පූර්ණ එන්නත්කරණය සිදුකරන තුරු රට ආරක්‍ෂිත නෑ – මහාචාර්ය නීලිකා මලවිගේගෙන් අනතුරු ඇඟවීමක්

Spread the love

ශ්‍රී ලංකාවේ මේ වන විට දිනකට රෝගීන් 100කට ආසන්න සංඛ්‍යාවක් කොරෝනා රෝගය නිසා මරුමුවට පත්වන අතර ආසාදිතයන් සඛ්‍යාව 3000කට ආසන්න මට්ටමකට පත්වීමත් සමඟ වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ සංචරණ සීමා නොපැනවුවහොත් පවතින තත්ත්වය මෙයට වඩා භයානක විය හැකි බවයි.

ගුරුවරුන්ට හා අදාල පුද්ගලයින්ට එන්නත්කරනය අවසන්කර අගෝස්තු මස අග හෝ සැප්තැම්බර් මස මුල සතියේ සිට ක්‍රම ක්‍රමයෙන් පාසල් විවෘත කිරීමට බලාපොරොත්තු වූවත් මේ වන විට රටේ පැනනැගී ඇති තත්ත්වය හමුවේ පාසල් නැවත ආරම්භ කිරීම අවිනිශ්චිත බව මේ අතර අධ්‍යාපන අමාත්‍ය ජී එල් පීරිස් පැවසීය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යාව හා අණුක වෛද්‍ය විද්‍යාව අංශ ප්‍රධානී සහ ඩෙංගු පර්යේෂණ අංශයේ අධ්‍යක්‍ෂ ක්‍ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය නීලිකා මලවිගේ බීබීසී සිංහල සේවය සමඟ පැවසුවේ කොරෝනා ආසාදනය වන පුද්ගලයින්ගෙන් 90% කටත් වඩා ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් සිදුවෙමින් තිබියදීත්, යුරෝපයේ සහ ඇමරිකා එක්සත් ජනපදය වැනි බොහෝ රටවල් සම්පූර්ණයෙන්ම විවෘතව ඇති අතර ආසාදිතයින් සංඛ්‍යාවල සීඝ්‍ර වර්ධනයක් ඔවුන් දකින නමුත්, සාර්ථක එන්නත ලබා දීම නිසා, එම රටවල මරණ පෙර රැලි වලට වඩා සැලකිය යුතු ලෙස අඩු මට්ටමක පවතින බවයි.

ඇය වැඩිදුරටත් සඳහන් කලේ ශ්‍රී ලංකාවේ තත්ත්වය එවැනි රටවලට තවමත් සම කළ නොහැකි බවයි.

කෙසේ වෙතත්, එතරම් විශාල ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම එන්නත් කර නොමැති රටවල ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් නියත විනාශයක් සිදු කරනු ඇති බවට ඇය පැවසීය.

Covid deaths
“අපි දැන්වත් හරි දේ නොකර, වසංගතය පාලනය කරන්න යන්නේ මේ විදිහටම නම් දෛනික මරණ සංඛ්‍යාව 200, 300 දක්වා ඉහළ යන්න පුළුවන්”

“ශ්‍රී ලංකාවේ එන්නත් කිරීමේ ව්‍යාපාරය ඇදහිය නොහැකි වේගයකින් සිදු වුවද, සම්පුර්ණයෙන්ම එන්නත් කරන ලද අනුපාතය රට සම්පූර්ණයෙන් ලිහිල් කිරීමට (සංචරණ සීමා ඉවත් කිරීමට) අපට ප්‍රමාණවත් නොවේ,” යනුවෙන් මහාචාර්ය නීලිකා මලවිගේ පැවසීය.

“එම නිසා අපේ ජනගහනයෙන් විශාල ප්‍රමාණයක් සම්පූර්ණයෙන් එන්නත් කරන තුරු යම් යම් සීමා කිරීම් ක්‍රියාත්මක කළ යුතුයි. නිසි කලට පෙර ලිහිල් කිරීම ඉතා ඉහළ මරණ අනුපාතයකට තුඩු දෙනු ඇත.”

ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය

ඇය වැඩිදුරටත් පැවසුවේ විශේෂයෙන්ම බස්නාහිර පළාතේ ඩෙල්ටා ප්‍රභේදය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් ශ්‍රී ලංකාව මේ වන විට බරපතල තත්වයකට මුහුණ දී සිටින බවයි.

ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් කොවිඩ් -19 වසංගතයට ගොදුරු වෙමින් සිටින බොහෝ රටවල් විසින් වර්තමානයේ අත්විඳ ඇති තත්ත්වයට මේ වන විට ශ්‍රී ලංකාවද මුහුණ දෙමින් සිටින බවට ඇය පැවසීය.

