නොසිටි පසුබිමක කාබනික නිෂ්පාදන සඳහා සූදානම්ව සිටියේම නැත. අනෙක කාබනික ගොවිතැනට යාමට ඉතා හොඳ බීජ වර්ග අවශ්‍යයය.

දැනට අප සතුව තිබෙන්නේ රසායනික ගොවිතැනට සැකසූ බීජ වර්ගය. ඒවා කාබනිකව වගා කළ විට ලැබෙන ඵලදාව අඩුය. එසේම අපනයනයට ගැළපෙන ගුණාත්මක තත්ත්වය ද නොලැබෙයි. කාබනික ගොවිතැන නිසා අපේ ආයතනයට ලැබුණු ඇණවුම් සියයට පනහකින් පමණ අඩු වී තිබේ. දැන් අපට රට යැවීමට තරම් භාණ්ඩ නොලැබෙයි. අනෙක මිලද වැඩිය.

අපි සියලු එළවළු රට යවමු. එහෙත් දැන් සතියකට පමණ පෙර අප අපේ එක් විදේශ ඇනවුමක් නවතා දැමුවේ දේශීය වෙළෙඳපොළේ එළවළු  මිල ඉතා ඉහළ නිසාය. එවිට අපේ එතෙර ගැනුම්කරුවා සඳහන් කළේ ‘කමක් නෑ අපි ඉන්දියාවෙන් ගන්නම්’ කියාය. ඉතින් එතෙක් කාලයක් ලංකාව සතුව තිබුණු ඒ ඇණවුම් ඉන්දියාවට ගියේ එලෙසිනි. එය එසේ වූයේ එක රැයින් කාබනික ගොවිතැනට යාම නිසාය.

ඩොලර් නැතිකම තවත් ප්‍රශ්නයකි. අපේ බොහෝ අපනයනකරුවෝ තමන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කරවා ගනිති.

උදාහරණයකට අඹවලට අවශ්‍ය හෝර්මෝන ආනයනය කරවා ගත යුතුය. එහෙත් රටේ ඩොලර් නැති නිසා ඔවුන්ට දැන් ඒ ආනයන කරවා ගැනීම අසීරුය. ඊට අමතරව දැනට අප ඇසුරුම් සඳහා භාවිතා කරන කාඩ්බෝඩ් පෙට්ටි නිෂ්පාදනය කරන අයට ඒ පෙට්ටි නිෂ්පාදනයට අවශ්‍ය කොළ ඇතුළු අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමට නොහැකිව තිබෙන්නේ ද ඩොලර් ප්‍රශ්නය නිසාය. දැන් ලංකාවට නැව් එනවා අඩු නිසා මුහුදු මාර්ගයෙන් භාණ්ඩ ප්‍රවාහනයට ද ප්‍රශ්න ඇති වී තිබේ. මුහුදු මාර්ගයෙන් ප්‍රවාහන ගාස්තු ද ඉතා ඉහළ ගොසිනි. භාණ්ඩ ප්‍රවාහනය කරන සමාගම් අපෙන් ප්‍රවාහන ගාස්තු ඉල්ලන්නේ ද ඩොලර්වලිනි. එහෙත් ඔවුන්ට ඩොලර්වලින් ගෙවන්නට අප සතුව ඩොලර් නැත.

එසේම අපේ ඇතැම් අපනයනකරුවෝ ඩොලර්වලින් ණය ගෙන සිටිති. ආදායමෙන් සියයට 25 ක් රුපියල්වලට පරිවර්තනය කළ යුතු බවට මහ බැංකුවෙන් නීතියක් ද පනවා තිබිණි. ඊට අමතරව දැන් ඉන්වොයිස්වලටත් ඩොලර්වලින් ගෙවන්නට නියම කර තිබේ. භාණ්ඩ ප්‍රවාහනයට කන්ටේනර් සපයන සමාගම් දැන් අපට ඉන්වොයිස් කරන්නේ ඩොලර්වලිනි. ඩොලර් නැතිකම නිසා ඒ හැම පැත්තකින්ම දැන් අපි හිරවී සිටිමු.

