එජාපයේ තවත් කොල්ලයක්: EAP කුණුකොල්ලයට විකුණා සිදුකළ මංකොල්ලය එළියට! (Video)

Spread the love

ලොව බොහෝ රටවල් මුදල් විශුද්ධිකරණ චෝදනා හා ව්‍යාපාර කටයුතු සඳහා ත්‍රස්තවාදී අරමුදල් යොදාගත් ව්‍යාපාරිකයකු ලෙසත් චෝදනා එල්ල කර ඇති පුද්ගලයකුට මෙරට දේශීය ව්‍යාපාර කුණු කොල්ලයට ලබාදීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු ආණ්ඩුව ක්‍රියාත්මක වී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පවසයි.

මන්ත්‍රිවරයා මේ බව කීවේ පෙරේදා (10) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඊ.ඒ.පී. සමූහ ව්‍යාපාරය සතුව සෝමා එදිරිසිංහ මැතිනිය මිය යෑමට පෙර ආයතන රැසක් තිබුණා. එහි කඩා වැටුණු මූල්‍ය ආයතනය හැර අනෙකුත් ආයතන සියල්ලම පාහේ මහ බැංකු අධිපතිවරයාගේ ආශීර්වාදය මෙන්ම ආණ්ඩුවේ අගමැති ඇතුළු ඇමැති මණ්ඩලයේ ආශීර්වාදය යටතේ ප්‍රභාෂ්කරන් අල්ලිරාජා හෙවත් කුප්‍රකට ලයිකා මොබයිල් කියන ආයතනයේ අධිපතිත්වය දරන්නාගේ සමාගමකට ඉතාමත් අඩු ලංසුවකට ලබා දෙනු ලැබුවා.

මේ ගනුදෙනුව ප්‍රථමයෙන්ම සිදුවන අවස්ථාවේදී ඒ දේපොළවල වටිනාකම තක්සේරු කරන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 55කට. ඊට වඩා වැඩි ලංසුවකට දේශීය ව්‍යාපාරයක් වන ශ්‍රී ක්‍රිෂ්ණ ඉන්වෙස්ට්මන් සමාගම විසින් ඉදිරිපත් වෙනවා. ඉන්පසුව මේක ලයිකා මොබයිල් හිමිකරුට ලබා දීම සඳහා කරන්නේ මීට තවත් දේපළ ප්‍රමාණයක් එකතු කොට ඇමෙරිකානු ඩොලර් මිලියන 60කට මේක වටිනාකම තක්සේරු කිරීමයි. ඉන්පසුව දේශීය ව්‍යාපාරිකයා මේක ඇමෙරිකානු ඩොලර් මිලියන 61කට ලබා ගැනීමට ඉදිරිපත් වෙනවා.

පසුව සිදුවන්නේ නැවතත් තවත් දේපළ ප්‍රමාණයක් මීට ඇතුළත් කොට ඇමෙරිකානු ඩොලර් මිලියන 75කට වටිනාකම වැඩිකරලා දේශීය ව්‍යාපාරිකයාට මෙය ගැනීමට ඇති ඉඩ කඩ අහුරනවා. එසේ දේශීය ව්‍යාපාරිකයාට මෙය ගැනීමට නොහැකිවන සේ කටයුතු සම්පාදනය කොට කොටස් වශයෙන් ගෙවීමේ පදනම මත ඉතාම සූක්ෂ්ම ලෙස ලයිකා මොබයිල් ආයතනයේ අධිපති සුභාෂ්කරන් අල්ලිරාජා කියන ලොව බොහෝ රටවල් මුදල් විශුද්ධිකරණය චෝදනාව යටතේ ඒ රටවල ව්‍යාපාර කටයුතු සඳහා වැද්දානොගත්, මෙන්ම ත්‍රස්තවාදී අරමුදල් ව්‍යාපාර කටයුතු සඳහා යොදා ගැනීම කියන චෝදනාව යටතේ ඒ රටවල ව්‍යාපාර කටයුතු සඳහා අවස්ථාව නොදෙන පුද්ගලයාගේ සමාගමට ඉඩ වෙන් කර දෙනවා.

