සටන් පාඨ වෙනුවට විසඳුමක් වෙනුවෙන් ඡවයක් දෙන ව්‍යාපාරයක්

Spread the love

මෙවර ශ්‍රී. ල. නි. ප තරුණ සමුළුව නව ජවයකින් ඇරඹෙන ගෝලීය දේශපාලනයට පිළිතුරක් ලෙසින් සැකසෙන මැදමාවතේ තරුණ ව්‍යාපාරයක ආරම්භයකි. එය “විසඳුමට ජවයක්” ලෙසින් හැඳින්වෙන්නේ වත්මන් යුගයේ අභියෝගාත්මක ප්‍රශ්නවලට සටන්පාඨ නොව විසඳුම් ඉදිරිපත් කරනු ලබන තරුණ ව්‍යාපාරයක් බැවිනි.

ඉදිරියේ මැතිවරණ වර්ග දෙකක් පැවැත්වීමේ සූදානමක් දක්නට ලැබේ. ඉන් මේ වනවිටත් ආන්දෝලනයකට ලක්ව තිබෙන පළාත් පාලන මැතිවරණය එක් වර්ගයකි. දෙවැන්න පළාත් කීපයක පාලන කාලය අවසන් වීම නිසා පැවැත්වෙන පළාත් සභා මැතිවරණයයි. එ් අනුව සබරගමුව, උතුරුමැද හා නැඟෙනහිර පළාත් සභා මැතිවරණය ලබන සැප්තැම්බර් අවසානයේ පැවැත්වීමට නියමිතය.

පළාත් සභා ව්‍යවස්ථාවට අනුව එම මැතිවරණ කල්දැමිය නොහැකිය. කාලය අවසන් වීමෙන් පසු පළාත් සභා මැතිවරණයක් කල් දැමීමට නම් පළාත් සභා පනත වෙනස් කළ යුතුය. පළාත් සභා සියල්ලේම මැතිවරණ එකම දිනයක පැවැත්විය යුතුය යන යෝජනාවක් සාකච්ඡා මට්ටමින් පැවැතියද එ් සඳහා සමහර මහ ඇමැතිවරු කැමැත්තක් නොදක්වන බව පෙනේ. එසේ නම් අදාළ කාලවකවානුවල යම් මැද තැනකට සියල්ලටම පැමිණීමට සිදුවේ. එකම දිනක මැතිවරණ පැවැත්වීම වෙනුවෙන් පළාත් සභා විසුරුවා හැරීමට නම් මහ ඇමැතිවරුන්ගේ එකඟතාවය අවශ්‍යය. නැතිනම් පළාත් සභා පනතට සංශෝධනයක් එකතු කළ යුතුය. මහ අමාත්‍යවරුන්ගේ එකඟතාවයකින් තොරව එවන් සංශෝධන ගෙන එ්ම දේශපාලන වශයෙන් හරි නැත. මෙවන් පසුබිමක අනිවාර්යයෙන්ම උතුරුමැද, සබරගමුව හා නැඟෙනහිර පළාත් සභාවල මැතිවරණය ලබන සැප්තැම්බර් මාසයෙන් පසුව පැවැත්වෙනු ඇත.

මීට අමතරව නව මැතිවරණ ක්‍රමයකින් සමන්විත පළාත් පාලන මැතිවරණයට අදාළ සංශෝධන හා සීමානිර්ණ ක්‍රියාදාමයේ ගැටලු මේ වන විට නිමාවෙමින් පවතී. දැනට සිදුවෙමින් පවතින ක්‍රියදාමයට අනුව එම මැතිවරණය ද මේ වසරේම පැවැත්වීමට ඉඩ තිබේ. පළාත් පාලන ඇමැතිවරයා පසුගිය දා පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී සදහන් කළේ පළාත් පාලන මැතිවරණයද කඩිනමින් පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරන මෙන් ජනාධිපතිතුමා තමාට උපදෙස් දුන් බවයි.

