ලුසී ගේ පියයුරේ ගැටිත්තක් තිබෙන බව දැනගත් මොහොතේ පිළිකාවක් පිළිබඳව අල්ප මාත්‍රයක සිතුවිල්ලක්වත් ඇයට පහළ නොවුණි. ගැටිත්තක සේයාවක් හෝ වේදැයි නිතිපතා පරීක්ෂා කිරීම ඇයගේ සිරිත නොවේ. මෙය අහම්බෙන් දැනගත් දෙයකි.
“මම හිතාගෙන හිටියේ පියයුරු පරීක්ෂා කිරීම පටන් ගන්න ඕන වයස අවුරුදු 50 විතර වෙනකොට කියල.” ලුසී බීබීසීයට පැවසුවාය.
කෙසේ නමුත් ඇය වෛද්‍ය පරීක්ෂණයකට ලක් වුවාය. ප්‍රතිඵලය සතුට දනවන්නක් නොවීය. 26 හැවිරිදි ලුසීගේ පියයුරේ පිළිකාවක් වර්ධනය වී ඇති බව වෛද්‍ය පරීක්ෂණයෙන් සනාථ විය. පියයුරක ගැටිත්තක් නිරීක්ෂණය වූ සැනින් එය පරීක්ෂා කරවා ගැනීමට යොමු වීම ඉතා වැදගත් ය. ලුසීට එදින නිවාඩු දිනයක් වූ බැවින් සිය වෛද්‍යවරයා හමුවීමට අප්‍රමාදව තීරණය කළාය.
“හොඳ වෙලාවට මට එදා නිවාඩු දිනයක් වුණේ; මම හැමදාම ඒ ගැන හිතනවා. ප්‍රමාද වුනානම් මගේ කතාන්තරය මීට වඩා වෙනස් වෙන්න තිබුනා.”
වෛද්‍යවරයා විසින් පිළිකා පිළිබඳ විශේෂඥයන් වෙත ලුසී යොමුකරන ලද මොහොතේ හෝ තමන්ට පිළිකාවක් වේයැයි ඇය නොසිතුවාය.
ලුසී විශේෂඥ පරීක්ෂාවට ලක්වෙද්දී ඇයට අමුත්තක් දැනුණි.
“වෛද්‍යවරයා නිහඬ වුණා.” ලුසී පැවසුවාය.
තමන්ට පිළිකාවක් වැළඳී ඇතිබව සතියකට පසුව දැනුම් දී තිබේ. එය ඉක්මනින් පැතිරී යන බව ද ඇයට දැනගන්නට ලැබුණි. නොපමාව කීමෝ ප්‍රතිකාරය (chemotherapy), විකිරණ චිකිත්සාව (radiotherapy) සහ සැත්කමක් ද සිදුකළ යුතු බව වෛද්‍යවරු පැවසුහ. ප්‍රතිකාර ආරම්භවීමෙන් අනතුරුව තම ජීවිතය වෙනස් වූ අයුරු ඇය විස්තර කළාය.
“සමහර දවස්වල මට කිසිම දෙයක් කන්න බැරි තත්ත්වයට පත්වුණා. නිදාගන්න බැරිවුණා. මම දවසකට පැය 20ක් විතර අවදියෙන් ඉන්නවා. දිගටම ඇඳේ වැතිරිලා ඔහේ ඉන්නවා. මගේ පෙනුම වෙනස් වුනා. මගේ හම අවලස්සන වුණා. හිසකෙස් හැලුණා. ඒ විතරක් නෙවෙයි, ඇහිබැම සහ ඇහි පිහාටු පවා හැලුණා.” ලුසී පැවසුවාය.
සැත්කමෙන් සහ විකිරණ චිකිත්සාවෙන් පසුව ලුසීට ලැබුණේ සුභ ආරංචියකි – පිළිකා සෛල සියල්ල විනාශ වී ඇති බවය.
ලෙඩ සඟවාගෙන
නමුත්, හෝමෝන ප්‍රතිකාරය තවදුරටත් කරගෙන යා යුතු වේ. එය සිදුවන අතරවාරයේ ඇය සමාජ සත්කාරයක ද නිරත වන්නීය. තුරුණු වියේ සිටින කාන්තාවන්ට ද පියයුරු පිළිකා වර්ධනය විය හැකි බවට සමාජය දැනුවත් කිරීම සඳහා තම අත්දැකීම බෙදාහදා ගැනීමට ඇය කටයුතු කරන්නීය. පියයුරු පිළිකා පිළිබඳව සමාජය දැනුවත් කරමින් සිටින සංවිධානයක් (CoppaFeel!) සමඟ ලුසී එක් වුවාය.