2020/03/30: Health workers wearing a face mask in Atulugama, after the town, was sealed off by health authorities following fears that it could be a cluster for COVID-19 infection after two positive cases. Sri Lanka is currently under an indefinite curfew to prevent the spread of a virus which has already infected 122 people. (

“පෙර පැවති ප්‍රභේදයන්ට වඩා දළ වශයෙන් 50% ක් වැඩි සම්ප්‍රේෂණයක් ඩෙල්ටා ප්‍රභේදයට සිදු කළ හැකි අතර එයින් අදහස් වෙන්නේ ආසාදනය වේගයෙන් ව්‍යාප්ත වී විශාල පිරිසකට ආසාදනය වන බවයි.”

“ඩෙල්ටා ප්‍රභේදය සමග වුවද, බහුතර පුද්ගලයින්ට මෘදු හෝ රෝග ලක්‍ෂණ නොවන ආසාදනයක් තිබුණද, විශාල සංඛ්‍යාවක් ආසාදනය වීම හේතුවෙන්, ඕනෑම අවස්ථාවක දරුණු රෝගාබාධයන්ට ගොදුරු වන පුද්ගලයින්ගේ සංඛ්‍යාව තරමක් විශාල ප්‍රමාණයක් දැක ගත හැකි වෙයි. එම නිසා සෞඛ්‍ය සේවයේ ඇති අතිමහත් සම්පත් මේ සඳහා භාවිතාකිරීමට හේතු වේ,” යනුවෙන් මහාචාර්ය නීලිකා මලවිගේ පැවසීය.

ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් මේ වන විටත් එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය වැනි බොහෝ රටවල ද රෝගීන් සංඛ්‍යාව විශාල ලෙස ඉහළ යමින් පවතින බවත් ඇය පැවසීය.

කෙසේ වෙතත්, ඉහළ එන්නත් ආවරණය හේතුවෙන් (මුළු ජනගහනයෙන් 60% කට වැඩි ප්‍රමාණයක් පූර්ණ එන්නත ලබාගෙන ඇත), ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් සිදුවන මරණ අනුපාතය පෙර පැවති රැලි වලට වඩා බෙහෙවින් අඩු මට්ටමක එම රටවල පවතින බවට ඇය පැවසීය.

ඇය තවදුරටත් පැවසුවේ ඉන්දුනීසියාව (සම්පූර්ණයෙන් එන්නත් කර ඇත්තේ 8.1% ක් පමණි), තායිලන්තය (6% සම්පුර්ණයෙන්ම එන්නත් කර ඇත) වැනි දුර්වල එන්නත් ආවරණයක් ඇති රටවල් ඉතා ඉහළ මරණ සංඛ්‍යාවක් අත්විඳිමින් සිටිනා බවයි.

ශ්‍රී ලංකාවේ තත්ත්වය

“ශ්‍රී ලාංකිකයින් සඳහා එන්නත් කිරීමේ ව්‍යාපාරය ඉතා විශිෂ්ඨයි,” යනුවෙන් පැවසූ මහාචාර්ය නීලිකා මලවිගේ සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ඉතා කෙටි කාලයක් තුළ ජනගහනයෙන් 50% කට එක් මාත්‍රාවක් ලැබී ඇති අතර 13% ක් පමණක් සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති බවයි.

“කෙසේ වෙතත්, ඩෙල්ටා වැනි ප්‍රභේද සඳහා, එක් මාත්‍රාවකට පමණක් ලබාගත් රෝගීන්ගේ රෝග ලක්ෂණ සහිතව ආසාදනය වීම හා රෝහල් ගත වීම සඳහා ඇති අඩු කාර්යක්ෂමතාව නිසා රෝගීන් අවදානමට ලක්විය හැකි අතර ඒ අය ආරක්ෂා කිරීම සඳහා ජනගහනයෙන් විශාල ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම එන්නත් කළ යුතුයි.”

“සාමාන්‍යයෙන් පුද්ගලයින්ට ආරක්‍ෂාව වර්ධනය වන්නේ දෙවන මාත්‍රාවෙන් සති 2 කට පසුවයි.”

“COVID-19 එන්නත මාත්‍රාවන් දෙකම ගැනීමෙන් පසු එන්නත් ලබා ගත් පුද්ගලයින්ට ආසාදනය විය හැකි නමුත්, එසේ වැළඳෙන රෝගය සාමාන්‍යයෙන් රෝග ලක්‍ෂණ රහිත හෝ ඉතා මෘදු නැත්නම් සංකුලතා අවම වෙයි,” යනුවෙන් ඇය පැවසීය.

“ඒ නිසා එන්නත්කරණය වැදගත්. ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව උනත් එන්නත් ක්‍රියාත්මක වෙනවා. ඒ හරහා දරුණු සංකුලතා ඇතිවීම හා මරණය වළක්වන්න පුලුවන්.”

