එක්සත් ජාතීන්ගේ සමුළුවේදී ගත් තීරණ විදේශ ඇමැති GL හෙළිකරයි !

ලොකු කුඩා සෑම රටකටම බලපාන  වසංගත, දේශගුණ විපර්යාස, ගෝලීය ආහාර තත්වය,තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සහ පිරිසුදු බලශක්තියට මාරුවීමේ අවශ්‍යතාව  යනාදී කාරණා රැසක් ගැන  එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමුවූ බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා අද (05) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ මූලික ගැටලු විසඳීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සමඟ සංවාදයකට සහභාගි විය යුතු බවද හෙතෙම සඳහන් කළේය.

විදේශ අමාත්‍යවරයා මෙසේ පැවසුවේ  එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී කෙරුණු සාකච්ඡා සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.

විදේශ ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කළ සම්පූර්ණ කතාව පහත පළ වේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්ෂේත්‍රය තුළ අප දරන ප්‍රයත්න පිළිබඳව මෙම සභාවට දැනුම් දීම සඳහා මම අද නැගී සිටිමි. අපි රජයක් වශයෙන් වර්තමාන වසංගතයට එරෙහිව සටන් කරමින් එහි ඉතා අයහපත් බලපෑම් හේතුවෙන් සිදුවන ආර්ථික හැකිලීමේ ප්‍රතිවිපාක සමඟ කටයුතු කරන අතර, පාලනය සහ ජාතික යහපැවැත්ම පිළිබඳ අපගේ ප්‍රවේශයේ තවත් පැතිකඩක් ඔබතුමාගේ අවසරය ඇතිව ඉදිරිපත් කිරීමට මම කැමැත්තෙමි. ප්‍රතිපත්තිමය වශයෙන්,  අපි අනෙකුත් ජාතික රාජ්‍යයන් සමඟ පූර්ණ ලෙස, අවංකව හා විවෘතව කටයුතු කිරීම සඳහා වන අපේ අතිගරු ජනාධිපතිවරයාගේ කැපවීම මෙහිදී අවධාරණය කළ යුතුය. අපගේ සෞභාග්‍යයේ දැක්ම, තනිවම සාක්‍ෂාත් කර ගත නොහැක. අපි සියලු දෙනාම පොදු අනාගතයක් බෙදාහදා ගන්නා අතර, මතු පරම්පරාව වෙනුවෙන් එම දීප්තිමත් අනාගතය සුරක්‍ෂිත කර ගැනීම සහ සහතික කිරීම සඳහා අපට කළ හැකි උපරිමය කිරීම අපේ යුතුකමයි.

මේ අනුව ගරු කථානායකතුමනි, අපගේ ජාත්‍යන්තර හවුල්කරුවන් සහ මිතුරන් සමඟ මෑතක දී සිදුකළ ජාත්‍යන්තර කටයුතු පිළිබඳව මම මෙම සභාවේ අවධානය යොමු කරමි. අපි ශ්‍රී ලංකාවේ සිටින රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයින් සහ ශ්‍රී ලංකාව සඳහා අක්ත ගන්වන ලද ද්විපාර්ශ්වික හවුල්කාර රටවල් සමඟ සංවාදයක් පවත්වා ගෙන යන අතර, භූගෝලීය හා අනෙකුත් සීමා මායිම් හරහා ජාත්‍යන්තර මට්ටමින් කටයුතු කිරීමට ද අපි උත්සාහ දරන්නෙමු. ගරු කථානායකතුමනි, ලැබෙන සෑම අවස්ථාවක දී ම හැකි විශාලම ප්‍රජාවක් ඇමතීමට අපි උත්සාහ දරන්නෙමු. මෙය අපට එරෙහිව එල්ලවන විවේචනාත්මක අදහස්වලට එරෙහිව කටයුතු කිරීමට හෝ ඒවා වැළැක්වීම සඳහා පමණක් නොව, ගෝලීය වේදිකාවේ දී අපේ හඬ ඇසෙන්නට සැලැස්වීම පිණිස ද වේ. අපි මෙය ද්විපාර්ශ්වික හවුල්කරුවන්, සංවිධාන හා කලාපීය කණ්ඩායම් සමඟ සහ විශේෂයෙන් බහුපාර්ශ්වික සංසදවල දී සිදුකරන්නෙමු. පුද්ගලිකව සහ සාමූහික වශයෙන් අප මුහුණ දෙන අසංඛ්‍යාත අභියෝගයන්ට මුහුණ දීමේ දී, විවෘතභාවය පිළිබඳ හැඟීමක්, අන් අයගේ සංජානනය සහ සැබෑ ජීවිතයේ අත්දැකීම් අවශෝෂණය කර ගැනීමට සහ එතුළින් ඉගෙනීමට ඇති කැමැත්තක් අප තුළ ද පවතී.

