ජනපති මහින්ද යළි දිවයිනට

Spread the love

ඉන්දුනීසියානු ජනාධිපති ආචාර්ය සුසිලෝ බැම්බැන් යුධොයොනෝ මහතාගේ විශේෂ ආරාධනයකට අනුව හතර වන බාලි ප‍්‍රජාතන්ත‍්‍රීය සංසදය ඇමතීමට ඉන්දුනීසියාව බලා පිටත් ව ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ(10) පස්වරුවේ ආපසු දිවයිනට පැමිණියේ ය.

හතර වන බාලි ප‍්‍රජාතන්ත‍්‍රීය සංසදය 2011 දෙසැම්බර් 08 සහ 09 යන දෙදින ඉන්දුනීසියාවේ බාලි දූපතේ නුසා ඩුවාහි පිහිටි බාලි ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

මෙවර හතර වන බාලි ප‍්‍රජාතන්ත‍්‍රීය සංසදයේ තේමාව වූයේ “වෙනස් වන ලෝකයේ ප‍්‍රජාතන්ත‍්‍රීය සහභාගීත්වය වර්ධනය කිරීම : ප‍්‍රජාතන්ත‍්‍රික හඬට ප‍්‍රතිචාරාත්මකවීම” යන්නයි.

ආසියා හා ශාන්තිකර කලාපයේ හවුල්කාර රටවල් 54ක සහභාගීත්වයෙන් පවත්වනු ලැබූ හතර වන බාලි ප‍්‍රජාතන්ත‍්‍රීය සංසදයට මෙවර රාජ්‍ය නායකයින් 09 දෙනෙක් සහ රාජ්‍ය නියෝජිතයින් රැසක් සහභාගී වූ අතර, මීට අමතර ව රටවල් හා සංවිධාන 66ක නියෝජිතයින් නීරීක්‍ෂකයින් මට්ටමින් සහභාගී වූහ.

හතර වන බාලි ප‍්‍රජාතන්ත‍්‍රීය සංසදයේ දේශනය සිදු කරමින්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආකෘතීන් හා ආයතන ජනතාවගෙන් දුරස් වූ කල්පිතයක් නොවී එය ඔවුන්ගේ එදිනෙදා දිවියේ අත්දැකීමක් බවට පත් වීම සහතික කිරීම අපට සැම විටම වැදගත් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

එ මෙන් ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය අර්ථාන්විත වීමට සහ එහි බලපැවැත්ම බහුමානයට පාත‍්‍රවීමට නම් එය ඔවුන්ගේ එදිනෙදා දිවියට ඍජු බලපෑමක් ඇති කළ යුතු බවත්, එවන් වාතාවරණයක් නිර්මාණය වීමට නම් රජය සහ ප‍්‍රජාව අතර ඉතා සමීප අන්තර් ක‍්‍රියාවලියක් අවශ්‍ය බවත් එහිදී ජනාධිපතිතුමා පැවසීය.

ශ‍්‍රී ලංකාව, ආසියාවේ පමණක් නොව ලෝකයේම ප‍්‍රජාතන්ත‍්‍රවාදය ක‍්‍රියාත්මක වූ පැරණිතම රාජ්‍යයක් ලෙස හඳුන්වා දෙනු ලැබූ ජනාධිපතිතුමා, කාන්තාවන් ඡන්ද අයිතිය ලැබූ ආසියාවේ ප‍්‍රථම රට ශ‍්‍රී ලංකාව බවත් එහිදී සඳහන් කළේය.

ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව සහ මැතිවරණ ක‍්‍රම පිළිබඳ ව ශ‍්‍රී ලංකාවේ අත්දැකීම්වල විවිධත්වය දේශපාලන ඉතිහාසයේ අති විශිෂ්ට සංසිද්ධියක් ලෙස සැලකිය හැකි බවද ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා හතර වන බාලි ප‍්‍රජාතන්ත‍්‍රීය සංසදය ඇමැතීමෙන් අනතුරු ව කටාර් රාජ්‍යයේ අග‍්‍රාමාත්‍ය ෂීක් හමාඩ් අල්-තානි මහතා, බෲනායි සුල්තාන් (රජු) හසන් අල්-බොල්කෙයා මහතා සහ ඉන්දුනීසියා ජනාධිපති සුසිලෝ බැම්බැන් යුධෝයෝනෝ මහතාද සමඟ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ කටාර් රාජ්‍යයේ අග‍්‍රාමාත්‍ය ෂීක් හමාඩ් අල්-තානි මහතා අතර පැවැති ද්විපාර්ශවික සාකච්ඡාවලදී කටාර් රාජ්‍යයේ ආයෝජකයෝ ශ‍්‍රී ලංකාවේ දැවැන්ත ආයෝජනයකට සූදානම් බව කටාර් අග‍්‍රාමාත්‍යතුමා පැවසීය. ශ‍්‍රී ලංකාවේ කොළඹ සහ කොළඹින් පිටත සංචාරක කේන්ද්‍රීය ස්ථානවල මහා පරිමාණ සංචාරක හෝටල් ඉදි කිරීමට කටාර් රාජ්‍යයේ ආයෝජකයින් සූදානමින් සිටින බවද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

බෲනායි සුල්තාන් (රජු) හසන් අල්-බොල්කෙයා මහතා සහ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර පැවැති හමුවේදී ශ‍්‍රී ලංකාවේ කෘෂිකාර්මික සහ සංචාරක ක්ෂේත‍්‍රවල ආයෝජනය සඳහා බෲනායි ආයෝජකයෝ කැමැත්තෙන් සිටින බව මෙහිදී බොල්කෙයා සුල්තාන්වරයා පැවසීය. බෲනායි හි ශ‍්‍රී ලාංකිකයින් රැසක් බැංකු සහ අධ්‍යාපන ක්ෂේත‍්‍රවල රැකියා කරමින් ඉහළ සේවයක් ඉටු කරන බවද මෙහිදී සුල්තාන්වරයා පැවසීය.

