නොවැම්බර් මස 13 වැනි දිනෙන් පසු අන්තර් මෝසම් කාලපරිච්ඡේදයක්

Spread the love

පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය මේ වන විට පීඩන අවපාතයක් බවට පරිවර්තනය වී ඇති බවත් ඉන් දිවයිනට වක්‍ර බලපෑමක් සිදුව තිබෙන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත්මේන්තුවේ අද (10) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

මේ දිනවල පවතින වර්ෂාපතනයෙහි වැඩිවීම මුල සිට අධ්‍යයනය කරමින් සිටි බවත් පසුගිය දිනවල අන්දමන් දූපත් අසළ පැවති පහළ වායුගෝලයේ කැළඹිලි තත්වයක් නිරීක්ෂණය වූ බවත් ඒ හේතුවෙන් වර්ෂාවපතනයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව මාධ්‍ය තුළින් ජනතාවට දැනුම් දීමට කටයුතු කළ බවත් අතුල කරුණානායක මහතා පවසයි.

අඩු පීඩන තත්වයක්ව පැවති මෙම පද්ධතිය මේ වන විට පීඩන අවපාතයක් බවට පරිවර්තනය වී ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.මෙම පීඩන අවපාත තත්වය මේ වන විට ස්ථානගතවී ඇත්තේ දිවයිනට ඊසාන දිශාවෙන් ගැඹුරු මුහුදේ වන බැවින් එමගින් දිවයිනට ඇති කෙරෙන්නේ වක්‍ර බලපෑමක් බව ඒ මහතා කියා සිටියේය.

විශේෂයෙන්ම ධීවර හා නාවික ප්‍රජාවට බෙංගාල බොක්ක අවට ප්‍රදේශයේ ධීවර හා නාවික කටයුතුවන නිරත නොවන ලෙසට රතු නිවේදන ලබා දී ඇති බවත් ඒ මහතා පැවසීය.

සිදු කරන ලද නිරීක්ෂණයන්ට අනුව හෙට සවස් කාලයේදී මෙම පද්ධතිය ඉන්දියාවේ තමිල්නාඩු වෙරළබඩ තීරයට ඇතුළ්වීමට නියමිත බව කරුණානායක මහතා පෙන්වා දුන්නේය.අද දවස තුළත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඉහළ වර්ෂාපතනයක් ලැබිය හැකි බව පවසන ඒ මහතා වැඩි වර්ෂාපනයක් අපේක්ෂා කෙරෙනුයේ උතුරු , උතුරු මැද , වයඹ , බස්නාහිර පළාත්වලට බවත් එම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් සියය ඉක්මවන වැසි තත්වයක් ඇති විය හැකි බවත් දිවයිනේ සෙසු පළාත් විශේෂයෙන්ම සබරගමුව , මධ්‍යම ඌව පළාත්වලට මිලිමීටර් 75 ඉක්මවන වැසි තත්වයක් ඇති විය හැකි බවත්  අතුල කරුණානායක මහතා පවසයි.

අනෙක් පළාත්වල සන්ධ්‍යා කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිිරුම් සහිත වැසි ඇතිවිය හැකියි.මෙම පද්ධතිය දැනට බෙංගාල බොක්ක අවට ප්‍රදේශයේ මුහුදු සීමාවේ පවතින බවත් ක්‍රමයෙන් වෙරළබඩ තීරයට ඇතුළුවන විට පහළ තිබෙන ස්ථරය ජලයේ සිට ගොඩබිමට ළඟා වන විට එක්වර වෙනස්වීමක් ඇති වන බැවින් මේ තත්වය යටතේ ඉදිරි දින කිහිපයේ දිවයින තුළ වුවද සුළං තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව ඒ මහතා පෙන්වා දේ.එම සුළඟේ වේගය පැයට කිලෝමීටර 40-50 දක්වා ඉහළ යා හැති බවත් මෙම තත්වය වැසි සමග ඇතිවන තාවකාලික සුළඟේ වේගය වැඩිවීම නොවන බව ඒ මහතා අවධාරණය කළේය.

වර්ෂාව සමග ඇතිවන අකුණු අනතුරු අවම කිරීමට කටයුතු කරන ලෙස ඒ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළ අතර අද සහ හෙට මෙම කාලගුණික තත්වය මෙලෙසම පවතිනු ඇති බවත් ඒ මහතා පැවසීය.නොවැම්බර් මස 13 වැනි දිනෙන් පසුව අන්තර් මෝසම් කාලපරිච්ඡේදය නිසා වර්ෂාපතනය ඇතිවිය හැති බවත් එවිට උදෑසන පැහැදිළි අහසක් දක්නට ලැබෙන අතර සවස් කාලයේ වැසි හෝ ගිගිරුම් සහිත වැසි තත්වයක් නිර්මාණය විය හැකි බවත් පැවසීය.

විශේෂයෙන්ම මෙම කාලපරිච්ඡේදය සැළකීමේදී එය දිවයිනට බලපාන දෙවන අන්තර් මෝසම් තත්වය බවත් එය ඔක්තෝබර් සිට නොවැම්බර් දක්වා පවතින බවත් සාමාන්‍ය වර්ෂාපතනයක් පවතින බවත් මෙම තත්වය වෙනස් වන්නේ විශේෂයෙන්ම බෙංගාල බොක්ක අවට ප්‍රදේශයේ සහ අරාබි මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සිදුවන කැළඹෙන ස්වභාවයන් , තරංගවල ස්වභාවයන් , පීඩන අවපාත , අඩු පීඩන කලාප සුළි කුණාටු තත්වයන් නිසා බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

Related Posts