ගරු කථානායකතුමනි, අපි සාපේක්ෂ වශයෙන් කුඩා, දූපත් රාජ්‍යයක් වෙමු. කෙසේවෙතත්, අපි අභිමානවත් ඉතිහාසයක් සහ සංකීර්ණ පසුබිමක් සහිත ජාතියක් ද වෙමු. ලෝකයෙන් අපට ඉගෙන ගැනීමට බොහෝ දේ ඇති අතරම, ලෝකය සමඟ බෙදාහදා ගැනීමට ද බොහෝ දේ අපට ඇත. අපගේ බහුවිධ විවිධත්වය යනු සමාජ අත්හදා බැලීමක් නොව, එදිනෙදා අප ජීවත් වන දෙයකි. එය වරින් වර ආතතීන් ඇති කරන නමුත්, අපි තවමත් සහෝදරත්වය සහ හොඳ හිත පිළිබඳ හැඟීමෙන් යුක්තව දිගටම දිවි ගෙවන්නෙමු. අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා සහ මා විසින් සහභාගී වන ලද, මෑතක දී ඉතාලිය, ජිනීවා සහ නිව්යෝර්ක් හි පැවති ඉහළ පෙළේ සාකච්ඡා තුනේ දී අපි මේ බව අවධාරණය කළෙමු. මෙම සිදුවීම් මඟින්, සියලු රටවල් සඳහා පොදු වැදගත්කමක් සහිත වැදගත් ගෝලීය ගැටලු සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සහයෝගීතාව ප්‍රකාශ කිරීම සඳහා මෙන්ම, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අපගේම අදහස් ඉදිරිපත් කිරීම සඳහා ද ශ්‍රී ලංකාවට තීරණාත්මක වේදිකා සපයා ඇත. මෙම මෑත කාලීන අන්තර්ක්‍රියා හේතුවෙන්, ජාත්‍යන්තර වශයෙන් ඉහළම තලයේ සිටින නායකයින් හා ප්‍රතිපත්ති සම්පාදකයින් සමඟ අන්තර් ක්‍රියා සිදුකිරීමට අපට හැකි විය.

වසංගත තත්ත්වය හේතුවෙන් පැවති භෞතික සම්බන්ධතාවයේ දිගුකාලීන පරතරයකින් අනතුරුව, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් “අපේ කාලයේ දී පැවති විශාලතම අර්බුද ප්‍රවාහය” ලෙස හැඳින්වූ විවිධ අංශයන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම කටයුතු මඟින් වැදගත් අවස්ථාවක් ලබා දුන්නේය.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිව්යෝර්ක් හි පැවති 76 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ දී සිය ප්‍රකාශය කරමින්, වසංගතය සහ ඒ හේතුවෙන් ඇති වන ආර්ථික බිඳවැටීම් මෙන්ම දේශගුණික විපර්යාස හේතුවෙන් පවතින අර්බුදවලට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ පූර්ණ ලෙස සම්බන්ධ වී සිටින බව ප්‍රකාශ කළේය. අපගේ මෙම කටයුතුවල අරමුණ වන්නේ, මෙම ගෝලීය අභියෝගවල අයහපත් ප්‍රතිඵලවලින් අපේ ජනතාව ආරක්ෂා කර ගැනීමයි.