එක රැයින් කාබනික කෘෂිකර්මාන්තයට ගිය අවස්ථාවේදී අපට හමුවූ රජයේ නිලධාරීන් කියා සිටියේ රටට තියෙන ප්‍රශ්නය අපනයනය නොව රටේ ජනතාවට කෑම දීම බවය. එහෙත් දැන් ඩොලර් නැති නිසා අපනයනයේ වැදගත්කම මතක් වී තිබේ. එහෙත් දැන් අපනයනය කරන්නට භාණ්ඩ නැත. තිබෙන භාණ්ඩවලටත් මිල වැඩිය. ඒ අයුරින් අපේ කර්මාන්තයට අද ඇතිවී තිබෙන්නේ අවුරුදු දෙක තුනකින් විසඳාගත හැකි ප්‍රශ්න නොවේ. මේ ප්‍රශ්න දිගුකාලීනය.

රජය යම් තීරණයක් ගත යුත්තේ එහි ආදීනව ගැන මනා විශ්ලේෂණයකින් අනතුරුවය. කෘෂිකර්මාන්තය පදනම් කරගත් අපනයන වෙළෙඳාම ඉතා දිගුකාලීන ආයෝජනයකි.

අපේ අපනයනකරුවන් කර තිබෙන ආයෝජන ඉතා විශාලය. ඒවායේ ප්‍රතිඵල ලැබෙන්නේ දිගු කාලයකට පසුවය. ඇතැම් අපනයනකරුවන් තාක්ෂණය ගෙනැවිත් තිබෙන්නේ ඊශ්‍රායලයෙනි.

ඒ සියල්ල කළ පසු එක රැයින් කාබනික ගොවිතැනට රට තල්ලු කළ විට ඇතිවන ප්‍රශ්න ඉතා බරපතළය. එසේම පීඩාකාරීය.

අපේ ඇතැමුන් සමග විදෙස් ආයෝජකයෝද එක්ව සිටියහ. ලංකාවේ හදිසි තීරණ නිසා ඒ විදේශීය ආයෝජකයෝ ද අපහසුතාවයට පත්වූහ. මා මේ කියන්නේ එක රැයින් ප්‍රතිපත්ති වෙනස් කිරීමේ ප්‍රතිඵල ඉතා භයානක බවය.
කාබනික කෘෂිකර්මාන්තය නරක නැත. එතැනට ගියොත් විශේෂයෙන් යුරෝපයෙන් අපට ලැබෙන ඉල්ලුම අදහාගත නොහැකිය. එහෙත් එක රැයකින් කාබනික කෘෂිකර්මාන්තයට යා නොහැකිය. ඒ සඳහා තිබිය යුත්තේ අවුරුදු දහයක පමණ දිගුකාලීන සැලැස්මකි. පෞද්ගලික අංශයේ අප නිතරම දුවන්නේ ඉලක්කයක් හිස මුදුනේ තබාගෙනය.

ඒ නිසා දැන් සංගමයක් ලෙස අප කල්පනා කරන්නේත් කටයුතු කරන්නේත් අපේ අරමුණු හා ඉලක්ක වෙත ළඟාවීම සඳහා අපම කටයුතු කිරීමේ වැදගත්කම වටහා ගනිමිනි. තේරුම් ගනිමිනි. රාජ්‍ය ප්‍රතිපත්ති කොයි මොහොතක වෙනස් වේදැයි අපට ඇත්තේ සැකයකි. රජය පවතින තත්ත්වය මැනවින් අවබෝධ කරගෙන නිසි තීරණ නොගත්තොත් රට ඇතුළේ ආහාර අර්බුදයක් ඇතිවිය හැකි බව විශ්ලේෂකයන්ගේ මතයයි. නිගමනයයි, තක්සේරුවයි. ඩොලර් ප්‍රශ්නය නොවිසඳුවොත් ඇතිවිය හැකි ප්‍රශ්න ඉතා බරපතළය. එසේම භයානකය.

අනෙක් කාරණය අප රජයෙන් ඉල්ලා සිටින්නේ අපේ අදහස් නොවිමසා තීරණ නොගන්නා ලෙසය. අප සංවිධානය රටට ඩොලර් උපයා දෙන්නේය.

රටේ කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කරන්නෝය. විවිධාංගීකරණය කරන්නෝය. අප සිතන්නේ රට ගැනය. රටක් ලෙස නැගීසිටින්නේ කෙසේද කියාය. එහෙයින් එවැනි පිරිසක් නොසලකා නොහැරීම රජයේ යුතුකමක් ලෙසම වගකීමක් ලෙස ද අපි දකිමු.

සාකච්ඡා සටහන ගුණසිංහ හේරත් විසින් දිනපතා ලංකාදීප පුවත්පතට සම්පාදිත ලිපියකි. ශීර්ෂ පාඨය පමණක් සංශෝධනය කර ඇත. – ප්‍රධාන සංස්කාරක

Related Posts