අර්බුදය එක පාරක – අයවැය තව පාරක – සුනිල් හඳුන්නෙත්ති

Spread the love

දැවැන්ත ආර්ථික අර්බුදයක් රට මුහුණ දී  ඇති මොහොතක ජනතාවට කිසිඳු සහනයක් නොදෙමින් ඉදිරිපත් කරනු ලැබූ අයවැයෙන් තහවුරු වන්නේ ජනතාව බරපතළ ලෙස රවට්ටමින් අර්බුදය එකපාරකත් අයවැය තව පාරකත් ගමන් කිරීමක් බව ජවිපෙ දේශාපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි.

පසුගියදා පාර්ලිමේන්තුව හමුවට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කරනු ලැබූ අයවැය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අද (16) පස්වරුවේ එම පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී ඔහු මේ අදහස් පළකරනු ලැබූ අතර එම මාධ්‍ය හමුවේදී ඔහු පළකළ සම්පූර්ණ අදහස් මෙසේය…

“අයවැයක් කියන්නේ රාජපක්‍ෂ වංශ කතාවේ පැටිකිරිය කියවීමවත්, ආණ්ඩුවේ බැරිකමේ අඳෝනාව කියන එකවත් නෙවෙයි. නමුත් අපි දැක්කේ ඒ වගේ කතාවක්. ආදායමට වඩා වියදම වැඩිනම් හිඟය පියවන ආකාරය මූලික වශයෙන්ම කියන්න ඕනෑ. රටේ ජනතාව අද මුහුණදීලා තියෙන අර්බුදයට, මහපාරේ ගෑස් පෝලිමට, පොහොර හිඟයට, අහස උසට නැගෙන බඩුමිලට, විදේශ විනිමය හිඟයට උත්තර කිසිවක් නැහැ. කොටින්ම ගත්තොත් ආණ්ඩුවේ අයවැයෙන් අර්බුදය පේන්නෙත් නැහැ. උත්තර පේන්නෙත් නැහැ. ඉතාම කෙටියෙන් මේ අයවැය ගැන කාටුන් එකක් ඇඳල තිබුණා. අයවැය යන්නේ එක පාරක, අර්බුදය යන්නේ තව පාරක. රට මුහුණදී තිබෙන අර්බුදයත් අයවැයත් මොන තරම් පරස්පර මාර්ගයක යනවාද කියලා ඒ කාටුන් එකෙන් පෙන්වනවා.

2022දී රජයේ ආදායම රු. කෝටි 222,100ක් බලාපොරොත්තු වෙනවා. වියදම කෝටි 524,500ක්. ණය ගෙවීම කෝටි 153,100යි. රටේ ආදායම වගේ එක හමාරක හිඟයක් තිබෙනවා. මේ හිඟය පියවන්නේ කොහොමද? රු. කෝටි 320,000ක් ණය ගන්න යෝජනා කර තිබෙනවා. ආණ්ඩුවට ණය දෙන්නේ කවුද? ණය අරගෙන පියවනවා කිව්වට ණය දෙන්නේ කවුද? මේ අවුරුද්දට වඩා 2022දී මුළු ආදායම කෝටි 71,800ක් වැඩියෙන් බලාපොරොත්තු වෙනවා. හැබැයි යෝජනාවලින් ලැබෙන්නේ කෝටි 33,100යි. ඉතිරි කෝටි 40,000කට ආසන්න ප්‍රමාණය හොයාගන්නේ කොහෙන්ද? මේ අයවැයෙන් ඒකට උත්තර කියලා නැහැ. මහජනතාව මුහුණ දෙන අර්බුද ලබන අවුරුද්දේ තවත් වැඩි වෙනවා. අඩුම තරමේ ගොවි ජනතාව පොහොර ප්‍රශ්නයට උත්තරයක් බලාපොරොත්තු වුණා. මේ මහ කන්නයේ හාල් නිෂ්පාදනය අඩු වෙනවා. ඒකට උත්තර හැටියට හාල් ආනයනය කරන්න වෙනවා. ඒ වෙනුවෙන් ඩොලර් හොයන්නේ කොහොමද? ජනතාව මහ පොළොවේ අත්විඳින ප්‍රශ්න කිසිවකට උත්තර නැහැ.