ඒ හා සමානව ශ්‍රී ලංකාව සඳහා වැදගත් වන මෑත කාලීන දේශීය ප්‍රවණතා සහ මානව හිමිකම් හා සංහිඳියාව සම්බන්ධ තීරණාත්මක ජාතික ගැටලු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අප මුහුණ දුන් දුෂ්කරතා පිළිබඳව ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික මට්ටමින් ජාත්‍යන්තර ප්‍රජාව ඇමතීමට සහ කිසියම් සාවද්‍ය හෝ පක්ෂග්‍රාහී හැඟීමක් නිවැරදි කිරීම සඳහා මෙම සංචාර මඟින් අපට අවස්ථාව ලබා දුන්නේය.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය සඳහා මගේ ප්‍රකාශය අවසන් කරමින්, මම මෙසේ ප්‍රකාශ කළෙමි: “අපි අපේ අභියෝග පිළිගැනීම සඳහා විවෘතව සිටින අතර, වගකිව යුතු ප්‍රජාතන්ත්‍රවාදී රජයක් ලෙස, සමස්ත ගැටලු පරාසය තුළම වගවීම, සංහිඳියාව, මානව හිමිකම්, සාමය සහ තිරසාර සංවර්ධනය සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රගතියක් ලබා ගැනීම සඳහා අපි කැපවී සිටින්නෙමු.”

මෙම අභියෝගයන්ට මුහුණ දීමේ අවශ්‍යතාවය අපි පිළිගන්නා බවට වන ස්ථාවරයෙහි අප පිහිටා සිටින අතර, එම ප්‍රයත්නයේ දී, හිතකර විවේචන සහ යහපත් චේතනාවකින් යුතුව ගෙනඑන ජාත්‍යන්තර යෝජනා සඳහා විවෘතව ප්‍රතිචාර දැක්විය යුතුය. එසේ පවසන අතරම ගරු කථානායකතුමනි, අපට අපගේ ස්වාධීනත්වය, ජාතික ස්වෛරීභාවය හෝ ජාතියක් වශයෙන් අපගේ ආත්ම ගෞරවය අනතුරේ හෙළීමට ද අවශ්‍ය නොවේ.

ප්‍රධාන රටවල් ගණනාවක විදේශ ඇමතිවරුන් සමඟ පෞද්ගලිකව සාකච්ඡා කිරීමට සහ පොදුරාජ්‍ය මණ්ඩලය, ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රජාව සහ ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලය වැනි ශ්‍රී ලංකාවට ඍජුව අදාළ වන සභාවන් ඇමතීම සඳහා මට අවස්ථාව ලැබුණි. අපගේ පළපුරුද්ද, සංජානනය සහ ස්ථාවරය වාර්තාගතව තැබීම සඳහා අපගේ අඛණ්ඩ හා දැඩි උත්සාහය තුළින් විවෘතභාවය, අවංකභාවය සහ ක්‍රියා කිරීමට ඇති කැමැත්ත පිළිබඳ මෙම ප්‍රවේශය පෙන්නුම් කරයි. ප්‍රජාතන්ත්‍රවාදය නියෝජනය කරන ආසියාවේ පැරණිතම රටක් ලෙස, දශක නවයක් තිස්සේ අඛණ්ඩව මෙම ක්‍රමය පිළිපදින ජාතියක ස්ථාවරයේ සිට ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන්, පරමාදර්ශයන් සහ පොදුවේ බෙදාගත් සාරධර්ම කෙරෙහි වූ අපගේ කැපවීම අපි යළි තහවුරු කළෙමු.

ගරු කථානායකතුමනි, සැබෑ හා දැනෙන ප්‍රතිලාභ අපේ ජනතාවට ලැබෙනු ඇතැයි අපේක්‍ෂාවෙන් දරනු ලබන මෙම ප්‍රයත්න අතිශයින් වැදගත් වේ. මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ දී ප්‍රධාන අවධානය යොමු වූයේ, ලෝකයේ ලොකු කුඩා සෑම රටකටම බලපාන වසංගතය, දේශගුණික විපර්යාස, ගෝලීය ආහාර තත්ත්වය, තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සහ පිරිසිදු බලශක්තියට මාරුවීමේ අවශ්‍යතාවය වැනි කරුණු පිළිබඳවය. ගෝලීය ස්වභාවයේ පවතින මෙම අන්තර් සම්බන්ධිත ගැටලු සියළුම ශ්‍රී ලාංකිකයින්ගේ දෛනික ජීවිතයට බලපාන බව ඉතා පැහැදිලිය.

