ජාතික කිරි නිෂ්පාදනයට නැගෙනහිරින් දියර කිරි ලීටර් ලක්ෂයක්

Spread the love

නැගෙනහිර පළාතේ දෛනික දියර කිරි නිෂ්පාදනය ලීටර් ලක්ෂයක් දක්වා වැඩි කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

දැනට දෛනිකව නිෂ්පාදනය කරන ලීටර් 57000ක ප්‍රමාණය ලක්ෂයක් දක්වා වැඩි කිරීමේදි එම කිරි ගවයන්ට අවශ්‍ය ආහාර සහ ජලය වැඩි කර ගැනිමේ ක්‍රමවේදයක් සකසන්නැයිද ආණ්ඩුකාරවරිය පළාත් පශු සම්පත් ප්‍රධානීන් හමුවේ අවධාරණය කළාය.

රේඛිය අමාත්‍යංශය හරහා පළත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ලබා දෙන ප්‍රතිපාදන වලින් සිදු කිරීමට නියමිත ව්‍යාපෘතින් පිළිබඳ විශේෂ හමුවක් අමතමින් ආණ්ඩුකාරවරිය මේ බව කියා සිටියාය.

පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩි.බී.හේරත් මහතාගේ සහභාගිත්වයෙන් එම හමුව ත්‍රිකුණාමලය, උප්පුවේලි සත්ව පාලන පුහුණු මධ්‍යස්ථානයේදි පැවිත්විණි. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරිය මෙසේද පැවසුවාය.

“ නැගෙනහිර පළාත තුළ තිරසර කෘෂි සංස්කෘතිය යටතේ කිරි ගොවින් දිරි ගැන්වීම සඳහා විශේෂ වැඩසටහන් රැසක් අපි දියත් කළා. කිරි ගවයන් වැඩිපිරිසක් සිටින ගොවින් 50ක් පමණ තෝරා ගෙන එම ගොවින්ගේ කිරි ගොවිපළවල් සංවර්ධනය කිරීම සඳහා එක් අයෙකුට රු.ලක්ෂ 10 බැගින් ප්‍රතිපාදන ලබා දුන්නා. කිරි නිෂ්පාදනය මෙන්ම කාබනික පොහොර, කිරි දෙනුන්ට අවශ්‍ය තණකොළ වැවීම ඇතුළු විවිධ ව්‍යාපෘතින් එම වැඩසටහන හරහා ක්‍රියාත්මක වෙනවා. ඒ තුළින් මේ වසර අවසන් වීමට ප්‍රථම නැගෙනහිර පළාතෙන් දෛනිකව නිෂ්පාදනය කෙරෙන කිරි ලීටර් ලක්ෂයේ ඉලක්කයට අපිට යන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි කන්තලේ ප්‍රදේශයේ ප්‍රචලිතව පවත මුදවපු මි කිරි නිෂ්පාදන “ කන්තලේ කිරි” නමින් විදේශ වෙළඳපොළ දක්වා අපනයනය කිරීමට අවශ්‍ය ව්‍යාපෘතියකුත් ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක වෙනවා යැයි” ද ආණ්ඩුකාරවරිය කීවාය.

මේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ආර්.එම්.ඩබ්.එස්. සමරදිවාකර, පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් අයි.කේ.ජී. මුතුබණ්ඩා, ආණ්ඩුකාර ලේකම් එල්.පී.මදනායක, පළාත් සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෛද්‍ය එම්.ඒ.මොහමඩ් ෆාසි සහ පශු සම්පත් නිලධාරින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Related Posts