“හිතන්න එපා එය ඔබට හැදෙන එකක් නැහැ කියල. අශුභවාදී වෙන්න කියනවා නොවෙයි. නමුත් දැනුවත්ව සිටිය යුතුයි. සමහරු ලෙඩ ගැන කතා කරන්න කැමති නැහැ. සමහරු ඒවා සඟවාගෙන ඉන්නවා. එහෙම කරන්න අවශ්‍ය නැහැ. අපි ඒවා ගැන විවෘතව කතා කළ යුතුයි.”
තමන්ට මෙවැනි දෙයකට මෙතරම් ඉක්මනින් මුහුණ දෙන්නට සිදුවේයැයි 24 හැවිරිදි ෆ්රාන් ද නොසිතුවාය. ඇයගේ පියයුරක කුඩා ගැටයක් වැනි දෙයක් ඇය නිරීක්ෂණය කළාය. මුලදී වෛද්‍යවරුන් ඇය නැවත හරවා ඇරියේ එය හෝමෝන හේතුකොටගෙන ඇතිවූ කුඩා ගැටිත්තක් බව පවසමිනි. නමුත් මාස 18කට පමණ පසු තවත් රෝග ලක්ෂණයක් මතුවූ හෙයින් එය ඇයගේ කනස්සල්ලට හේතු විය. ඇය තවත් වෛද්‍ය පරීක්ෂණයකට බඳුන්වීමට තීරණය කළාය.
පරීක්ෂණ කීපයකට ම ෆ්රාන් යොමු කරන ලදී. ඇයට පියයුරු පිළිකාවක් පමණක් නොව මොලයේ ද කුඩා ගෙඩියක් වර්ධනය වෙමින් පවතින බව වෛද්‍යවරු සොයා ගත්හ. ෆ්රාන්ගේ ජීවිතය තව දෙවසරකින් නිමා වනු ඇති බව වෛද්‍යවරුන්ගේ නිගමනය විය.
“ඒ වෙනකොට මගේ වයස අවුරුදු 25යි. මම කායික ව්‍යායාම පුහුණු කරවන්නියක්. කායික වශයෙන් මම ඉතාම ශක්තිමත්ව හටියා. ඕනෑම වයසක ඉන්න ඕනෑම නිරෝගී කෙනෙකුට පියයුරු පිළිකාවක් හැදෙන්න පුළුවන් කියල ඔප්පුවෙන හොඳම සාක්ෂිය තමයි මම.” ෆ්රාන් පවසන්නීය.
“අතිශයින් දැඩි වූ කීමෝ ප්‍රතිකාර දින චරියාවකට” මුහුණ දීමට ෆ්රාන් ට සිදු වූවාය. දැන් ඇයගේ පිළිකාව පැතිරීම හා වර්ධනය වීම මැඩපවත්වා ඇත. ඇයගේ කතාව අන්තර්ජාලය ඔස්සේ සමාජගත කරන්නට ෆ්රාන් තීරණය කළේ පියයුරු පිළිකාවට තුරුණු වියේ සිටින කාන්තාවන් ද ගොදුරු විය හැකිය යන පණිවිඩය ලෝකයට ලබා දීමටය.
“පිළිකාවක් වැළඳුනු බව මා දැනගත් දා සිට මම ගතකළ ජීවිතය මම විවෘතව සමාජය සමඟ බෙදා ගත්තා. හැම දෙයක්ම මම සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා කළා. මේක වැඩිමහලු කාන්තාවන්ට හැදෙන දෙයක් කියල මමත් හිතුවේ. වයසට යනතුරු මේ ගැන බය වෙන්න දෙයක් නැහැ කියල තමයි මමත් හිතාගෙන හිටියේ.” ෆ්රාන් පැවසුවාය.
බීබීසී සංදේශය ඇසුරිනි – ඉහළ ඡායාරූපය සහ ශීර්ෂපාඨය සංස්කරණය කර ඇත. ප්‍රධාන සංස්කාරක