අනතුරු ව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා, ඉන්දුනීසියානු ජනාධිපති සුසිලෝ බැම්බැන් යුධෝයෝනෝ මහතා සමඟ ද්විපාර්ශවික සාකච්ජා පැවැත්වීය. ශ‍්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවයත්, ස්වෛරීභාවයත් ඉන්දුනීසියාව බෙහෙවින් අගය කරන බව ඉන්දුනීසියානු ජනාධිපතිතුමා පැවසූ අතර, ඒ වෙනුවෙන් ශ‍්‍රී ලංකාවට තමාගේත් ඉන්දුනීසියා රජයේත් පූර්ණ සහය ලබා දෙන බව පැවසීය.

පසුගිය වකවානුවේ මානව හිමිකම් කවුසින්සිලයේදී හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ශී‍්‍ර ලංකාවට සහය දැක්වීම සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා යුධෝයෝනෝ මහතාට එහි දී සිය ස්තූතිය පළ කර සිටියේය. එසේම ශී‍්‍ර ලංකාවේ ත‍්‍රස්තවාදය මැඬ පැවැත්වීම සඳහා සිදු කළ මානුෂීය මෙහෙයුමේදී ඉන්දුනීසියාව ලබා දුන් සහය ජනාධිපතිතුමා මෙහි දී සිහිපත් කළේය.

බාලි ප‍්‍රජාතන්ත‍්‍රීය සංසදය ඇමතීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය ආරාධනය පිළිගෙන පැමිණීම පිළිබඳ බලවත් ප‍්‍රසාදය යුධෝයෝනෝ මහතා මෙහිදී පළ කළේය.

ඉන්දුනීසියාවේ පැපූවා නිව්ගිනි හි පවතින ත‍්‍රස්තවාදය පිළිබඳ ව අදහස් පළ කළ ඉන්දුනීසියානු ජනාධිපතිතුමා රටක් ත‍්‍රස්තවාදය මැඬපැවැත්වීමට ගන්නා කි‍්‍රයාමාර්ග පිළිබඳව ධනාත්මක ලෙස බැලිය යුතු බවද පැවසීය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඉන්දුනීසියා සංචාරයේ තෙවන දිනය වූ පසුගිය 09 වැනි දා ජනාධිපතිතුමා ඇතුළු ශ‍්‍රී ලංකා දූත පිරිස ඉන්දුනීසියාවේ මධ්‍යම ජාවා ප‍්‍රදේශයේ පිහිටි බෝරෝබුදුර් විහාරස්ථානය වෙත යාමද වැදගත් සිදුවීමක් විය.

ඉන්දුනීසියාවේ මධ්‍යම ජාවා ප‍්‍රදේශයේ පිහිටා තිබෙන බෝරෝබුදුර් විහාරස්ථානය 09 වැනි ශත වර්ෂයට අයත් ලෝකයේ විශාලතම සිද්ධස්ථානය වන අතර, ලොව පුරා බෞද්ධ ජනයාගේ නොමඳ ගෞරවයට පාත‍්‍ර වී ඇති පූජනීය සිද්ධස්ථානයක් සේ ම සංචාරක ආකර්ශනීය විහාරස්ථානයක් ලෙසට ද ප‍්‍රචලිත ව තිබේ. ලොව විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පයකට හා ඉහළ තාක්‍ෂණයකට හිමිකම් කියන බෝරෝබුදුර්, බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතයේ නිර්වාණය දක්වා වූ විවිධ අවස්ථා නිරූපණය වන සේ මහල් 07කින් නිමවා ඇත.

ඉන්දුනීසියාවේ මධ්‍යම ජාවා හි නියෝජ්‍ය නගරාධිපති රුස්ටි‍්‍රනින්ග්සි මහත්මිය ජනාධිපතිතුමා පිළිගැනීම සඳහා මෙම විහාරස්ථානය වෙත පැමිණ සිටි අතර, බෞද්ධ නායකයෙකුගේ පැමිණීම බෙහෙවින් අගය කරන බවද ඒ මහත්මිය ප‍්‍රකාශ කළාය.

විහාරස්ථානයේ හිමි නමක් වූ පූජ්‍ය චිත්ත ගුත්තා ස්වාමීන් වහන්සේ සෙත් පිරිත් සජ්ජායනය කොට ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ. ජනාධිපතිතුමා විසින් උන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය වෙත අට පිරිකර පූජා කිරීමෙන් අනතුරු ව සමරු තිළිණද පිරිනැමීය. නියෝජ්‍ය නගරාධිපතිනිය ද ජනාධිපතිතුමා වෙත බොරෝබුදුර් පූජනීය ස්ථානයේ ආකෘතියක් සමරු තිළිණයක් ලෙස පිළිගැන් වූවා ය.

RSL

Related Posts