‘පැන්ඩෝරා ලියවිලි‘ ගැන ඔබ දැනගත යුතුම කරුණු එකතුව

ලෝක නායකයන්, දේශපාලනඥයින් සහ ප්‍රකෝටිපතියන්ගේ රහස්‍ය ධනය, ගනුදෙනු, මූල්‍ය අපරාධ හා මුදල් විශුද්ධිකරණය සම්බන්ධ මූල්‍ය ලේඛන මිලියන 12 කට ආසන්න ප්‍රමාණයක් හෙළිදරව් වී තිබේ.

‘පැන්ඩෝරා ලියවිලි’ ලෙස නම් කර ඇති, අක්වෙරළ සමාගම්හි ලිපි ගොනුවල වර්තමාන සහ හිටපු නායකයින් තිස්පස් දෙනෙකු සහ රාජ්‍ය නිලධාරීන් 300 කට වැඩි සංඛ්‍යාවක් ඇතුළත් වේ.

මේ අතර, හිටපු නියෝජ්‍ය ඇමැතිනී නිරුපමා රාජපක්ෂ සහ ඇයගේ සැමියා වන ව්‍යාපාරික තිරුකුමාර් නඩේශන්ගේ නම් ද සඳහන් වේ.

මුදල් විශුද්ධිකරණයේ එක් පියවරක් ලෙස ඔවුන්ඇමරිකාව, බ්‍රිතාන්‍යය, සැමෝවා, වර්ජින් දූපත්, සහ නවසීලන්තයේ ආයතන 08 ක් පිහිටුවා ඇති බව පැන්ඩොරා වර්තා අනාවරණය කරයි.

මේ සතියේ ප්‍රකාශයට පත් කළ ලිපිවල අඩංගු කරුණු සොයා ගැනීම සඳහා රටවල් 117 ක මාධ්‍යවේදීන් 600කට වැඩි දෙනෙකු මූලාශ්‍ර 14ක් ඔස්සේ මාස ගණනාවක් පුරා විමර්ශන සිදු කර තිබිණි.

වොෂිංටන් ඩීසී හි ‘ජාත්‍යන්තර විමර්ශන මාධ්‍යවේදීන්ගේ සංසදය’ (ICIJ) විසින් මෙම දත්ත ලබා ගෙන ඇති අතර, ඔවුන් මෙතෙක් සිදු කළ ලොව විශාලතම විමර්ශනය වන මෙය සඳහා මාධ්‍ය සංවිධාන 140 කට වැඩි සංඛ්‍යාවක් සමඟ කටයුතු කර ඇත.

එක්සත් රාජධානියේ පරීක්ෂණ මෙහෙයවූයේ බීබීසී පැනොරාමා කණ්ඩායම සහ ‘ගාඩියන්’ පුවත් සේවය විසිනි.

හෙළිදරව් කර ඇත්තේ කුමක්ද?
පැන්ඩෝරා හෙළිදරව්වට ලිපි මිලියන 6.4ක්, ඡායාරූප මිලියන තුනකට ආසන්න ප්‍රමාණයක්, ඊමේල් මිලියනයකට වැඩි ප්‍රමාණයක් සහ පැතුරුම් පත් (spreadsheets) මිලියන භාගයකට ආසන්න ප්‍රමාණයක් ඇතුළත් වේ.

මෙතෙක් හෙළිදරව් කරන ලද පුවත්වලට ඇතුළත් වන්නේ:

