අත්‍යවශ්‍ය භාණ්ඩ හතරක ‘හිඟයක්‘ ඇති බව මුදල් ඇමති බැසිල් නිල වශයෙන් පිළිගනී

Spread the love

කිරිපිටි, ගෑස්, තිරිගු පිටි සහ සිමෙන්ති යන අත්‍යාවශ්‍ය භාණ්ඩවල සුළු හිඟයක් පවතින බවත් ආනයනික භාණ්ඩ වඩාත් විනිවිදභාවයෙන් සාමාන්‍ය ජනතාව වෙත ළඟා වන ඵලදායී යාන්ත්‍රණයක් පිහිටුවීමේ හදිසි අවශ්‍යතාවක් පවතින බවත් මුදල් අමාත්‍යාංශය පවසයි.

අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති නොවීමට වගබලා ගැනීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිවරයා පත්කළ කමිටුවේ මංගල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.

කිරිපිටි, LP ගෑස්, තිරිඟු පිටි සහ සිමෙන්ති වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ හතරක සුළු හිඟයක් මේ වන විට පවතින නමුත් අනෙකුත් සියලුම ද්‍රව්‍ය ප්‍රමාණවත් තරම් තොග අතේ ඇති බව අමාත්‍යාංශය පවසයි.

එපමණක් නොව වෙළෙඳසල් හිමියන් තමන්ට අවශ්‍ය පරිදි මිල තීරණය කිරීමේ ප්‍රවණතාවක් පවතින බැවින් වෙළෙඳසල්වල භාණ්ඩවල මිල පැහැදිලිව ප්‍රදර්ශනය කිරීමේ වැදගත්කමද මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දී ඇත.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය පිළිබඳව පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් දෛනිකව නිරීක්ෂණ සිදු කර වාර්තාවක් සම්පාදනය කළ යුතු බවත් එමඟින් ආනයනික භාණ්ඩ බෙදා හැරීමේ විෂමතාව හඳුනාගත හැකි බවත් ඔහු අවධාරණය කළේය.

මේ අතර පවතින විදේශ විනිමය අර්බුදය තාවකාලික තත්ත්වයක් බව ද මුදල් අමාත්‍යවරයා පවසා ඇත.

Related Posts