මෙම මූලික ගැටලු විසඳීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාව සමඟ මෙම සංවාදයට සහභාගී විය යුතුය. තවත් පැහැදිලිව පෙනෙන කරුණක් වන්නේ, අපට විද්‍යාඥයින්, ආර්ථික විද්‍යාඥයින්, පෞද්ගලික අංශය, තාක්‍ෂණයේ නායකයින්, තරුණයින් මෙන්ම ප්‍රාථමික ආහාර නිෂ්පාදකයින් වැනි දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ඉතා පුළුල් පරාසයක කොටස් කරුවන් වෙත ළඟා වීමට අවශ්‍ය වීමයි. මෙය විවිධ මට්ටම්වල සහ විවිධ ක්ෂේත්‍රවල දේශීය හා ගෝලීය ප්‍රජාවේ හරස්කඩක් නියෝජනය කරයි. අතිගරු ජනාධිපතිතුමා ප්‍රකාශ කළ පරිදි, “වසංගතයේ ආර්ථික බලපෑම විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් කෙරෙහි දැඩි ලෙස බලපා ඇත. මෙය 2030 තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා වූ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සැලකිය යුතු ලෙස අවදානමට ලක් කර තිබේ.”

ඒ අනුව, ගරු කථානායකතුමනි, මෙය සාමූහිකව අප ඉදිරියේ පවතින විශාලතම අභියෝගයයි. ශ්‍රී ලංකාව තීරණාත්මක ක්ෂේත්‍ර කිහිපයකම නායකත්වය ගෙන ඇති බවත්, පාරිසරික ක්‍රියාකාරිත්‍වය පිළිබඳ සමහර ප්‍රධාන අංශවල මූලිකත්වය ගෙන සිටින බවත් ප්‍රකාශ කිරීම හිස් හෝ නිෂ්ඵල ආත්ම වර්ණනාවක් නොවේ. ආන්තික දේශගුණික විපර්යාසයන්ට ගොදුරු විය හැකි රටක් ලෙස, ඉදිරියේ දී එළඹෙන එක්සත් රාජධානියේ COP26 හි අපගේ නියැලීම මඟින් අපගේ පොදු, එකිනෙක රටවල් මත යැපෙන අනාගතය සඳහා වන අපගේ කැපවීම පිළිබඳව අවධාරණය කරනු ඇත.

දේශගුණික විපර්යාස සම්බන්ධයෙන්, අප වෙනුවෙන් මෙන්ම, අපේ යෞවනයන් සහ අනාගත පරම්පරාව වෙනුවෙන් ද අතීතයේ අඩුපාඩු ආපසු හරවා සෞඛ්‍ය සම්පන්න ග්‍රහලොවක් අලුත්වැඩියා කොට ගොඩනැගීම සඳහා අපි බැඳී සිටිනවා. මෙම ප්‍රයත්නයේ දී, අපි සෙසු ලෝකය සමඟ සහයෝගයෙන් අත්වැල් බැඳගෙන සිටින අතර, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමේ දී මෙන්ම බලශක්ති පිළිබඳ ඉහළ පෙළේ සංවාදයේ දී ද අපේ මෙම ස්ථාවරය අපේ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. මේ හේතු නිසා මෙම වසරේ දී ජාත්‍යන්තර ප්‍රජාව සහ එක්සත් ජාතීන් සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ වීම කාලෝචිත හා අත්‍යවශ්‍ය වන බව එතුමා සඳහන් කළේය.