යුරෝපයේ විශාලතම දූෂණ අපචාරයකට සම්බන්ධ වූ, බ්‍රිතාන්‍යයේ පාලක කන්සවේටිව් පක්ෂයේ ප්‍රධාන මූල්‍ය ආධාරකරු
ජෝර්දාන රජු රහසිගත සමාගම් හරහා එක්සත් රාජධානියේ සහ එක්සත් ජනපදයේ දේපල සඳහා පවුම් මිලියන 70 ක් වියදම් කිරීම
පවුම් මිලියන 400කට වැඩි වටිනාකමක් ඇති එක්සත් රාජධානියේ දේපල ගනුදෙනුවකට, අසර්බයිජානයේ ප්‍රමුඛ පෙලේ පවුලක ඇති සැඟවුනු මැදිහත්වීම
ප්‍රංශයේ විශාල නිවාස දෙකක් පවුම් මිලියන 12කට මිලදී ගැනීමට භාවිතා කළ අක්වෙරළ ආයෝජන සමාගමක් ගැන ප්‍රකාශයට පත් කිරීමට චෙක් ජනපදයේ අගමැති අසමත් වීම
දශක ගණනාවක් තිස්සේ කෙන්යානු ජනාධිපති උහුරු කෙන්යාටාගේ පවුලට රහසිගතව අක්වෙරළ සමාගම් ජාලයක් හිමි වූ ආකාරය
රටවල් 90ක දේශපාලනඥයින් 330කට වැඩි සංඛ්‍යාවක් ඇතුළුව ලෝකයේ සමහර බලවත් පුද්ගලයින් තම ධනය සඟවා ගැනීම සඳහා රහසිගත අක්වෙරළ සමාගම් භාවිතා කරන ආකාරය ලිපි ගොනු මඟින් හෙළිදරව් වෙමින් තිබේ.

එක්සත් ජනපද බුද්ධිමණ්ඩලයක් වන Global Financial Integrityට (ගෝලීය මූල්‍ය අවංකබව) සම්බන්ධ ලක්ෂ්මී කුමාර් පැහැදිලි කළේ, බොහෝ විට නිර්නාමික සමාගම් භාවිතා කිරීම තුළින් මෙම පුද්ගලයින්ට “මුදල් පුනීලයකින් පෙරාගෙන, සියුම් බට ඔස්සේ රැගෙන ගොස් සැඟවීමට” හැකි වී ඇති බවය.

How big is the Pandora Papers leak graphic
‘අක්වෙරළ’ යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?
පැන්ඩෝරා ලියවිලි මඟින් දේශසීමාවලට පිටතින් පිහිටුවා ඇති සංකීර්ණ සමාගම් ජාලයන් ගැන හෙළිදරව් වන අතර, මේවායේ මුදල් සහ වත්කම්වල හිමිකාරිත්වය බොහෝ විට රහසිගතය.

උදාහරණයක් වශයෙන්, යම් පුද්ගලයෙකුට එක්සත් රාජධානියේ දේපලක් තිබිය හැකි නමුත්, එය වෙනත් රටවල පිහිටුවා ගත් සමාගම් සමූහයක් හෝ “අක්වෙරළ” සමාගම් මඟින් හිමි කර ගත හැකිය.

මෙම අක්වෙරළ සමාගම් පිහිටුවන රටවල් හෝ භූමි ප්‍රදේශ තිබෙන්නේ:

• සමාගම් පිහිටුවීමේ පහසුව

• සමාගම්වල අයිතිකරුවන් හඳුනා ගැනීමට අපහසු වන නීති තිබෙන

• ආයතන බද්ද අවම, නැත්නම් ආයතන බද්දක් නොමැති ස්ථානවලය.

මෙම ස්ථාන බොහෝ විට හැඳින්වෙන්නේ ‘බදු තෝතැන්නක්’ හෝ ‘රහස්‍ය බල ප්‍රදේශ’ ලෙසය. බදු තෝතැනි පිළිබඳ නිශ්චිත ලැයිස්තුවක් නොමැත. නමුත් වඩාත් ප්‍රසිද්ධ ස්ථාන අතර බ්‍රිතාන්‍යය පාලනයේ ඇති කේමන් දූපත් සහ වර්ජින් දූපත් මෙන්ම ස්විට්සර්ලන්තය සහ සිංගප්පූරුව වැනි රටවල් ද ඇතුළත්ය.

බදු තෝතැන්නක් භාවිත කිරීම නීති විරෝධීද?
නීතියේ ඇති ඇතැම් හිඩැස්, මුදල් සංචරණය කිරීමෙන් හෝ බදු තෝතැන්නක සමාගම් පිහිටුවීම මඟින් නීත්‍යානුකූල ලෙස බදු ගෙවීම් පැහැර හැරීමට ඉඩකඩ සලසා දෙයි. නමුත් එය බොහෝ විට සදාචාර විරෝධී ක්‍රියාවක් ලෙස සැලකේ.