අද ටේලර් ෂොප් එකේ මහපු ඇඳුම් ටික ගෙනියන්න මිනිස්සුන්ට සල්ලි නැහැ. ලිී බඩු සාප්පුවේ ගෘහ භාණ්ඩ විකිණෙන්නේ නැහැ. රෙපයාර් කරපු රේඩියෝ, ටීවී ගෙනියන්නේ නැහැ. හාඩ්වෙයාර් වැහෙන තත්වයට පත්වෙලා. සැලුන් එකටත් ආදායම් නැහැ. ආර්ථිකය එක තැන නතර වෙලා. විශේෂයෙන්ම විදේශ විනිමය අර්බුදයට උත්තරයක් ජනතාව බලාපොරොත්තු වුණා. අද පාස්පෝට් හදන්න පොටෝ ගහන අයට විතරයි වැඩ තියෙන්නේ. අපේ රටේ තරුණ පරපුර විදේශ විනිමය ගේන්න පුහුණු කර විදේශ රැකියාවලට යවනවා වෙනුවට රට දාලා යන තත්වයට පත්වෙලා. ඉහළ යන ජීවන වියදමේ බර අඩු කරන්න සැලැස්ම මොකක්ද කියලා ජනතාව බලාපොරොත්තු වුණා. ඔවුන් බලාපොරොත්තු වුණු අවම දේවල්වත් මේ අයවැයේ නැහැ.

ආණ්ඩුව ආදායම් හොයන මාර්ග මොනවාද? බැසිල් රාජපක්‍ෂ මාධ්‍ය හමුවකදී කියා තිබුණා, තව රහස් තියෙනවා කියලා. මේ කියන්නේ බදු අය කරන එක ගැන. අයවැයට කලින් බදු ගැහුවත් පස්සේ බදු ගැහුවත් ඒ පීඩනය ජනතාවටමයි. ජනතාවගේ බෙල්ල ටික ටික මිරිකමින් ආදායම් හොයන්න බලාපොරොත්තු වෙනවා. සමාජ ආරක්‍ෂණ බද්දක් හැටියට හඳුන්වමින් ව්‍යාපාර පිරිවැටුම මත බද්දක් ගහලා තියෙනවා. මිලියන 120ක පිරිවැටුමක් තියෙන ව්‍යාපාරවලට 2.5%ක බද්දක් ගහලා තියෙනවා. පිරුවැටුම කියන්නේ වෙළඳාම සිද්ධ වෙන ප්‍රමාණය. වාහන අලෙවි කරන තැනක් ගත්තොත් වාහන 3ක් විකිණීමේ මුදල. ඒක ශුද්ධ ලාභය නෙවෙයි. සමහර විට මේ ආයතනයට තිබෙන්නේ අලාභයක් වෙන්න පුළුවන්. මේ ආයතනය නිෂ්පාදන සමාගමක් නම් ඒ පිරිවැටුම මත බද්දක් ගෙවන්න ඕනෑ. ඒ භාණ්ඩය විකුණන තැන පිරිවැටුමටත් බදු ගෙවන්න ඕනෑ. එකම භාණ්ඩයට ක්‍රියාවලිය තුළ අවස්ථා කිහිපයකදී බදු වදිනවා. අවසානයේ මේ බද්ද ගෙවන්නේ ජනතාවයි. අද නිෂ්පාදන කර්මාන්තකරුවාට තමන්ගේ කටයුතු පවත්වාගෙන යන්න ඩොලර් හොයාගන්න බැරිවී තිබෙනවා. සමහර ව්‍යාපාරිකයෝ ඩොලර් ප්‍රශ්නය නිසාම රට දාලා යන්න ලැහැස්ති වෙලා ඉන්නවා. මේ ආර්ථිකය පතුරුවන්න ආණ්ඩුව උත්සාහ කරන්නේ කොහොමද කියලා අපිට තේරෙන්නේ නැහැ.