සුභාෂ්කරන් අල්ලිරාජාට අයත් ඔහුගේ පවුලේ සාමාජිකයන්ට අයත් කොටි සල්ලිවලින් හදපු ලයිකා මොබයිල් ආයතනයේ අධිපතිවරයාගේ සමාගමකට තමයි මෙසේ දේශීය ව්‍යාපාරිකයාට අවසාන වශයෙන් ඉදිරිපත් වීමට තිබූ අවස්ථාවත් නැති කරලා ඉතාමත් සැලසුම් සහගතව කොටස් වශයෙන් මුදල් ගෙවීමේ පදනම මත සියලු ආයතන පවරනු ලබන්නේ.

මේ තමයි ඒ කූට ගනුදෙනුව සිදුවෙච්ච වංචනික ආකාරය. මොවුන් මුලින්ම මහ බැංකුවට ලයිකා මොබයිල් සම්බන්ධය පෙන්නන්නෙ නෑ. අපට තිබෙන තොරතුරුවලට අනුව ආණ්ඩුවේ ප්‍රබල තනතුරක් දරන පුද්ගලයෙක් උපදෙස් දුන්නා සුභාෂ්කරන් අල්ලිරාජාගේ සම්බන්ධය නොපෙනෙන ආකාරයට මේ ගනුදෙනුවට අවතීර්ණ වෙන්න කියලා.

සුභාෂ්කරන් අල්ලිරාජාගේ හිතවතුන් දෙදෙනෙක් ඇතුළත් කරලා ආයෝජකයකු ලෙස සිංගප්පූරුව පදනම් කරගත් ආයතනයක් වන බ්ලූ සමිට් කැපිටල් මැනේජ්මන්ට් (පෞද්) සමාගම කියන ආයතනයයි මේ මිලදී ගැනීම් සඳහා ඉදිරිපත් වන්නේ.

මීට මහ බැංකු අනුමැතිය එනතුරු, ඒ කියන්නේ 2018/01/12 වන තුරු මිලදී ගත් ආයතන තිබුණේ බ්ලූ සමිට් සමාගම සතුවයි. 2018/07/05 වන විට බ්ලූ සමිට් එක සතුව 100% ක්ම තිබුණු කොටස්වලි 59.9%ක් ඔවුන් විකුණනවා. පෙටිකෝ කියන සමාගමට තවත් සුළු සුළු කොටස් කිහිපයකුත් විකුණනවා. එහිදී එක් ආයෝජකයකුට 0.1%, ජේ.එස්. එනර්ජි සමාගමට 39.9% ක් ලෙසින් සුළු සුළු කොටස් විකුණුවද වැඩිම කොටස් ප්‍රමාණය පෙටිකෝ කියන සමාගමට ලබා දෙනවා.

2018 ජූලි 24 වැනිදා වන විට බ්ලූ සමිට් සමාගමේ 100%ක් පෙටිකෝ කියන සමාගමට ලබා දෙනවා. මේ පෙටිකෝ කියන ආයතනයේ හිමිකරුවන් තමයි සුභාෂ්කරන් අල්ලිරාජා සහ ඔහුගේ බිරිය.

ගනුදෙනුව සිද්ධ වෙනකොට සුභාෂ්කරන් අල්ලිරාජා පෙටිකෝ හැටියට ඉදිරිපත් වුණේ නැහැ. පෙටිකෝ හැටියට මේ ගනුදෙනුවට ආව නම් සුභාෂ්කරන් අල්ලිරාජාගේ සම්බන්ධය ඔප්පු කළ හැකි ආකාරයට විවෘත වෙනවා. පෙටිකෝ සමාගම මේ කොටස් 100%ක් ගත්තට පසුව ඊ.ඒ.පී. ආයතනවල කොටස් බෙදිලා තියෙන්නේ ඊ.එෆ්.ටී 60%ක් බෙන් ගෝල්ඩින් පෞද් සමාගමට දීලා තියෙනවා. මේ බෙන් ගෝල්ඩින් කියන්නෙත් සුභාෂ්කරන්ම සල්ලි දීලා එවපු කෙනෙක්ගේ සමාගමක්. මේ ඇලෙක්ස් ලෝ වෙල් කියන බෙන් ගෝල්ඩින් හිමිකරුට ඇමෙරිකානු ඩොලර් මිලියන 15ක් වැනි විශාල මුදල් සම්භාරයක් හම්බුණේ කොහෙන්ද කියලා මහ බැංකුව හොයලා නැහැ. අපි දන්න විදියට මේ සුභාෂ්කරන් අල්ලිරාජාගේම සල්ලි තමයි බෙන් හෝල්ඩින් එක හරහාත් මේ ගනුදෙනුවට ආවේ.

