ජනපති මෛත්‍රී කසිප්පුවලට එරෙහි සංහාරක මෙහෙයුමක් අරඹයි

Spread the love

ගමේ ජනතාවත් රටේ ජනතාවත් සම්පූර්ණයෙන්ම කසිප්පුවලින් නිදහස් කරගැනීම සඳහා වන “කසිප්පු සංහාරක මෙහෙයුම” අද හෙටම ආරම්භ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා පැවසීය.

මේ යටතේ ගම්වලට පවත්වාගෙන යන කසිප්පු තිප්පලවත් වටලා ඉවත් කිරීමට අදාළ පොලිස් බල ප්‍රදේශ භාර පොලිස් ස්ථාධිපතිවරුන්ට යම් කාලසීමාවක් ලබාදෙන අතර එම කාලසීමාව ඇතුලත අදාළ කාර්යය ඉටුකිරීමට අපොහොසත් වන නිලධාරීන්ට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේය.

පොලිස් ස්ථානාධිපතිවරුන් අදාළ වැටලීම් සිදුකිරීමට අපොහොසත් වුවහොත් ඒ සඳහා විශේෂ කාර්ය බලකාය යොදවා අදාළ වැටලීම් සිදුකිරීමට සැලසුම් කර ඇතැයි වාර්තාවේ.

ජනාධිපතිවරයා එලෙස සඳහන් කළේ සෑම මහවැලි ගොවිජන පදිකයකුටම ඉඩම් අයිතිය ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ ඉඩම් ඔප්පු දස දහසක් ලබා දීම හා ආහාර නිෂ්පාදන ජාතික සංග්‍රාමයේ 2018 මහවැලි ගොවි අභිෂේකය වෙනුවෙන් ත්‍යාග හා සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගි වෙමිනි.

එහිදී ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.

මහවැලි අධිකාරියට පුළුවන් මහවැලි ඒකකවල මතින් නිදහස් ගම්මාන හදන්න. අරක්කු, සිගරැට් නැති, වෙන නීති විරෝධී මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැති, සෞඛ්‍ය සම්පන්න ගම්මාන මේ රටේ එහෙම තියෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විශේෂ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියකු මේ රටේ එහෙම ගම්මාන හදලා තියෙනවා. මට නම් වශයෙන් කියන්න පුළුවන්.

සම්පූර්ණයෙන්ම කසිප්පු ගම්වලින් නිදහස් කිරීම, කසිප්පු නොමැති රටක් හදන්න මම විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. මං පොලිසිය හා අනෙකුත් ආයතන සමඟ යුද, නාවික ගුවන්, ත්‍රිවිධ හමුදාව එකතු කරගන්නවා. මේ මත්ද්‍රව්‍ය වැඩසටහනේ ඒ ගොල්ලො දැනුත් ඉන්නවා. කසිප්පු මේ රටේ ජනතාවට තිබෙන විශේෂයෙන් පවුල් ජීවිතවලට සහ දරුවන්ගේ අනාගතයට තිබෙන ප්‍රබල ප්‍රශ්නයක්. ඒ නිසා මතින් නිදහස් ගම්මාන හදන්න ඒ සඳහා වැඩපිළිවෙළක් හදන්න කියලා ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලනවා.

අපේ ගොවි පරපුර අලුත් වෙන්න ඕන. තාක්ෂණික ඥානය ඔබ සතු කර ගත යුතුයි. ඔවුන්ට ඒ සඳහා නිසි මඟ පෙන්වීම කළ යුතුයි.

අන්තර්ජාලය සමඟ ඔවුන් සම්බන්ධ කරන්න ඕනෑ. වෙළෙඳපොළ හඳුනාගැනීම සම්බන්ධ කරන්නට ඕනෑ. එහිදී වීද, එළවළුද? පලතුරුද? ගමේ මිල කීයද? නගරයේ මිල කීයද? කොළඹ මිල කීයද? තොග වෙළෙඳපොළ කීයද? ඒ වගේම ඒ දේවල් පිටරටින් ගේනවා නම් ඒ ඒ රටවල මිල කීයද? යනාදී වශයෙන් අපේ් ගොවි මහත්වරු දැනුවත් විය යුතුයි. එවැනි මඟ පෙන්වීමක් අලුත්, උගත් නව තරුණ ගොවීන්ට අවශ්‍යයි.

දැන් අවුරුදු හතළිහක පනහක සිට මේ රටේ සාකච්ඡා වෙන දෙයක්. යම් යම් දේ සඳහා විසඳුම් සෑම ආණ්ඩුවක්ම දීලා තියෙනවා. නමුත් ඒ සියල්ලට දීලා තිබෙන විසඳුම් මම දකින්නේ සාම්ප්‍රදායිකයි කියලා. ඒ නිසා මේ නව තාක්ෂණය එක්ක නව පර්යේෂණ හා දැනුමත් එක්ක විශේෂයෙන්ම වෙළෙඳපොළ හඳුනාගැනීම අවශ්‍ය වෙනවා.

මම දැක්කා පසුගිය දවස්වල කිරි පිළිබඳව සංවාදයක් යනවා දේශපාලන ක්‍ෂේත්‍රයේ. කථානායකතුමත් කියලා තිබුණා කලබල වෙන්න එපා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට දෙන්නේ කිරිපිටි නෙවෙයි දියර කිරි කියලා. ඉතින් ඒ වගේම මම දැක්කා සෞඛ්‍ය ඇමැතිතුමාත් කතා කරලා තියෙනවා. කිරිපිටිවල නිවැරැදි භාවය පිළිබඳව. මම නම් සෞඛ්‍ය ඇමැති විදියට අවුරුදු පහක් හිටියා. කිරිපිටි සමාගම්කාරයන්ට මම මගේ ගෙදර ගේට්ටුවෙන් එන්න දුන්නේ නැහැ. අමාත්‍යාංශයට ඇතුළුවෙන්න මම දුන්නේ නැහැ. ඒක තමා මගේ එදා ප්‍රතිපත්තිය. අදත් මම ඉන්නේ ඒ ප්‍රතිපත්තියේ. මේ පිටරටින් ගෙනෙන පිටි කිරි කවුරුන් කොහොම කිව්වත් ඒවා සෞඛ්‍ය සම්පන්න ජනතාවකට සුදුසු නැහැ. මහා බහුජාතික සමාගම්වලින් මේවා කිව්වාම ඒ ගොල්ලන් මාත් එක්ක තරහා වෙනවා. මාත් එක්ක ඔක්කොම තරහ වෙලා ඉන්නේ. කුඩුකාරයෝ, අරක්කුකාරයෝ, සිගරැට්කාරයෝ, මේ බෙහෙත් ජාවාරම්කාරයෝ, ඉතින් කිරිපිටි ගැනත් කවුරු තරහා වුණත් මට විරුද්ධ වුණත් නොකියාම බැහැ. ඒ නිසා රටක් දියුණු වෙන්න දේශීය කිරි නිෂ්පාදනය වර්ධනය වෙන්න ඕනෑ.

RSL

Related Posts