අද මහා පරිමාණ ජාවාරම් කරන අයට කිසිම දඩයක් නැහැ. හැබැයි නීත්‍යානුකූල ව්‍යාපාර, බදු ගෙවන, බැංකු හරහා ගනුදෙනු කරන ව්‍යාපාරවලට දඩ ගහලා තියෙනවා. බැසිල් මහත්තයා ව්‍යාපාරිකයන්ව මේ පොළඹවන්නේ “අපිත් කරන්නේ කළු ව්‍යාපාර, උඹලත් හංගලා ව්‍යාපාර කරපල්ලා” කියන තත්වයට. රටේ අර්බුදය පෙන්වා දීලා සාමූහික ප්‍රයත්නයක් හැටියට උත්තර හොයනවා වෙනුවට හැමදෙනාගේම බෙල්ල මිරිකලා ආදායම් හොයන්න උත්සාහ කරන්නේ. මේ නිසාම වාහන ආනයනය නතර වී තිබෙනවා. අමතර කොටස් විශාල හිඟයක් තිබෙනවා. මේ නිසා රැකියා 10,000ක් පමණ අර්බුදයට ගිහින් තිබෙනවා. වාහන සහ අමතර කොටස් ආනයනකරුවන් මේ අයවැයෙන් කෝටා එකක්වත් දෙයි කියලා බලාපොරොත්තු වුණා. වාහන ආනයනකරුවන් සහ අමතර කොටස් ආනයනකරුවන් අයවැය යෝජනා ඉදිරිපත් කළා. හැබැයි ආණ්ඩුව කළේ නීත්‍යානුකූලව වාහන ගෙන්වන ආනයනකරුවන්ගේ යෝජනා කුණු බක්කියට දාලා කෑලි ගෙනල්ලා එකතු කරන කට්ටියට නීතිමය භාරයක් ලබාදෙන්න යෝජනා ගෙනාපු එක. රේගුවේ හිරවෙලා තිබෙන වාහන නිදහස් කරන්නත් සැලැස්මක් හදලා තිබෙනවා. එයින් කෝටි 400ක ආදායමක් බලාපොරොත්තු වන බව කියනවා. කෝටි 400ක් බදු ගන්න නම් කොච්චර වාහන හොරට ගෙනත් ඇතිද? මුදල් ඇමතිවරයා තමන්ගේ කල්ක්‍රියාවට අනුව රටේ ආර්ථිකය හදන්න යනවා. නීත්‍යානුකූලව ක්‍රියා කරන අය අධෛර්යමත් කරලා නීතිවිරෝධී වැඩ කරන අය ධෛර්යමත් කරන අයවැයක් මේක.

රක්‍ෂණ ප්‍රතිපත්තියක් වාහන අනතුරු වෙනුවෙන් හඳුන්වා දෙන්න යන්නෙත් එහෙම. රක්‍ෂිතයාගෙන් අමතර මුදලක් අය කරන ක්‍රියාමාර්ගයකට යන්නේ. ඒ වගේම රාජ්‍ය සේවකයන්ට සහ විශ්‍රාමිකයින්ට මුදල් වෙන් කරන එක බරක් හැටියට පෙන්වා දී තිබෙනවා. මේ අය සහ සමෘද්ධි ඇතුලු සුභසාධන වෙනුවෙන් රු. කෝටි 60,000ක් වෙන්කරන බව කියලා පොලී ගෙවන්න වියදම් කරන කෝටි 70,000ක මාස 08ක ණය පොලිය ගැන හංගනවා. පැවති ආණ්ඩු වංචා-දූෂණ සිදුකර හොරකම් කර රටේ ණය විශාල වශයෙන් ඉහළ දමා විශාල පොලියක් ගෙවීම ගැන කතා කරන්නේ නැහැ. නමුත් මහජන මුදල් රාජ්‍ය සේවකයින් වෙනුවෙන් වියදම් කරන්න බැරිලු. හැබැයි ඒ අතර පළාත් පාලන කොට්ඨාස, පළාත් පාලන ආයතන, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ මන්ත්‍රීවරුන්ට ආන්ඩුවේ ගම සමග පිළිසඳර වෙනුවෙන් කෝටි 8,500ක් වෙන්කර තිබෙනවා. ඊළඟ ඡන්දය කරන්න සූදානමින් හරි ගමට වැඩක් වෙනවා කියලා අපි හිතමු. නමුත් මේ වැඩවලට පිටරටින් බඩු ගේන්න කොච්චර මුදලක් ඕනෑ වෙනවාද? සල්ලි අච්චු ගහලා රු. 1000ක් එළියට දැම්මත් ඒකෙන් රු. 700ක් විතර ඩොලර් කරන්න ඕනෑ. කම්බි, සිමෙන්ති, යකඩ කියන මූලික අවශ්‍යතා පිටරටින් ගේන්න ඕනෑ. අච්චු ගහලා දාන හැම රුපියල් 1000කටම රුපියල් 700ක් විතර ඩොලර් ගේන්නේ කොහෙන්ද? ඡන්ද කරන්න සල්ලි බෙදුවත් ඒ වැඩවලට අන්තිමේ ඩොලර් හොයන්න ඕනෑ.