එවිට ඊ.එෆ්.ටී. ආයතනයේ 60%ක් කොටස් බෙන් ගෝල්ඩින්ස්ලටත් 40%ක් බ්ලූ සමිට් කැපිටල් මැනේජ්මන්ට් (පෞද්) සමාගමට . අනික ඊ.බී.සී කියන ආයතනයේ 60%ක් බෙන් ගෝල්ඩින්ස්ලටත් 40% බ්ලූ සමිට් කැපිටල් මැනේජ්මන්ට් සමාගමටත්. ඒ වගේම එස්.එන්.ජේ. කියන ආයතනයේ 60%ක් බෙන් ගෝල්ඩින්ස්ලටත් 40%ක් බ්ලූ සමිට් සමාගමටත් හිමි වෙලා තියෙනවා.

බෙන් ගෝල්ඩින් එක 60%කුත් බ්ලූ සමිට් එක 40% කුත් හිමිකාරීත්වය දරන ඊ.බී.සී. එක යටතේ තියෙනවා. 100%කම කොටස් සතු ගැලෙක්සි ලෑන්ඩ් මාර්ක් ලිමිටඩ්, කලම්බු කොමියුනිකේෂන් ලිමිටඩ්, ඊ.ටී.වී. මැනේජ්මන්ට් සර්විසස් ලිමිටඩ්, ස්වර්ණ සොලුයුෂන් ලිමිටඩ් වැනි ආයතන පද්ධතියක්ම මේ ගනුදෙනුව හරහා එල්.ටී.ටී.ඊ. අරමුදල්වලින් ව්‍යාපාර කරන, මුදල් විශුද්ධිකරණය පිළිබඳ බරපතළ චෝදනාවලට මුහුණදී සිටින සුභාෂ්කරන් අල්ලිරාජාගේ කූට ව්‍යාපාර ජාලය යටතට යනවා.

දිගින් දිගටම කල් දාලා මේ 14 වැනිදාට අවසන් දිනය ලෙස ලබා දී තිබෙනවා මේ ඉතුරු මුදල් ටික ගෙවන්න. සිය ගනුදෙනුව කරලා අවසන් වෙලා තියෙන ලයිකා මොබයිල් ආයතනය ඉතිරි මුදල් ගෙවීමට කාලය ඉල්ලනවා. ඒ මුදල් ගෙවීමට එහෙම කිහිප වතාවක්ම දීලා තමයි දැන් මේ නැවතත් කාලය අවසන් වෙන්නේ. අපි බලාගෙන ඉන්නවා මේ දෙස. මහ බැංකු අධිපතිවරයා ඔහු සද්භාවයෙන් කටයුතු කළ කෙනෙක් නම් 14 වැනිදාට එහායින් ඔවුන්ට තවත් කාලයක් දිය යුතු වෙන්නේ නැහැ.

මේ හිමිකරුවන් කවුරුන්ද යන්න දන්නෙම නැතිව ගනුදෙනුව කළා නම් දැන් මහ බැංකු අධිපතිත්, මුදල් ඇමතිත්, අගමැතිත් දැන ගත යුතුයි මොහු කවුරුන්ද කියා.

ඒ වගේම බ්ලූ සමිට් සමාගම පෙටිකෝ ආයතනය අරගෙන ඉවරයි. පෙටිකෝ ආයතනය කියන්නේ සුභාෂ්කරන් අල්ලිරාජාගේ ආයතනය. පැහැදිලිවම ත්‍රස්තවාදී අරමුදල්වලින් දුවන සමාගම් ජාලයක් යටතටයි ඊ.ඒ.පී. ජාලය මිලට ගන්න ඉඩ කඩ හදලා දීලා තියෙන්නේ.

මෙවැනි ගනුදෙනුවකට දෙස් හෝ විදෙස් ආයෝජකයකු එනවා නම් මේ මුදල් ලැබෙන්නේ කොහෙන්ද? ඒවා නීත්‍යනුකූල මුදල්ද? ඒවා නියමිත ආකාරයට ව්‍යාපාරික වශයෙන් උපයපු මුදල්ද යන කරුණු ගැන සොයා බැලීමක් කරනවා. ඒ සොයාබැලීම කරල තමයි ගනුදෙනුව පිළිබඳ තීරණයකට එන්නේ. මහ බැංකුව විශේෂයෙන් මැදිහත් වුණු ගනුදෙනුවක්. එවැනි සොයා බැලීමක් නොකර මහ බැංකුව එවැනි සමාගමකට එකඟත්වය ලබා දුන්න නම් එතැන තියෙන්නේ සැක කටයුතු තත්ත්වයක්.