බ්‍රිතාන්‍ය රජය පවසන්නේ බදු ගෙවීම් පැහැර හැරීම “නීතිය අකුරටම ක්‍රියාත්මක වීමක් වුවත්, එය නීතියේ හරය තුළ ක්‍රියාත්මක වීමක් නොවන” බවය.

අපරාධමය ප්‍රහාරවලින් ආරක්ෂා වීම හෝ අස්ථාවර රජයන්ගෙන් ආරක්ෂා කරගැනීම වැනි සාධාරණ හේතු ගණනාවක් මත ද විවිධ රටවල පුද්ගලයන් සිය මුදල් හා වත්කම් පිටරට රඳවා තැබීමට ක්‍රියා කරති.

රහසිගත අක්වෙරළ වත්කම් තිබීම නීති විරෝධී නැතත්, සංකීර්ණ රහස් සමාගම් ජාලයක් භාවිතා කරමින් මුදල් සහ වත්කම් එහෙ මෙහෙ හුවමාරු කිරීම අනීතික හෝ අපරාධයන්හි ආදායම් සැඟවීමට හොඳම ක්‍රමයයි.

විශේෂයෙන් පැනමා ලිපි වැනි පෙර හෙළි කිරීම් වලින් පසුව බදු ගෙවීම පැහැර හැරීම හෝ වත්කම් සඟවා ගැනීම අසීරු කරන ලෙස දේශපාලනඥයින්ගෙන් නැවත නැවතත් ඉල්ලා ඇත.

නමුත් රයිල් පැවසුවේ පැන්ඩෝරා පත්‍රිකා තුළින් පෙන්නුම් කෙරෙන්නේ “අක්වෙරළ ගනුදෙනුවල රහසිගතභාවය අවසන් කළ හැකි පුද්ගලයින් එයින් ප්‍රයෝජන ලබන හෙයින් එය අවසන් කිරීමට ඔවුන්ට අවශ්‍යතාවයක් නොමැති” බවයි.

විදේශයන් හී මුදල් සැඟවීම කොතරම් පහසුද?
ඔබ කළ යුතු වන්නේ ඉහළ රහස්‍යභාවයක් ඇති රටක හෝ ඉහළ මට්ටමේ රහස්‍යභාවයක් සහිත අධිකරණ බල ප්‍රදේශයක නාමික සමාගමක් පිහිටුවීමයි. මෙය නමට පමණක් පවතින සමාගමක් වන අතර කාර්ය මණ්ඩලයක් හෝ කාර්යාලයක් නොමැත.

ඒ සඳහා මුදල් වැය වුවද, ඔබ වෙනුවෙන් නාමික සමාගම් පිහිටුවීමට සහ පවත්වාගෙන යාමට විශේෂඥ සමාගම් වලට ගෙවීම් කරනු ලැබේ. මෙම සමාගම්, අධ්‍යක්ෂවරුන් සහ ඔවුන්ගේ ලිපිනය මුදලට ලබා දෙන අතර එම නිසා අවසානයේ ව්‍යාපාර පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න පිළිබඳ කිසිම සොයා බැලීමට නොහැකි වෙයි.

විදේශයන් හී කොපමණ මුදලක් සඟවා තිබේද?
නිශ්චිතව කිව නොහැක. එහෙත් ICIJ ට අනුව එය ඩොලර් ට්‍රිලියන 5.6 සිට ඩොලර් ට්‍රිලියන 32 දක්වා වූ ඇස්තමේන්තුගත පරාසයක පවතී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා ඇත්තේ බදු ක්ෂේමස්ථාන නැතහොත් බදු නොගෙවිය යුතු ස්ථාන භාවිතා කිරීම නිසා ලොව පුරා රජයන්ට වාර්ෂිකව ඩොලර් බිලියන 600 ක් දක්වා වූ බදු අහිමි වන බවයි.

එය සමාජයට අහිතකර බව ලක්ෂ්මී කුමාර් පැවසුවාය: “මුදල් සැඟවීමේ හැකියාව ඔබේ ජීවිතයට සෘජු ලෙස බලපායි… එය ඔබේ දරුවාට අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සහ නිවසක් සඳහා ඇති අයිතියට බලපායි.”

