මිනිස් චින්තනය ඉදිරිගාමි වන සාධකයක් වන්නේ දේශපාලනයයි. හිතේ අමාරුවකට හෝ වෙනයම් අමාරුවකට හෝ දේශපාලනඥයා ප්‍රතික්ෂේප කිරීමෙන් සිදු වන්නේ දරුණු ඒකාධිපතියකුගේ වැඩවසම් යටත්විජිතයක ජීවත් වීමට අපට සිදු වීමය. මේ සම්බන්ධයෙන් යම් ප්‍රඥාවක් නැති සමහර මධ්‍යම පාන්තික කොටස් හෙට දවසේ මේ රටට තද පාලකයකු ඉල්ලා සිටී. එවන් පාලකයන් තම දරුවා කප්පම් උදෙසා පැහැරගෙන යන තුරුම ඒ අයට ප්‍රඥාව පහළ වන්නේ නැත. එහෙත් අනෙක් අතට වත්මන් ඇතැම් දේශපාලනඥයන්ගේ ක්‍රියා කලාපයද මෙවන් සිතිවිලිවලට හේතු වී තිබෙන බව පෙනේ. පාර්ලිමේන්තුවේ 225ම එපා යැයි බොහෝ දෙනකු සඳහන් කරන්නේ ඒ නිසාය.
එහෙත් දේශපාලකයන් ප්‍රතික්ෂේප කරමින් සොයන පාලන රික්තයට හමුදා ප්‍රධානීන් ආදේශ කරන මානසිකත්වය නිර්මාණය වන්නේ කෙසේදැයි සිතාගත නොහැකිය. එය රටටම විනාශය කැඳවන නරුම මානසිකත්වයකි. මීට හොඳම උදාහරණය හිට්ලර්ය. මාධ්‍ය විසින් බැටළුවන් බවට පත් කරමින් සිටින අතීතයේ වැඩ පෙන්නා ඇති හමුදා චරිත අද “රියැලිටි ෂෝ” විලාසයෙන් දේශපාලන කරළියට ඉදිරිපත් වන්නේ මේ නිසාය. මේ කඳවුරු දෙකටම අයත් “රියැලිටි ෂෝ” අපේක්ෂකයෝ ඉදිරි ජනාධිපතිවරණය සඳහා සූදානමින් සිටිති. මේ රටේ දේශපාලන ක්‍ෂේත්‍රය කොතරම් පසුගාමි තැනකට ඇදදමා තිබේද යන්න මින් පැහැදිලිය. සමස්තයක් වශයෙන් ගත් කල වර්තමානයේ දේශපාලනයේ යෙදෙන බහුතරය පිළිබඳ කලකිරීමක් ඇති වුවද අඩුම තරමින් ප්‍රාදේශීය සභා දේශපාලනයකවත් යෙදී නොසිටි පිටස්තර චරිත ජනාධිපති අපේක්ෂකයන් ලෙස බව්තීස්ම කිරීම අණුවන චින්තනයකි; යළිත් වතාවක් පසුතැවිලි වීමට හේතුවක් සාදා ගැනිමකි.
මේ නිසා කොතරම් අඩු-පාඩු පැවතියද අපට තෝරාගැනීමට සිදු වන්නේ මේ දේශපාලන ක්ෂේත්රයේම සිටින නිර්මල චරිතයකි. එහෙත් සැබවින්ම අද එබඳු චරිත සිටීද?
රට එතරම්ම අවාසනාවන්ත නැත. එවන් චරිත මේ රටේම සිටී. මේ දිනවල එවන් චරිත පිළිබඳ කතාබහක් ඇති වෙමින් පවතී. රටම පෙළගැසෙමින් පවතින්නේ ඒ දෙසටය.
මේ රටේ ඕනෑම මැතිවරණයකදී වහලුන් සේ ඇස්-කන් පියාගෙන ඡන්ද පොළට යන පිරිසක් සිටිති. එ් ප්‍රමාණය 40%කට ආසන්නය. කවුරුන් කුමන දේශපාලකයන් ප්‍රතික්ෂේප කළත් එසේ ඡන්දය දෙන එකී 40%ක පිරිස අතුරින් නායකයකු හෝ දේශපාලන කණ්ඩායමක් රට බාරගැනීමටද ඉඩ-කඩක් නැතිවාම නොවෙයි. මීට හොඳම නිදසුන පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයයි. මේ වන විට මන්ත්‍රීවරුන් වූ සමහරුන්, හිස් මිනිසුන් බවට පත්ව ඇත. ඒ සම්බන්ධයෙන් ජනතාවගේ අඳෝනාද අසන්න ලැබේ. මේ නිසා දේශපාලනඥයන් ප්‍රතික්ෂේප කරන පිරිසට සිදු වන්නේ එක්කෝ මේ 40% පිරිසට එකතු වීමටය; නැත හොත් ඔවුන්ගේ තීරණයට අවනත වීමටය.