අපි දන්නවා සෘජුවම අග්‍රාමාත්‍යවරයා මේ ගනුදෙනුව පිටුපස ඉන්නවා. දේශීය ව්‍යාපාරිකයෙක් වැඩි මුදලකට මේ ආයතන ටික ගන්න ඉදිරිපත් වෙලා තිබිද්දි තමයි මේ කොටි ඩයස්පෝරාවේ සබඳතාව මත සුභාෂ්කරන් අල්ලිරාජාට මේ ආයතන ටික කොල්ලකන්න මහ බැංකුවත් දැනුවත්ව මැදිහත් වෙලා ඉඩකඩ හදලා දීලා තියෙන්නේ.

ඒ නිසා මහ බැංකු අධිපතිවරයාට අපි අනතුරු හඟවනවා. මේ මාසෙ 27 වැනිදාට අර්ජුන මහේන්ද්‍රන්ලා අගමැති උපදෙස් මත මහ බැංකුව හොරා කාලා අවුරුදු 4ක් පිරෙනවා. ඒ අවුරුදු 4 පිරෙන වෙලාවෙ වර්තමාන මහ බැංකු අධිපතිවරයට අපි අනතුරු හඟවනවා මෙවැනි මුදල් විශුද්ධිකරණ චෝදනා ලබපු, ත්‍රස්තවාදී අරමුදල්වලින් ව්‍යාපාර කරන බවට චෝදනා ලැබ තිබෙන, ප්‍රංශය ඇතුළු බොහෝ රටවලින් තම රටවල ව්‍යාපාර කිරීමට වද්දවා නොගන්න සුභාෂ්කරන් අල්ලිරාජාගේ කොටි සල්ලිවලට මේ රටේ ආයතන පද්ධතියත්, දේපළ පද්ධතියත් කුණු කොල්ලෙට මිලදී ගන්න අවශ්‍ය කරන අවස්ථාව ලබා දීම පිළිබඳව. ඒ චෝදනාවෙන් මහ බැංකු අධිපතිවරයාට ගැලවෙන්න බැහැ. ඔහුට සිද්ධවෙනවා අනාගත ආණ්ඩුවකදී මේ පිළිබඳ සිදුවන පරීක්ෂණයට අනිවාර්යයෙන්ම මුහුණ දෙන්න.

මේ ආණ්ඩුව බලය ගත්ත විගසම කළේ මහ බැංකුව කොල්ල කාපු එක. අද කරන්නෙ මහ බැංකුව පාවිච්චි කරලා දේශීය ව්‍යාපාරිකයන්ගේ දේපළ කොටින්ගේ සල්ලිවලින් මිලට ගන්න ඉඩකඩ හදලා දීම.

මහ බැංකුවම පදනම් කරගෙන දිගින් දිගටම හොරකම් කරන තක්කඩි ආණ්ඩුවක් බවට මේක පත්වෙලා. අර්ජුන මහේන්ද්‍රන් ඉන්නකොට බැඳුම්කරවලින් හොරකම් කළා. වර්තමාන මහ බැංකු අධිපතිවරයා කොටි ඩයස්පෝරාවේ මුදල්වලින් ව්‍යාපාර කරන සුභාෂ්කරන් අල්ලිරාජාලාගේ අතට අඩු මිලට මෙරට දේශීය ව්‍යාපාර කොල්ල කන්න ඉඩ දීලා වැඩි මිලට ඉල්ලන දේශීය ව්‍යාපාරිකයකුට නොදී සිදු කරන ජාවාරමක් තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ.

ඊ.ඒ.පී ආයතනයට අයිති කඩා වැටුණු මූල්‍ය ආයතනය මේ අය ගත්තෙ නැහැ. ඒ මූල්‍ය ආයතනයේ බර ගනුදෙනු කරපු අහිංසක මිනිස්සුන්ගේ කර මත පැටවිලා ඉවරයි. අඩුගානේ ඒක මිලට දීලා ඒ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න මේ අය උත්සාහ කළේ නැහැ.