එක්සත් රාජධානිය ඒ සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක්ද?
විදේශයන්හි පිහිටි නිර්නාමික සමාගම්වලට දේපල අයිතිය ලබා දීම සම්බන්ධයෙන් එක්සත් රාජධානියට විවේචන එල්ල වී තිබේ.

එක්සත් රාජධානියේ දේපල වල අවසාන අයිතිකරුවන් ප්‍රකාශයට පත් කළ යුතු බවටඑරට රජය 2018 දී කෙටුම්පත් නීතියක්ඉදිරිපත් කළේය. එහෙත් එය තවමත් මන්ත්‍රී මණ්ඩලය වෙත ඉදිරිපත් කර නැත.

2019 පාර්ලිමේන්තු වාර්තාවක් පැවසුවේ එක්සත් රාජධානියේ නීති පද්ධතිය “අයථා අරමුදල් සැඟවීම සඳහා දේපල භාවිතා කරනා මුදල් විශුද්ධිකරුවන් වැනි අය ආකර්ෂණය කර ගන්නවා,” යනුවෙනි.

දේපලවල සැබෑ හිමිකරුවන් කවුරුන්ද යන්න සොයාගැනීමට පොලිසියට නොහැකි බැවින් අපරාධ පරීක්‍ෂණ වලට බොහෝ විට බාධා එල්ල වන බව එහි සඳහන් වේ.

බ්‍රිතාන්‍ය රජය මෑතකදී දේපල හරහා මුදල් විශුද්ධිකරණය කිරීමේ අවදානම් මට්ටම “මධ්‍යස්ථ” සිට “ඉහළ” දක්වා ඉහල දැමීය.

දැඩි නීති සහ බලාත්මක කිරීම් තුළින් මුදල් විශුද්ධිකරණය මැඩපැවැත්වීමට කටයුතු කරන බවත්, පාර්ලිමේන්තු කාලය ලැබෙන විට එක්සත් රාජධානියේ දේපල හිමි අක්වෙරළ සමාගම් පිළිබඳ ලේඛනයක් හඳුන්වා දෙන බවත් එය පවසයි.

ශ්‍රී ලංකාව ඒ සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක්ද?

විදේශයන්හි පිහිටි අක්වෙරල සමාගම්වලට දේපල අයිතිය ලබා දීම ශ්‍රී ලංකාවේ නීතිය අනුව වරදක් නොවන නමුත්, ශ්‍රී ලාංකිකයින් තමන්ගේ සියලුම වත්කම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හෙළි නොකිරීම වරදකි.

වසර 2006 දී ශ්‍රී ලංකාව මුදල් විශුද්ධිකරනය වැළැක්වීමේ පණතක් සම්මත කළ අතර, 2021 බදු ගෙවීම පැහැර හරින ලද වත්කම් සහ හෙළිනොකළ ආදායම් හෙළි කිරීමට අවශ්‍ය පනතක් පාර්ලිමේන්තුව මඟින් සම්මත කරන ලදී.

බදු ගෙවීම පැහැර හරින ලද වත්කම් නීත්‍යානුකූල කිරීම සදහා රජය ලබාදී ඇති සහනය ගිය මාසයේ සිට ක්‍රියාත්මයි.

ඒ අනුව මෙයට කලින් හෙළිනොකළ වත්කම් වල වටිනාකමින් සියයට එකක් පමණක් ගෙවීමෙන් එම වත්කම් නීත්‍යානුකූල කරගත හැකි වෙයි.

විපක්ෂය පැවසුවේ මෙය රාජපක්ෂ පවුලේ කළු සල්ලි රට තුලට ගෙන ඒමට ගත් වෑයමක් ලෙසිනි. එහෙත් රාජපක්ෂ පවුල සහ රජය එම චෝදනා ප්‍රතික්ෂේප කරන ලදී.

බී.බී.සී සන්දේශය වාර්තාවක සම්පූර්ණ උපුටා ගැනීමකි – ශීර්ෂපාඨය සංශෝධනය කර ඇත.

Loading...

Related Posts