දෙවැනි කරුණ වන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකටම මේ රටේ මැතිවරණයකට තනිව තරග කර ජනාධිපතිවරයකු හෝ ආණ්ඩුවක් හෝ ලබා ගැනීමට නොහැකි වීමයි.
ඒ අතර මේ වන විට ප්‍රධාන පක්ෂ දෙකෙහිම ඇතැම් පාක්ෂිකයෝ අඳ ගොළු බිහිරි පාක්ෂික භාවයෙන් ඉවත් වී නිදහස් ඡන්දදායකයන් බවට පත්ව සිටිති. මීට අමතරව අලුතින් එකතු වන තරුණ ඡන්ද දායකයන්ද නායකයාගේ මට්ටම හා ඒ මොහොතේ ප්රවණතා ගැන කල්පනා කරන නිර්පාක්ෂික පිරිසක් බවට පත්ව ඇත. 2015 ජනවාරි 08 වැනිදා ජනාධිපති මෛත්‍රීගේ ජයග්‍රහණයේ තීරණාත්මක පිරිස බවට පත් වූයේ මේ නිර්පාක්ෂින ඡන්දදායකයාය. ඒ පිරිස හා වාමාංශික කොටස් ප්‍රථම වතාවට එක්සත් ජාතික පක්ෂය මූලික වූ පෙරමුණකට සාම්ප්‍රදායික එජාප විරෝධය පසෙක දමා තම ඡන්දය භාවිත කළහ. මේ නව ප්‍රවණතාව ගැන කල්පනා නොකරන පිරිස් අද එක්සත් ජාතික පක්ෂයේ හා පොහොට්ටු පෙරමුණේ සිටින බව පෙනේ. ඒ අතර ග්‍රාමීය මට්ටමේ යූඑන්පීකාරයා හොඳයැයි සිතන වීර චරිත එජාප ඡන්දවලට පමණක් ආකර්ෂණය වූ චරිත විය හැකිය.
මොන කඳවුරෙන් ආවත් ගම කියන්නේ ලෝකය යැයි සිතා සිටින ඝෝෂාකාරයකුට අද රට වැටී ඇති ආගාධයෙන් කිසි සේත් ගොඩ ගත නොහැකිය. එසේම ණය බරින් මිරිකුණු රටක ජනතාවට සහනාධාර බෙදනවායැයි බොරු පොරොන්දු දෙමින් හරවත් දෙයක් ගැන කතා නොකරන බොල්පිළිම දේශපාලනය මේ වන විට අවසන් වී ඇති බව මේ අයට නොතේරීම කනගාටුදායකය.
මේ නිසා අප සොයාගත යුතු වන්නේ කොහොමත් ලැබෙන පාක්ෂික ඡන්ද ගොඩට අලුතින් ඡන්ද එකතු කරගත හැකි, පාක්ෂික නොවන ඡන්ද දිනාගත හැකි අපේක්ෂකයෙකි.
මේ වන විට පැරණි එජාප විරෝධී කඳවුර වශයෙන් නාමධාරි වූ, ප්රගතිශීලීන් ලෙස අතීතයේ පෙනී සිටි පිල දිය වෙමින් පවතී. ඔවුහු ජාතිවාදයට යට වුණු, අන්තවාදි ලෙස එක් ජාතිකත්වයක් හා ආගමක් ගැන පමණක් කල්පනා කරන, බොරු අධිරාජ්‍ය විරෝධි කඳවුරක් බවට පත්ව සිටිති. ඔවුන් අධිරාජ්‍යවාදීන් සමඟ ගිවිසුම් අස්සන් කළ අමෙරිකානු පුරවැසියන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ආදේශ කරන තැනට බංකොලොත් වී ඇත.
මේ අය අතර සිටින සමහරුන් කල්පනා කරන්නේ මේ නැනෝ තාක්ෂණික යුගයේ රජ කෙනකු සහිත වැඩවසම් පාලනයක් ගැනය. ‘මහරජාණෝ‘ සංකල්පය හිමි වන්නේ මේ වැඩවසම් සන්දර්භය තුළය. මේ රටේ පැරණි වම මේ අය සමඟ පෑහෙන්නේ සමාජවාදය වෙනුවට අවස්ථාවාදය කරට ගෙන සිටීම නිසා විය යුතුය.
මේ නිසා සම්ප්‍රදායික යූඑන්පී විරෝධය අද දුගඳ හමන දිරා ගිය කඩමාල්ලක් බවට පත්ව ඇත. අද වන විට ජාතීන් අතර එකමුතුව, ශ්‍රී ලාංකික අනන්‍යතාව හා ශ්‍රී ලාංකික ජාතිය ගොඩනැගීම එජාපය ප්‍රමුඛ දේශපාලන සන්ධානය විසින් නායකත්වය දෙන කාර්යයක් බවට පත්ව තිබේ. අද මේ රටේ ප්රගතිශීලිත්වය නියෝජනය කරන්නේ මේ කඳවුර බව පැහැදිලිය. ජාතිවාදය හෝ ආගම්වාදය උසිගන්වා බලය අත්පත් කරගන්නා කඳවුරට අවාසනාව හා පසුගාමිත්වය හැරෙන්නට මේ රටට දිනා දිය හැකි කිසිවක් නැත. එහෙත් ඒ කඳවුරේ සුළු පිරිසකට ආවේණික හොරකම නම් භීෂණය හා දූෂණය මැද්දේ ගන සැරේට කළ හැකිය. මේ ජනාධිපතිවරණයෙන් ඔවුන් ඒ සඳහා ජන අනුමැතියක් අපේක්ෂා කරන බව පෙනේ. කෙනකුට දුර-දිග කල්පනා කරන බුද්ධියක් අවශ්‍ය වන්නේ මෙය තේරුම් ගැනීමටය.