තිරසාර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ කොළඹ ප්‍රකාශය සහ පොදුරාජ්‍ය මණ්ඩලීය නීල ප්‍රඥප්තියේ පෙරමුණගත් රට වශයෙන් අප පිළිගනු ලැබීම තුළින්, ශ්‍රී ලංකාව මෙම ගෝලීය ප්‍රයත්න සඳහා දායක වී ඇති බව එතුමා සඳහන් කළේය. 2050 වන විට කාබන් උදාසීන රටක් බවට පත් වීමේ ගෝලීය ප්‍රයත්නයට සම්බන්ධ වන බවට සහ 2030 වන විට අපේ බලශක්ති සම්පත් වලින් 70% ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් ලබා ගැනීම අපි ප්‍රතිඥා දී ඇත්තෙමු. තිරසාර කෘෂිකර්මාන්තය ප්‍රවර්‍ධනය කිරීම, වනාන්තර ආවරණය වැඩි කිරීම සහ ජලය හා ප්ලාස්ටික් දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා වූ අපේ දේශීය ප්‍රයත්න, පොදුවේ පිළිගැනීමට ලක්විය.

ඉදිරි වසර කිහිපය තුළ දී මෙම අපේක්ෂාගත ඉලක්ක වෙත ළඟාවීම සඳහා, අපට තාක්‍ෂණය, මූල්‍ය සහයෝගිතාව සහ ආධාර වෙත සැලකිය යුතු ප්‍රවේශයක් තිබිය යුතු බැවින්, ජාත්‍යන්තර වශයෙන් සහ මහා මණ්ඩලයෙහි අපගේ පෙනී සිටීම අත්‍යවශ්‍ය විය. මෙම වසර අවසානයේ දී පැවැත්වෙන COP 26 හිදී අපි මෙම පණිවිඩ නැවත අවධාරණය කරන්නෙමු.

ගරු කථානායකතුමනි, අපට ජය ගැනීමට අවශ්‍ය අනෙක් විශාල අභියෝගය වන්නේ සමාජ සමගිය හා එකමුතුභාවයයි. අභ්‍යන්තර ආරවුල්, දොම්නස සහ හිංසනයෙන් තොර සැබවින්ම ඒකාබද්ධ ජාතියක් නොපවතින අවස්ථාවක දී, අප විසින් කළ යුතු වන්නේ පවුරු බැඳීමට වඩා පාලම් තැනීමය. අපි සමාජයේ සෑම අංශයක් කරාම ළඟා වී 2019 සහ 2020 වසරවල දී පැවති මැතිවරණවල දී රජය කෙරෙහි තැබූ විශ්වාසය නැවත ලබා දිය යුතුය. සැප්තැම්බර් මාසයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත කළ ප්‍රකාශයේ දී, දිග්ගැස්සුනු ගැටුමකින් පසුව අත්‍යවශ්‍ය වන සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සඳහා වන ජාතික ප්‍රයත්න පුනර්ජීවනය කිරීම සහ ප්‍රබෝධමත් කිරීම සඳහා වූ අපගේ මුලපිරීම් පිළිබඳව මම සඳහන් කළෙමි. අතිගරු ජනාධිපතිතුමා නිව්යෝර්ක්හි දී පැවසූ පරිදි: “කල් පවත්නා සාමය සාක්ෂාත් කර ගැනීම සඳහා දේශීය ආයතන හරහා වැඩි වගවීමක්, ප්‍රතිස්ථාපන යුක්තියක් සහ අර්ථවත් සංහිඳියාවක් ඇති කිරීම අත්‍යවශ්‍ය වේ.”