ඊ.ඒ.පී. ආයතනයේ හිටපු දේශීය අයිතිකාරයෝ තමන්ට ඕන කරන කුට්ටිය සිංගප්පූරුවේදී හෝ කොහෙදී හෝ අරගෙන ඒ අය අත පිහිද ගත්තා. මහ බැංකුවටයි, ආණ්ඩුවේ බලධාරීන්ටයි ගාණක් කපාගෙන දේශීය ව්‍යාපාරිකයාට ඉඩනොදී මහ බැංකුවේ අනුමැතිය ඇතිව මේ ගනුදෙනුව කරන්න ඉඩ හදාගන්න සුභාෂ්කරන් අල්ලිරාජාට අවස්ථාව හදලා දුන්නා. ඒකෙන් හම්බුකරගත්ත කට්ටිය කවුද කියලා අනාගතේදී හෙළිදරව් වෙයි. මහ බැංකු අධිපතිට අපි අනතුරු හඟවනවා ඔබ මේ මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදී අරමුදල් ව්‍යාපාරය සඳහා යොදා ගැනීමේ චෝදනාවට ඍජුවම ලක්වී තිබෙන සමාගමකට මෙරට දේපොළ මිලට ගන්න අවස්ථාව සලසා දීම පිළිබඳ චෝදනාවට මුහුණදෙන්න වෙනවා වගේම ඔබට විරුද්ධව පියවර ගන්න නිසැක වශයෙන්ම සිදුවෙනවා.

මෙහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු සපයමින් මන්ත්‍රිවරයා මෙසේද පැවැසිය.

වර්තමාන අගමැතිවරයා විපක්ෂ නායකවරයා ලෙස විපක්ෂයේ ඉන්දැද්දී එදා තිබුණු අධිකරණයට පහර ගැහුවේ කොහොමද කියලා කවුරුත් දන්නවා. අගමැති පුටුවෙ වාඩිවුණු ගමන් මාධ්‍යවේදීන්ට මාධ්‍යයට පහර ගහලා, කළු මාධ්‍ය කියලා මාධ්‍ය හංවඩු ගහපු ඔහු එදා අධිකරණයටත් විපක්ෂ නායක ලෙස හිඳිමින් පහර දුන්නා.

අධිකරණය පිළිබඳ විවේචනයක් තියෙනවා නම් ඒ ගැන විවේචනය කිරීමට අයිතියක් ඕනෑ පුරවැසියකුට තියෙනවා. අධිකරණ තීන්දුවක් තියෙනවා නම් වරදක්, ක්‍රියාදාමයේ තියෙනවා නම් වරදක් පෙන්වා දෙන්න, සාකච්ඡා කරන්න ඕනම රටවැසියෙක්ට අයිතිය තියෙනවා.

රනිල් වික්‍රමසිංහ මහත්තයා හදන්නේ අධිකරණයේ වැරැද්දක් දැක්කම එය පෙන්වාදීමට, විවේචනය කිරීමට ඇති අයිතිය කොල්ලකන්න නම් ඒකෙන් පේනව අධිකරණය පිළිබඳ මෙතරම් ආදරයක්, කැක්කුමක් එතුමට ඇතිවෙලා තියෙන්නේ මොකද? කියලා.

එතුමා හිතනව නම් ශේ‍ර්ෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණයන් තමන්ට ඕන විදියට දැන් නටවගන්න පුළුවන්, තමන් කියන දේට පිටින් යන්නේ නෑ, මිනීමැරුමක් නොකළ කෙනෙක්ට වුණත් මිනීමැරුමක් කළා කියලා නඩු තීන්දු ගන්න පුළුවන් කියලා අගමැතිතුමාට පේන විදියට ඒ අධිකරණය පේනව නම් අන්න ඒ අධිකරණයට නම් වචනෙකින්වත් කවුරු හරි කියනවා නම් එතුමා කැමැති වෙන්නේ නැහැ.

මීට කලින් ඔහු විපක්ෂ නායක ලෙස හිඳිමින් එදා මෙරට තිබූ අධිකරණයට කොතරම් ගැරහුවද? එදා එහෙම කරන්නයි අද මේ අධිකරණය ඉතාම හොඳයි, ඉතාම ස්වාධීනයි, ඉතාම පූජනීයයි කියලා ඒකට ගලක්වත් ගහන්න එපාය කියන රටට ආදරයක් ඇතිවෙලා තියෙන්නේ ඇයි? ඒකෙන්ම පුහුල් හොරා කරෙන් දැනේ නොවේද? ඒ ආදරයෙන්ම තෙරුම් ගත හැකි අධිකරණයත් අගමැතිවරයත් අතර තියෙන සම්බන්ධයේ ස්වභාවය.