අපේ රටේ දැන් තිබෙන ප්‍රධාන අර්බුදය විදේශ විනිමය අර්බුදය. ඊට විසඳුම් සොයන්න අයවැයෙන් යෝජනා නැහැ. ගොවියා පොහොර හොයනකොට ආණ්ඩුව බයිලා කීවාට වැඩක් නැහැ. මුලු පොහොර ආනයනයට යන වියදම වගේ නව ගුණයක් කෘෂිකාර්මික අපනයනවලින් විදේශ විනිමය උපයා තිබෙනවා. තේවලට පොහොර නැතිවුණොත් ඒ අපනයන ආදායම සම්පූර්ණයෙන් බිඳ වැටෙනවා. වැවිලි කර්මාන්තයත් එක්ක වැහිලා යන්න ඉඩ තිබෙනවා. නමුත් වැවිලිකරුවන්ගේ සංගමය බැසිල් මහත්තයා හම්බවෙලා යෝජනා දුන්නා. නමුත් අයවැයෙන් උත්තරයක් නැහැ. ඔවුන්ටත් මහපාරට බහින්න සිදුවෙලා තියෙනවා. කොතරම් අර්බුදයක්ද කියනවා නම් අද වෙනකොට තෙල් පිරිපහදුව වහන්න සිදුවී තිබෙනවා. ගම්මන්පිල ඇමතිවරයා මාධ්‍ය හමුවකදී එක අවස්ථාවක කියනවා අවුරුදු 50කින් අලුත්වැඩියා කර නැති නිසා ඒ වෙනුවෙන් වහනවා කියලා. තවත් තැනක කියනවා, විදේශ විනිමය අර්බුදය විසඳාගත් වහාම සක්‍රිය කරනවා කියලා. තවත් අවස්ථාවක කියනවා, තෙල් පිරිපහදුවේ අභ්‍යන්තර කාරණා රටට කියන්න ඕනෑ නැහැ කියලා. කියන්නේ මොනවාද කියලාවත් ඒ අයට තේරෙන්නේ නැහැ. ඇත්ත කාරණාව විදේශ විනිමය එක්ක ගැට ගැහිලා තියෙන තෙල් පිරිපහදුව වහන්න යන්නේ. අලුත්වැඩියා කිරීමේ ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. බොරතෙල් ටෙන්ඩරයට ඉල්ලුම් කළේ විටෝල් කියන සමාගම විතරයි. ලබන මාසේ මේ සමාගමෙන් බොරතෙල් නැවක් ගේන්න තිබුණත් ඒ වෙනුවෙන් ගෙවන්නත් ඩොලර් නැහැ. මේ නිසාම ගුවන් යානා තෙල් සැපයීම නතර වීමෙන් එයා ලංකා සමාගම වහන්න වෙනවා.
ඊළග ප්‍රශ්නය දෙසැම්බර් මාසය වනවිට ගල් අඟුරු ඉවර වෙනවා. මේ නිසා විදුලි බල සැපයුමටත් ප්‍රශ්නයක් වී රටේ මිනිසුන්ට ඉන්න වෙන්නෙ කළුවරේ. විදුලි බල මණ්ඩලයට ඩීසල් බලාගාර දුවවන්න තෙල් ගේන්න විදිහකත් නැහැ. ඒ පතුලේ තිබෙන්නේ ඩොලර් අර්බුදය. මේ තරම් අර්බුදයක් තිබෙද්දී බැසිල් රාජජපක්‍ෂ මහත්තයාගේ පවුලේ අයගේ පැටිකිරිය කියල මිනිස්සුන්ට වැඩක් නැහැ. රාජපක්‍ෂ පරම්පරාවේ පැටිකිරියෙන් රටේ මිනිස්සුන්ගේ බඩගින්න නිවෙන්නේ නැහැ. ඇත්ත ප්‍රශ්නයට උත්තර හොයන්න ඕනෑ. ඇත්ත ප්‍රශ්න කිසිම දේකට මේ අයවැයෙන් උත්තර හොයලා නැහැ. අර්බුදය එක පාරක, අයවැය තව පාරක යන්නේ. උත්තර හොයන පැත්තට හැරිලවත් නැහැ.