අප 2009 දී අසීරුවෙන් දිනාගත් සාමය පවත්වා ගැනීම සහ ගොඩනැගීම සඳහා වූ මෙම ප්‍රයත්නයේ දී අපි සහයෝගය දක්වන ජාතික ආයතන කිහිපයක් පිළිබඳව මම සඳහන් කළෙමි. විශේෂයෙන් කථානායකතුමනි, එහි මූලික කර්තව්‍යය වශයෙන් දුක්ඛිත පවුල් ගණනාවක් සඳහා කටයුතු අවසන් කිරීමේ සහ වන්දි ලබා දීමේ අරමුණ ඇතිව, අනෙකුත් ආයතන සමඟ සහයෝගයෙන් අතුරුදහන් වූවන්ගේ ලැයිස්තුව අවසන් කරමින් පවතින, අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයේ (OMP) වැදගත්කම පිළිබඳව මම අවධාරණය කළෙමි. ඒ හා සමානව, වන්දි ගෙවීමේ කාර්යාලය (OR) විසින් මේ වසරේ දී පමණක් හිමිකම් ඉල්ලීම් 3,775 ක් පිළිබඳව විභාග කොට ඇත.  ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය  (ONUR) විසින් එහි කරුණු 8 කින් සමන්විත ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම නැවත ප්‍රාණවත් කිරීමේ ප්‍රයත්නයට අපි සහාය දුන්නෙමු. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්‍ධනය කිරීම සඳහා වූ වරම ක්‍රියාත්මක කිරීම සඳහා අපි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට අඛණ්ඩව සහයෝගය ලබා දී ඇත්තෙමු. තිරසාර සංවර්ධන ඉලක්ක අංක 16 පිළිබඳ ජාතික මෙහෙයුම් කමිටුව සාමය, යුක්තිය සහ ශක්තිමත් ආයතන වැඩි දියුණු කිරීම සඳහා කටයුතු කරන බව අපි පෙන්වා දුන්නෙමු. මෙම කරුණුවලට අතිරේකව, පසුගිය වසර කිහිපය තුළ සංහිඳියාව සහ වගවීම සඳහා වූ විවිධ ප්‍රයත්න පිළිබඳව සොයා බැලීමට සහ නිගමනයකට එළඹීම හා නිර්දේශ ලබා දීම සඳහා කොමිසමකට බලය පැවරීමට අතිගරු ජනාධිපතිතුමා කටයුතු කළ අතර, එමඟින් මෙම ක්‍රියාවලීන් ඉදිරියට ගෙන යාමට අපි අපේක්ෂා කරමු. අපගේ භූමියෙහි අනාගත දූ පුතුන් සඳහා දීප්තිමත්, සෞභාග්‍යමත් සහ සාමකාමී ශ්‍රී ලංකාවක් බිහි කිරීම සඳහා අවංක භාවයෙන් සහ බැරෑරුම් අරමුණින් යුතුව අපි මේ සියල්ල සිදු කරන්නෙමු.

අපේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, මෑතක දී ඉතාලියේ බොලොඤ්ඤා හි දී අවසන් වූ ජී 20 අන්තර්-ආගමික සංවාදය අමතමින් සිය දේශනයේ දී, ආගම හා වෙනත් සමාජ සංස්කෘතික වෙනස්කම් මත පදනම් වූ බාධක ඉක්මවා යාමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළේය. බොලොඤ්ඤා හි පැවති සර්ව ආගමික සංසදය සඳහා ගරු අග්‍රාමාත්‍යතුමාගේ මෙම සහභාගී වීම තුළින්, දේශීය සාමය හා සමගිය ඇති කිරීම සඳහා අධ්‍යාපනයේ සහ තරුණයින්ගේ වැදගත් කාර්යභාරය තවදුරටත් මතුකර  පෙන්වීය. මෙම අන්තර්-ආගමික සංසදය, ශ්‍රී ලංකාව උදාහරණයට ගනිමින්, අපේ කලාපයේ විවිධත්වය පිළිබිඹු කිරීම සහ මෙම විවිධත්වය ජාතියක් වශයෙන් අපගේ ශක්තියේ පදනම වන බව යළි අවධාරණය කිරීම සඳහා සුදුසු අවස්ථාවක් විය. එහි දී, “මෙම වෙනස්කම් අභිබවා යමින්, සියලු විවිධ ජාතීන් ප්‍රයෝජනයට ගනිමින්, පරිණත ජාතියක් පිළිබඳ හැඟීමක් ගොඩනැගීමේ අභියෝගය සඳහා අපි ප්‍රතිචාර දක්වා ඇත්තෙමු.” යයි එතුමා සඳහන් කළේය.

කථානායකතුමනි, ඔබ තුමා හරහා ජාතිය සහ ලෝකය වෙත ලබා දෙන අපගේ පණිවුඩය වන්නේ, අපි ඒකීය භාවය – ලාංකික හැඟීම සහ අනන්‍යතාවය – පිළිබඳ හැඟීමක් ඇති කර ගනිමින් අපේ විවිධත්වය සැමරීම සඳහා උත්සාහ දරන අතර, අපට දේශීය හා ගෝලීය අභියෝග රැසකට මුහුණ දීම සඳහා එය දුර්වලකමකට වඩා ශක්තියේ ප්‍රභවයක් වනු ඇති බවයි.