ඒ වගේම අද එ.ජා.ප. ආණ්ඩුවට ඔවුන් බලාපොරොත්තු වුණා 113ක් තියෙයි කියලා. ඔවුන් දැක්කා ඒක එහෙම නෙවෙයි කියලා. විපක්ෂයේ සමහර උදවිය දිනාගන්න උත්සාහ කළා. ඒක සාර්ථක වුණේ නැහැ. දෙමළ ජාතික සන්ධානය ඡන්දය දීමෙන් වළක්වා ගැනීමට උත්සාහ කළත් විරුද්ධව ඡන්දෙ දෙන මට්ටමට ඔවුන් ආවා. එ.ජ.නි. මන්ත්‍රිවරුනුත් 99%කට වඩා ප්‍රතිශතයක් එදා පාර්ලිමේන්තුවට පැමිණීමට සූදානමින් සිටියා. විදේශගත වීමට නියමිත අය පවා අපි නතර කර ගත්තා.

එවිට ආණ්ඩුවට තේරුණා ජාතික ආණ්ඩු යෝජනාව දැම්මොත් පරදින බව. පැරදුණොත් ජාතික ආණ්ඩුව හදන එක කෙසේ වුණත් තියෙන ආලාපාළු ආණ්ඩුවත් ඉවරයි. ඉතින් ආණ්ඩුව නැති කරගන්න ජාතික ආණ්ඩු හදන එකේ තේරුමක් නැති නිසා තමයි ජාතික ආණ්ඩු යෝජනාවට කල්ගත්තේ. ආණ්ඩුව කිව්වට නැවත ඒක ගේනවා කියලා අපි අභියෝග කරනවා ගෙනාවොත් ඒක පරාජය කරන්න අපි පියවර ගන්නවා කියලා.

ආණ්ඩුවට ජාතික ආණ්ඩු යෝජනාව තියා අය වැයක් ගේන්න බැරිව දැන් තටම තටම ඉන්නේ 113ක් නැතිව. 113ක් නැතිව ආණ්ඩු කරන්න බැහැ කිව්ව ජ.වි.පෙ. අයියලා දැන් කියනවා බහුතරය නැතිව ආණ්ඩු කරන්න පුළුවන් කියලා.

ජ.වි.පෙ.ට අනුව බහුතරය නැතත් රනිල්ට ආණ්ඩු කරන්න පුළුවන්. ජ.වි.පෙ.ට අනුව මහින්දට ආණ්ඩු කරන්න බැහැ බහුතරය නැතිව. ඒක තමයි ජ.වි.පෙ. අලුත්ම න්‍යාය.

ජ.වි.පෙ. කොහොමද රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කෝට් බෑය අස්සේ රිංගගෙන මස් කටු ලෙවකන ගමන් තව තව අයට ඩීල් කියලා චෝදනා කරන්නේ. රතු අලි පැටවුන්ගෙ ඩීල් එක තරම් ඩීල් එකක් දේශපාලනයේ තියෙනවද? ඒක බලන් ඉන්න බැරි තරම් ලොකුම ඩීල් එක.

ඒ විතරක් නෙවෙයි මාකඳුරේ මධුෂ්ගේ සිදුවීමෙන් පසු ජ.වි.පෙ. ඒකට ගෑවිලා නෑ.. ගෑවිලා නෑ… ගෑවිලා නෑ කියලා කියන්න ඕන නෑනේ ගෑවිලා නැත්නම්. ගෑවිච්ච නැති හැමෝම කියනවද අපි නම් ගෑවිලා නෑ කියලා. ඇයි විශේෂයෙන් ගෑවිලා නෑ කියලා කියන්නේ. කොහෙ හරි ගෑවිලා ඇති. මන්දන් නෑ අර ගායකයා හරහා ගෑවිලද? නැත්නම් මධුෂ්ගේ අම්මා හරහා ගෑවිලද? කොහොම ගෑවිලද කියලා. ඒක ඉතින් දන්නේ එතුමන්ලා. ගෑවිච්ච අය තමයි එක පාරට මාධ්‍ය හමුවලට ඇවිත් ගෑවිලා නැතෝ ගෑවිලා නැතෝ කියන්නේ.

මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කිරීම අත්‍යවශ්‍යයි. සතොසට ගේන බඩු හරහාත් මත්ද්‍රව්‍ය ආවනෙ. පරීක්‍ෂණ මොනවද වෙන්නේ කියලවත් කවුරුත් දන්නේ නැහැ.

RSL

Related Posts