අයවැයෙන් පස්සේ මාධ්‍ය හමුවකදී බැසිල් මහත්තයා රාජ්‍ය සේවය බරක් කියලා තිබුණා. නමුත් මේ කොවිඩ් වසංගතය මැද්දේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නිලධාරීන් ඇතුලු සියලුම සෞඛ්‍ය කාර්ය මණ්ඩල වගේම හමුදාවේ පොලීසියේ මහත්තුරුත් බරක්ද? ඒ වගේම මැතිවරණයක් වෙලාවක, ආපදා සිදුවුණු වෙලාවක කටයුතු කරන වගේම මැතිවරණ කාලවල රාජකාරී නිවාඩු අනුමත කරගෙන පොදුජන පෙරමුණු කාර්යාලවලට අනුයුක්ත කළ අය දැන් පේන්නේ බරක් කියලාද? රාජ්‍ය සේවකයින්ට තමන් කළ ගොංකං ටික මතක් කිරීම පිළිබඳව බැසිල් මහත්තයාට අපි ස්තුතිවන්ත වෙනවා. තැපැල් ඡන්දවලින් වැඩියෙන්ම දීලා පත්කළ ආණ්ඩුවේ බැසිල් ඇමති දැන් කියනවා බරක් කියලා. අපට කියන්න තියෙන්නේ රටට උහුලන්න බැරි රාජ්‍ය පවුලේ බර දැන් තියෙන්නේ කියලා. රාජ්‍ය සේවකයින්ට විතරක් නෙවෙයි ගොවි ජනතාවටත් මුලු රටේම ජනතාවටත් දැන් මේ බර දැනෙනවා. රාජපක්‍ෂ පවුලත් ඒ වටේ ඉන්න හොර නඩයත් ව්‍යාපාරික නඩයත් නිසා මේරටේ සමස්ත කර්මාන්තකරුවන්ට සහ ව්‍යාපාරිකයින්ට බදු ගෙවන්න සිදුවී තිබෙනවා. රාජ්‍ය සේවකයන් නඩත්තු කිරීම නෙවෙයි අපේ රටේ ජනතාවට බර. මේ රාජපක්‍ෂ පවුලේ සහ සමීපතමයන්ගේ හොරකං, වංචා-දූෂණ එක්ක මේ සියලු දෙනා නඩත්තු කරන එකයි දරාගන්න බැරි බර.

මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අවුරුදු 5 ඉඳලා 10 දක්වා දීර්ඝ කරලා. අපි හැමදාම යෝජනා කළේ මන්තීරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරන්න කියලයි. 2001 අපි පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හැටියට මේ බව ඉදිරිපත් කළා. ඒ යෝජනාව පැරැද්දුවේ ඔය දෙගොල්ලම එකතු වෙලා. විශ්‍රාම වැටුපක්, වෙනම රක්‍ෂණ ක්‍රමයක් මන්ත්‍රීවරුන්ට තියෙද්දී ජනාධිපති අරමුදලෙන් සෞඛ්‍ය වෙනුවෙන් වෙනම සල්ලි ගන්නේ ඇයි? ඒවා අහෝසි කරන්න ඕනෑ. වාහන පර්මිට් දෙන එක අයින් කරන්න ඕනෑ. යුද්ධයක් නැති කාලේ පිරිවරාගෙන යන ආරක්‍ෂකයින් නවත්වලා පෙන්වන්න ඕනෑ.

බැසිල් රාජපක්‍ෂ මහත්තයා මේ අයවැය කතාව අවසන් කළේ අපේරාටේ ජනතාවාදී විශිෂ්ඨතම සාහිත්‍යකරුවෙකු වූ මහගම සේකරයිනුත් මේකට ඈඳාගෙනයි. ඒ නිසා අයවැය ගැන අපේ අදහස් දැක්වීමත් මම අවසන් කරන්නේ ඒ ඈඳා ගැනීමෙන්ම. මහගම සේකරයන්ට උපරිම ගරුත්වයෙන් ඒ කවිය මම වෙනස් කරනවා. මහගම සේකරයන් එදා මේ හාදයෝ මෙහෙම දේකට පාවිච්චි කරයි කියලා හිතලා නැහැ. ඒ නිසා එතුමන්ට නිසි ගරුත්වය සහිතව පුංචි එකතු කිරීමක් කරනවා. ධර්මේ, කාසිම්, රාජසුන්දරම්, මෙහෙ වරෙල්ලා… අපි ඔක්කොම එකතු වෙලා, මේ පල් හොරු ටික පන්නලා මේ ලෝකය යහපත් තැනක් කරමු මීට වැඩිය.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්…

ගුරුවරුන්ට ලැබෙන්නේ බැසිල් රාජපක්‍ෂ මහත්තයලා දීපු දෙයක් නෙවෙයි. ඔවුන් නොදී ඉන්න හදපු හැබැයි, ගුරුවරු අරගල කරලා දිනාගත් දෙයක්. මේ අයවැයෙන් ජනතාවට දෙයක් ලැබුණා නම් ඒ එකම දෙය ගුරුවරු අරගල කරලා දිනාගත් දේ විතරයි. මේ ගොල්ලන්ගෙන් බලෙන් ගත්තොත් මිස එහෙම නැතිව ගන්න බැහැ. අපේ රටේ ගුරු විදුහල්පති වෘත්තීය සමිති සහ ඊට උදව් දුන් දෙමව්පියන් ඇතුළු හැම දෙනාම ඔප්පු කළේ උත්සාහ කළොත් ඉබ්බන්ගෙන් පිහාටු ගලවන්න පුළුවන් කියලා. ඒකත් ප්‍රමාණවත් නැහැ. තුනෙන් පංගුවකට බෙදලා ඒ එක පංගුවක් නැවත තුනකට බෙදලා නමයෙන් එකක් දෙන්න හදපු දේ අරගලයේ ප්‍රතිඵලයක් හැටියට තුනෙන් පංගුවක් දිනාගත්තා. ඔවුන් මුලදී කීවේ මේ වෙලාවේ මේ ඉල්ලීම කරන එක වැරදියි, උද්ඝෝෂණය කරන එක වැරදියි, අසාධාරණයි කියලා. සල්ලි කොහෙද තියෙන්නේ කියලා ඇහුවා. හැබැයි නැති සල්ලි ගත්තේ දින 122ක් මහපාරේ උද්ඝෝෂණ කරලා. මේක ආණ්ඩුව දුන්න දෙයක් නෙවෙයි ජනතාව දිනාගත් දෙයක්. මේක ක්‍රියාත්මක නොකළොත් ගුරුවරුන්ටත් කලින් දෙමාපියන් පාරට බහියි කියලා හිතනවා.

Related Posts