ගරු අග්‍රාමාත්‍යතුමා බොලොඤ්ඤා හි දී කළ දේශනයේ දී පැවසූ පරිදි:

“සංහිඳියාව යනු අපේ කාලයේ තීරණාත්මක අවශ්‍යතාවයකි. ගැටුම් සහ උත්සන්න වන ආතතීන් අප අවට බොහෝ සෙයින් දක්නට ලැබේ. සාමය සහ ස්ථාවරත්වය පැමිණෙන්නේ අප සමඟ දැඩි ලෙස එකඟ නොවන අය ඇතුළුව, අපේ රටවල ජීවත් වන සියලු දෙනා සමඟ පැවැත්වෙන සෞඛ්‍ය සම්පන්න සබඳතාවලිනි. නැවතත්, අපේ ආගම අපට උගන්වන්නේ වෛරය ජය ගත හැක්කේ වෛරයෙන් නොව ප්‍රේමයෙන් පමණක් බවයි. අතීතයෙන් ලබාගත් දුක් ගැනවිලි ගැන සිතමින් සිටිනවාට වඩා, අපි වර්තමානය, අපේ මතයට වඩා වෙනස් දෘෂ්ටිකෝණයන් සමඟ එකඟතාවයක අවශ්‍යතාවය සහ අපි අත්‍යවශ්‍ය ලෙස පවතින සහෝදරත්වයේ හා අවබෝධයේ සබඳතා ගොඩනඟන්නේ නම් අප සියලු දෙනාට ළඟාවිය හැකි  ප්‍රබෝධජනක නව මායිම කෙරෙහි අවධානය යොමු කළ යුතුය.”

මෙම ප්‍රයත්න තුළ සිවිල් සමාජයේ කාර්යභාරය පිළිබඳව අවධාරණය කිරීමට මම කැමැත්තෙමි. සිවිල් සමාජයේ නියෝජිතයින් යනු අපි ලබා ගැනීමට අපේක්ෂා කරන විසඳුම්වල අනිවාර්ය අංගයකි. කථානායකතුමනි, ඔවුන් ගැටලුව පිළිබඳ ප්‍රකාශනයක් නොව අපේ ගැටලු විසඳීම සඳහා අත්‍යවශ්‍ය අංගයකි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා රජය විසින් ගෙන ඇතැයි සැලකෙන පියවර පිළිබඳව උනන්දුවක් මතු වී තිබේ. මෙය සම්පූර්ණයෙන්ම අසත්‍යයකි. අපි ප්‍රජාව සමඟ ක්‍රියාකාරීව සම්බන්ධ වී සිටින අතර, සංහිඳියාවට සහ තිරසාර සංවර්ධන ඉලක්ක අංක 16 හි ක්‍රියාවලීන්ට අනුකූලව ඔවුන්ගේ හැකියාවන් සහ නිසැක වශයෙන් පවතින ධාරිතාවන් උපයෝගී කර ගැනීමට උත්සාහ කරන්නෙමු. ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලය අමතමින් මා කළ කතාවේ දී මම මෙය ඉතා පැහැදිලිව ප්‍රකාශ කළ අතර, අපේ ජනතාවගේ අභිවෘද්ධිය සඳහා අප දරන ප්‍රයත්නයේ දී ඔවුන් වටිනා සහ අගය කරනු ලබන හවුල්කරුවෙකු ලෙස අපි සලකන බවට මෙම සභාවට සහතික වීමට මට අවශ්‍යය.

