අධ්‍යාපනය නවීකරණය කොට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ශ්‍රමය පදනම් වූ රැකියා කරන්න කියා අප කියනවාද? නැතිනම් දැනුම පදනම් කරගත්ත රැකියා කරන්න කියනවාද? අන්න ඒකයි මේ රටේ තියෙන ප්‍රධානතම ප්‍රශ්නය. ශීඝ්‍ර ආර්ථික විපර්යාසයක් කරලා, ශිල්ප දැනුම පදනම් කර ගත්තු ලෝක වෙළෙඳපළේ තරග කළ හැකි ආර්ථිකයක් ඇති කරලා, තමන්ගේ අතේ තිබෙන ආදායම දෙගුණයක් කරන්න අපි මීළඟ අවුරුදු කීපයේදී බලාපොරොත්තු වෙනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා උස්සාපිටිය රිවිසඳ මහා විද්‍යාලයේ නව දෙමහල් පරිපාලන ගොඩනැඟිල්ල, පරිපාලන ඒකකය, විදුහල්පති නිල නිවාසය විවෘත කිරීමේ උත්සවයට පැමිණ, රිවිසඳ විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ පැවැති උත්සවයේදීය.
එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවැසීය.
අපි ආණ්ඩුවක් ලෙස අධ්‍යාපනයට මුල් තැන දීලා තියෙනවා. ඒ අධ්‍යාපනයේ නවීකරණයක් ඇති කරන්න. අපිට හොඳ ආර්ථිකයක් ඇති කරගන්න නම්, අපි ඉදිරියට යා යුතුයි. අපි එක තැන පල් වෙනවා නම් අනිත් අය අපිව, පසුකරගෙන ඉදිරියට යනවා. අපි ‘ළඟම පාසල හොඳම පාසල’ වැඩසටහන යටතේ අලුතින් ගුරුවරුන් බඳවා ගත්තා.
විද්‍යා ගුරුවරුන් අරගන්න තියෙනවා සුරක්ෂා වැඩසටහන ගෙනාවා. අපි අධ්‍යාපනය වෙනුවෙන් කළ, කරන වැඩ ලැයිස්තුව කියවන්න යන්නේ නෑ. මේ සියල්ලම කරන්නේ අපිට නවීන අධ්‍යාපනයක් අපේ දරු දැරියන්ට ලබාදෙන්නයි. අපි නවීන අධ්‍යාපනයක් ලබලා දෙන්නේ නවීන ආර්ථිකයට යන්නයි. අපි ජීවත් වෙන්නේ ශ්‍රමය පදනම් කර ගත්ත ආර්ථිකයක. අපි ශිල්පය පදනම් කරගෙන නැහැ. අපි දැනුම පදනම් කරගෙන නැහැ. අපි ඉල්ලන්නේ ශ්‍රමය සහ ශ්‍රමයේ වටිනාකමට අපේ වැටුප් අඩුනම් අපි අතර බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ ලෝකය වෙනස් වෙලා තියෙන්නේ.
අපිට කාලයක් තිබුණා ඇඟලුම් කර්මාන්තවලින් හා ශ්‍රමය තියෙන කර්මාන්තවලින් දියුණු වෙන්න. ඒ වේතන දිහා බලනවා නම් අද අපි දකිනවා අපිට වඩා අඩු වේතන බංගලාදේශයේ, මියන්මාරයේ කාම්බෝජියාවේ තිබෙනවා. අපිට වඩා අඩු වේතන වියට්නාමයේ තිබෙනවා. අපි ඒ රටවල් සමඟ තරග කරන්න අපේ වේතන අඩු කරනවාද? අපිට ඒක කරන්න බැහැ. අපේ කර්මාන්ත ශාලාවලට අපේ සංචාරක ව්‍යාපාරයට වේතන අඩු කළොත් මුළු ආර්ථිකයම කඩා වැටෙනවා. එහෙමනම් මොකක්ද විකල්පය? ඒකයි අපි මතක තියාගත යුත්තේ. අපේ එකම විකල්පය වන්නේ අපේ ශ්‍රමය පදනම් වූ ආර්ථිකයෙන් ශිල්ප දැනුම පදනම් වෙච්ච ආර්ථිකයකට තාක්ෂණ දැනුම පදනම් වෙච්ච ආර්ථිකයකට පරිවර්තනය වෙන්න. ඒකයි මේ අධ්‍යාපන ක්‍රමයට අපි මුල් තැන දීලා තියෙන්නේ. ඒත් අධ්‍යාපනයට මුල් තැන දීලා පමණක් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. ඒ හා සමාන අලුත් ව්‍යාපාර කර්මාන්ත අපි ලබාගන්න ඕනෑ.
අපි බැලුවොත් ආසියාවේ දියුණු රටවල්, ජපානය ලෝක වෙළෙඳපොළට ගිහින් දියුණු වුණා. දකුණු කොරියාව ලෝක වෙළෙඳපොළට ගිහින් දියුණු වුණා. උතුරු කොරියාව උතුරු වෙළෙඳපොළේ සිට වැටිලා තිබෙන්නේ. අද ආහාර නැතිව තියෙන්නේ. චීනය එදා දුප්පත් රටක්. ලෝක වෙළෙඳපොළට ගියා දියුණු වුණා.
වියට්නාමය යුද්ධයක් කරලා වැටිලා තිබුණු රටක්. අද ලෝක වෙළෙඳපොළට ගිහින් නැතිනම් විශේෂයෙන් ඇමෙරිකා වෙළෙඳපොළට ගිහින් පොහොසත් වුණා. සිංගප්පූරුව ලෝක වෙළෙඳපොළට ගිහින් පොහොසත් වෙලා. මැලේසියාව ලෝක වෙළෙදපොළට ගිහින් පොහොසත් වෙලා. තායිලන්තය ලෝක වෙළෙඳපොළට ගිහින් පොහොසත් වුණා. අපි මොකද්ද කරන්නේ? අපි දේශීය වෙළෙඳපොළේ හිර වෙනවාද? විදේශීය වෙළෙඳපොළට ගිහින් පොහොසත් වෙනවාද? මොකද තමන්ගේ කැමැත්ත. පොහොසත් වෙන්නද මෙහෙම ඉන්නද? මෝටර් බයිසිකලය තියෙන කෙනා වාහනයක් ගන්නද? නැත්නම් මෝටර් සයිකලය තියෙන කෙනා බයිසිකලයක් ගන්නද? තනි තට්ටුවක ගෙදරක් තියෙන කෙනෙක් තට්ටු දෙකක් කරනවාද? පැල්පතකට යනවාද? ඕවා තමයි අපේ ජීවිතයේ බලන්න තියෙන්නේ. අතේ මුදල් තියෙනවා නම් ඕනෑම දෙයක් කරන්න පුළුවන්.