එජාප පිලේ හොරුන් නැතැයි මින් අදහස් නොවේ. පැරණි හොරුන්ගේ නඩු-හබ ඇදි-ඇදී යෑමට ඉඩ සලසා තිබෙන්නේ ඒ සඳහා වාගේය. සමහර නඩු ඉදිරිපත් කර ඇතිතේම දුර්වල පැමිණිලි ලෙසිනි. මෙය තමන්ට ජය ගත හැකියැයි සිතාගෙන සිටින වත්මන් හොරුන් පැරණි හොරුන්ගෙන් රැකවරණ අපේක්ෂා කරනවා වාගේය. එහෙත් සමස්තයක් වශයෙන් ගත් කල එදාට වඩා නිදහසක් ප්රජාතන්ත්රවාදයක් වර්තමානයේ රටේ පවතින බව පිළිගැනීමට සිදු වේ.
2020ට අපට අවශ්‍ය වන්නේ දෙපැත්තේ හොරුන්ගේ ඩීල් ප්‍රතික්ෂේප කරන, මේ රට මීට වඩා හොඳ තැනකට ඔසවා තැබිය හැකි දෑහිතකාමි, අත්දැකීම් සහිත පරිණත නායකයෙකි. ඔහු මේ දේශපාලන මඩ ගොහොරුවෙන් මතු වන අරවින්දයක් බඳු අයෙක් විය යුතුය.
හෙට දවසේ ශ්‍රී ලංකාව බාර දිය යුත්තේ එවන් නායකයකුටය. ඕනෑම කෙනකුට කැත නැතුව හිතට එකඟව දේශපාලනය කළ හැකි වන්නේ එවන් නායකයකු සමඟය. ඔහු පවුල්වාදය හා ආගම්වාදය ප්‍රතික්ෂේප කරන දේශීයත්වය හඳුනන නායකයකු විය යුතු බව අමුතුවෙන් කිව යුතු නැත. ඔහු අතේ ලේ නොතැවරුණු, භීෂණයට සම්බන්ධ නැති, හොරකු නොවන අයෙක්ද විය යුතුය.
මේ සුවිශේෂ මිනිසා මෙන්ම අත්දැකීම් සහිත දේශපාලනඥයා අප අතර සිටීද? සත්‍ය වශයෙන්ම සිටී. ඔහු සූදානම්ද? කවුරුත් එක් වී ඒ වගකීම භාර දෙන්නේ නම් ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රතික්ෂේප කරන තැනක ඔහු නොසිටින බව පෙනේ.
ඔහු නම් අන් කවරකු වත් නොව; ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වත්මන් කථානායක කරු ජයසූරියයි. වත්මන් දේශපාලනයේ නියැළී සිටින, ඉහත සඳහන් සාධනීය ලක්ෂණ සියල්ල එකට කැටි වූ එකම මෙන්ම අවසන් නායකයාද කරු විය හැකිය. කාරණාකාරණ විමසිල්ලෙන් සොයා බලන විට මෙය සිහිබුද්ධියක් ඇති ඕනෑම කෙනෙකුට තේරුම් යනු ඇත.
එහිදී ඇතැමුන් ඇඟිල්ල දිගු කරන්නේ ඔවුගේ වයස දෙසටය. ජේආර් ප්‍රථම වරට 1977දී මේ රට භාර ගත්තේ තරුණයකු ලෙස නොවේ. කොහොමටත් ආසියානු දේශපාලනයේ රාජ්‍ය නායකත්වයට වයස ප්රශ්නයන් නොවේ. මහතීර් මොහොමඩ් මෙවර මැලේසියාව බාර ගන්නේ වයස අවුරුදු 91දීය.
වැදගත් වන්නේ අවංකකම, කළමනාකරණය හා සුදුස්සා සුදුසු තැනට පත් කර රට මෙහෙයවීමය; රට මීට වඩා හොඳ තැනක තැබීමය. කරූට ඒ ශක්තිය තිබෙන බව දින 52 පාලනයේදීද පැහැදිලිව ප්‍රදර්ශනය කර ඇත. එසේ නම් ‘කරූ‘ අමතක කර මේ රටේ යුක්ති ගරුක ජනතාවට මෙවර ජනාධිපතිවරණයේදී ජයග්‍රහණයක් අත්පත් කරගත නොහැකි බව පැහැදිලිය.
-දර්ශන ඒකනායක-