“ඩී.ඒ රාජපක්ෂ කෞතුකාගාරය සඳහා මුදල් වැය කිරීමට නීතිමය හිමිකමක් නැහැ” – ගෝඨාට සිතාසි

Spread the love

මහින්ද රාජපක්ෂ පාලන සමයේ මැදමුලන ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රුපියල් ලක්ෂ 800 අධික රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සැප්තැම්බර් 07 වෙනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙත සිතාසි නිකුත් කර තිබේ.

හිටපු ආරක්ෂක ලේකම්වරයාට අමතරව අදාළ චෝදනාවට සම්බන්ධ තවත් සැකකරුවන් හය දෙනෙකුටද සිතාසි නිකුත් කරනු ලැබ ඇත.

අදාළ පැමිණිල්ල අද (20) කැඳවූ අවස්ථාවේදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණය වෙත දන්වා ඇත්තේ අදාළ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා වාර්තා සියල්ල නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවය.

“ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා පහත් බිම් සංවර්ධන මණ්ඩලයට අයත් රුපියල් මිලියන 81කට වැඩි මුදලක් වැයකර තිබෙනවා. එම මුදල වැය කිරීම සඳහා සැකකාර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන්ට කිසිදු නීතිමය හිමි කමක් නැහැ. මේ හේතුවෙන් නීතිපතිවරයාගේ උපදෙස් මත පොදු දේපල පනත යටතේ විමර්ශන සිදු කළා.”යනුවෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව සැකකරුවන් ලෙස නම්කර තිබෙන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු සැකකරුවන් හත්දෙනාට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි සිතාසි නිකුත් කරන මෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා ඇත.

එම ඉල්ලීම පිළිගත් අධිකරණය හිටපු ආරක්ෂක ලේකම් ඇතුළු සැකකරුවන් හත් දෙනෙකුට සැප්තැම්බර් 07 වෙනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කර තිබේ.

අදාළ චෝදනා සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් පසුගියදා ප්‍රකාශයක් ලබා ගෙන තිබිණි.

ඉහත කී චෝදනා සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වළකා නියෝගයක් නිකුත් කරන මෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ද ඉදිරිපත් කරනු ලැබීය.

පෙත්සම විභාග කළ අභියාචනාධිකරණය ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් පොලිසිය වෙත තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබීය.

එහෙත් නොතීසියක් ලද විට අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවට අභියාචනාධිකරණය ගෝඨාභය රාජපක්ෂ වෙත දන්වා තිබිණි.

RSL

Related Posts