කථානායකතුමනි, මෙම ඒකාබද්ධ අරමුණ සඳහා මූලික අභියෝගයක් වන්නේ අන්තවාදය සහ එයින් උපදින ත්‍රස්තවාදය යි. අපි ජනතාව නියෝජනය කරන රජයක් වශයෙන්, මානව ආරක්‍ෂාව එහි පුළුල් අර්ථයෙන් සහතික කිරීම සඳහා ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ සමීප සහයෝගයෙන් යුතුව සියලු පියවර ගනිමින් සිටිමු. මෙම සන්දර්භය තුළ සාමූහික ජාතික හා ජාත්‍යන්තර ආරක්‍ෂාව පිළිබඳ සලකා බැලිය යුතු කරුණු කිහිපයක් තිබේ. පුද්ගල නිදහස සහ ස්වාධීනත්වය සහතික කිරීම ජාතික ආරක්‍ෂාව පිළිබඳ සංකල්පයට පටහැනි නොවේ. ඇත්තෙන්ම එය පුද්ගලික අයිතිවාසිකම් භුක්ති විඳීමට හැකි ස්ථාවර හා ආරක්‍ෂිත ජාත්‍යන්තර හා දේශීය නියෝගයකි. සම්භාව්‍ය මිත්‍යා ප්‍රබන්ධවල සහ ජනප්‍රවාදයේ එන බොහෝ හිස් ඇති හයිඩ්‍රා මෙන්, එක් රටක හෝ කලාපයක එක් ව්‍යාපාරයක් පරාජය වූ විට අන්තවාදය සහ ත්‍රස්තවාදය වෙනත් තැනක වර්ධනය වේ. අපි මෙය බොහෝ අවස්ථාවල දී දැක ඇත්තෙමු. අන්තර් සම්බන්ධිත ලෝකයක් තුළ, එවැනි ව්‍යාපාර සහ අන්තවාදී මතවාදයන් කලින් පැවති විනිවිද යා නොහැකි ජාතික සීමාවන් අර්ථ රහිත කරයි. අපේ ප්‍රතිචාරය ද කථානායකතුමනි, ඒ හා සමානව ගතික, අනුවර්තී හා ප්‍රත්‍යාස්ථ විය යුතුය. නිව්යෝර්ක් හි සහ වෙනත් මිත්‍රශීලී රටවල අමාත්‍යවරුන් සමඟ මා සිදුකළ අදහස් හුවමාරුවේ දී, මෙම සාපරාධී ජාලයන්ට අරමුදල් සැපයීම සහ තහනම් කිරීම පිළිබඳ ගැටලු විසඳීම සඳහා සමීප සහයෝගීතාව, බුද්ධි තොරතුරු එකතු කිරීම සහ බෙදා ගැනීම සහ සාමූහික ක්‍රියාමාර්ග කෙරෙහි අපි තියුණු අවධානයක් යොමු කර ඇත්තෙමු.

එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතමින් අතිගරු ජනාධිපති රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළ පරිදි:

“ත්‍රස්තවාදය යනු ගෝලීය අභියෝගයක් වන අතර, එය ජය ගැනීමට නම් විශේෂයෙන් බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම වැනි කරුණු සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහයෝගිතාව අවශ්‍ය වේ. පසුගිය අඩ සියවසේ දී ප්‍රචණ්ඩත්වය විසින් ශ්‍රී ලංකාවේ දහස් ගණනකගේ ජීවිත සහ දශක ගණනාවක සමෘද්ධිය පැහැර ගනු ලැබීය.

මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියාවන් නැවත කිසි දිනෙක ශ්‍රී ලංකාවේ සිදු නොවන බවට සහතික වීම සඳහා මගේ රජය කැපවී සිටී.

එම නිසා එහි පිටුපස පවතින මූලික ගැටලු විසඳීම සඳහා අපි කටයුතු කරන්නෙමු.”

අවසාන වශයෙන් කථානායකතුමනි, ජාත්‍යන්තර ප්‍රජාව සමඟ අඛණ්ඩව, ක්‍රියාශීලීව සම්බන්ධ වීම තුළින් ජාතියට යහපත් ප්‍රතිඵල ලබා ගැනීම සඳහා දරන ප්‍රයත්නවල දී අපි විවේක නොගන්නා බවට ශ්‍රී ලාංකික ජනතාවට සහතික වීමට මම කැමැත්තෙමි. මේ සම්බන්ධයෙන් අප දරන දැඩි ප්‍රයත්නය පිළිබඳව මෙම ගරු සභාවේ සාමාජිකයින්ට සහ ජාතියට නිතිපතා දැනුම් දීම සඳහා ඉදිරි මාසවල දී මම උත්සාහ දරමි.

Loading...

Related Posts