“ඒ නිසා, විශේෂයෙන් වයස්ගත වූවන්ට සහ නිදන්ගත රෝගීන් (දියවැඩියාව, හෘද රෝග, වකුගඩු රෝග) ඇති අයට එන්නත ලබා දීම වැදගත්.”

“යම් හේතුවක් නිසා, වැරදි විශ්වාසයන් නිසා, එන්නත ලබා ගැනීමට අවස්ථාව තිබියදීත්, එන්නත ලබා නොගන්නා එවැනි අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් තවමත් ඉන්නවා.”

කෙසේ වෙතත්, එවැනි අවදානම් සහිත පුද්ගලයින්ගෙන් විශාල ප්‍රමාණයකට පූර්ණ එන්නත ලබා දීමට ශ්‍රී ලංකාව සමත් වන තුරු, විශාල රැස්වීම් සීමා කිරීම, මුහුණු පැළඳීම සහ අත් සේදීම වැනි සනීපාරක්ෂාව තහවුරු කිරීම තුළින් හැකි තරම් සම්ප්‍රේෂණය අවම කිරීමට පියවර ගැනීම වැදගත් බවත් ඇය පෙන්වා දෙන්නීය.

මෘත ශරීරාගාර

එන්නත් වල සාර්ථකත්වය

එන්නත් වල සාර්ථකතාව (Vaccine efficacy) පිළිබඳව පැහැදිලිකරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ ප්‍රතිශක්ති විද්‍යාව හා අණුක වෛද්‍ය විද්‍යා අංශ ප්‍රධානී හා එම විශ්ව විද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රතිශක්ති විද්‍යාව සහ අණුක වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය නීලිකා මාලවිගේ පැවසුවේ දැනට ශ්‍රී ලංකාවේ භාවිතා කරන එන්නත් වලින් ඩෙල්ටා ප්‍රභේදයට එරෙහි එන්නත් වල සාර්ථක භාවය පිළිබඳ සායනික අත්හදා බැලීම් හෝ නිරීක්ෂණ අත්හදා බැලීම් සිදු කර ඇත්තේ ඇස්ට්‍රා සේනිකා කොවිෂිල්ඩ් (AZ/Covishield), ෆයිසර් (Prizer) සහ මොඩර්නා (Moderna) යන එන්නත් සඳහා පමණක් බවයි.

“මෙම එන්නත් මාත්‍රා දෙකක් ලබාදීමෙන් පසුව රෝහල් ගත වීම වැළැක්වීමේදී 90% කට වඩා සාර්ථක බව පෙන්නුම් කර තිබෙනවා. කෙසේ වෙතත්, රෝග ලක්‍ෂණ ඇති රෝගය වැළැක්වීමේ කාර්යක්ෂමතාව මූලික SARS-CoV-2 ප්‍රභේදවලට වඩා අඩු යි,” යනුවෙන් ඇය පැවසීය.

එන්නත් කිරීම

සයිනොෆාම් එන්නත

ඇය තවදුරටත් පැවසුවේ වෙනත් එන්නත්වල ඩෙල්ටා ප්‍රභේදයට එරෙහි කාර්යක්ෂමතා දත්ත නොමැති බවයි.

“සයිනොෆාම් එන්නතට සහ ඩෙල්ටා ප්‍රභේදයට ප්‍රතිදේහ ප්‍රතිචාර අපි බැලුවා, එයින් පෙන්නුම් කළේ සයිනෝෆාම් සමඟ පූර්ණ ප්‍රතිශක්තිකරණය (සම්පුර්ණ එන්නත්කරණය) ලැබූවන්ට ප්‍රතිදේහ මට්ටම අඩු වැඩි වශයෙන් ස්වාභාවික ආසාදනයෙන් පසුව දක්නට ලැබෙන මට්ටමට සමාන බවයි (සුළු අඩු වීමක් පමණක් පෙන්නුම් කළත් එය සැලකිය යුතු නොවේ).”

“මෙයින් අදහස් කරන්නේ ස්වාභාවික ආසාදනයක් ඇති වූවන්ට මෙන් සයිනොෆාම් එන්නත ගත් අයට ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව සමාන ආරක්ෂාවක් ඇති බවයි.”

“කෙසේ වෙතත්, ප්‍රතිදේහ තිබීම එන්නත වල සාර්ථකතාවයට සම්බන්ධ කිරීම වැරදි යි. එන්නත් වල සාර්ථක භාවය සෙවීම සඳහා සායනික පරීක්‍ෂණ අවශ්‍ය වේ,” යනුවෙන් මහාචාර්ය මාලවිගේ පැවසීය.

Text by – bbc sandesaya

Related Posts