ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය අමාත්‍ය මණ්ඩල අනුමැතියට

Spread the love

වත්මන් රජය බලයට පත්වීමෙන් පසු එතෙක් ප්‍රමාදව තිබූ කෘෂිකර්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය හා කෘෂිකර්ම දත්ත ගබඩාව ස්ථාපිත කිරීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රමුඛ කාර්යභාරයක් විය. මේ අනුව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ උපදෙස් පරිදි ප්‍රථම වතාවට සම්පාදනය කරන ලද ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ලබන සතියේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

ඊයේ ( 4 ) කොළඹදී රැස්වූ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලය සම්පාදනය කර ඇති ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සිංහල හා ඉංග්‍රීසි පිටපත් කෘෂිකර්ම අමාත්‍යවරයාට පිළිගන්වන ලදී.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ රජයන් කිහිපයක් උත්සාහ කළත් නිමකර ගැනීමට නොහැකි වූ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය වත්මන් රජය බලයට පත්වී වසරක් තුළ නිමකර ගැනීමට හැකිවීම සතුටට කරුණක් බවයි. ඒ සම්බන්ධයෙන් කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලයට තම කෘතඥතාව පිරිනමන බවද අමාත්‍යවරයා කීවේය.

මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ යැපුම් ආර්ථිකය වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් කරා රට මෙහෙයවීමේදී කෘෂිකර්ම අමාත්‍යාංශයට පුළුල් කාර්යභාරයක් පැවරෙන බවය. නවීන තාක්ෂණය යොදා ගනිමින් ගොවිතැන නවීකරණය කර ගොවීන් ගොවි ව්‍යවසායකයින් බවට පත්කිරීම රජයේ අරමුණ බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙමඟින් රටේ තරුණ තරුණියන් ද ගොවිතැනට යොමු කරවා ගැනීමට අපේක්ෂිතය.

නිරෝගිමත් දිවි පෙවෙතක් ගත කිරීම සඳහා ශ්‍රී ලාංකික ජනතාවට තිබෙන අයිතිය තහවුරු කිරීම සඳහා වස විසෙන් තොර ආහාර අනුභවයට ජනතාව හුරු කරවීමේ ක්‍රියාවලිය ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය මඟින් ශක්තිමත් වනු ඇති බවද කෘෂි නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය නිෂ්පාදනය තුළින් ග්‍රාමීය මට්ටමේ ස්වයං රැකියා බහුල වී ජනතාවගේ අතමිට සරු කිරීම ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය මඟින් ශක්තිමත් වනු ඇති බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදන මණ්ඩලය වෙනුවෙන් අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව තිරසර හරිත කලාපයක් බවට පත් කිරීමේ රජයේ උත්සාහයට කෘෂිකර්ම ප්‍රතිපත්තිය හරහා රටේම ජනතාව සම්බන්ධ කර ගත හැකි බවය.

Related Posts