මැතිවරණ සූදානම

කෙසේ නමුත් සිංහල අලුත් අවුරුද්දෙන් පසු මැතිවරණ දෙකකට සූදානම් වීමට දේශපාලන පක්ෂවලට සිදුවනු ඇත. සමහර ආසන සඳහා නව සංවිධායකයන් පත්කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊට සූදානම් වන බව පෙනේ. මේ මස අවසන් වනවිට වැඩ නොකරන සංවිධායකයන් ඉවත්කර නව සංවිධායකයන්ට වැඩ පැවරීම එම පක්ෂයේ අරමුණ වී තිබෙන බව පැහැදිලිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණවලට මුහුණ දීමට සූදානම් වන්නේ නව ජවයකින් බව පෙනේ.

මේ වනවිට එම පක්ෂයට නව නායකත්වයක් ලැබී තිබේ. එය එසේ මෙසේ නායකත්වයක් නොව ජනාධිපතිවරයෙකුගේ නායකත්වයකි. මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට පත්වූයේ මේ රටේ සයවැනි ජනාධිපතිවරයා ලෙසිනි. 2015 ජනවාරි 9 වැනිදා එම ධුරයට දිවුරුම් දෙමිනි.

පුරා වසර දෙකක් පක්ෂය තුළ විවිධ මතවාදයන්ට ඉඩ දෙමින් එතුමා පක්ෂ නායකත්වය දරා ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෙක් මෙතරම් නම්‍යශීලී මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී වූ අවස්ථාවක් දක්නට නොලැබෙන තරම් ය. එහි යම් සීමාවකට පැමිණ ඇති බව පැරැණි සංවිධායකයන් ඉවත්කර සමහර ආසනවලට නව සංවිධායකින් පත් කිරීමෙන් පැහැදිලි වේ. වත්මන් ජනාධිපතිවරයා දශක කීපයක් තිස්සේ ශ්‍රී.ල.නි.ප. තරුණ ව්‍යාපාරයේ සිටම දේශපාලනය කළ එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකි. එසේම එතුමා වසර 13ක් තිස්සේ එම පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලෙසින්ද කටයුතු කර ඇත. සාමාන්‍යයෙන් ලේකම්වරයෙකුට පක්ෂයේ පතුල නිවැරැදිව පෙනෙනවා යැයි කියමනක් තිබේ.

කෙසේ නමුත් එතුමා වැඩ පටන් ගැනීමට පක්ෂයට අලුත් ආරම්භයක් දීමට සූදානම් වන්නේ පක්ෂයේ තරුණ ව්‍යාපාරය ශක්තිමත් කරමිනි. පසුගිය ඉරිදා පැවැති ශ්‍රී.ල.නි.ප. තරුණ සමුළුව මීට හොඳ නිදසුනකි. පසුගිය ඉරිදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයට රැස්වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වසර 13ක් තිස්සේ තරුණ සමුළුවක් පවත්වා නැත.

වසර 13ක් තිස්සේ වත්මන් යුගයේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් තරුණ සමුළුවක් පවත්වා නොතිබීමෙන්ම එම පක්ෂයේ අනාගතය හා ගමන් මඟ කෙබෙඳුදැයි වටහා ගැනීමට එතරම් කරුණු කාරණා අවශ්‍ය නොවේ. වර්තමානයේ ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ වඩා කැමැත්තක් දක්වන්නේ තරුණයන් පක්ෂ සංවත්සරවලට හා මැයි දිනයට දක්කාගෙන ගොස් රැස්වීම්වල ගාල් කිරීමට බව පැහැදිලි ය. එසේ නොමැතිව දේශපාලන මතවාදයන්ගෙන් සන්නද්ධ කර තරුණයන් ලෙසින් සංවිධානය කිරීමට නොවේ. තරුණ තරුණියන් දේශපාලන අධ්‍යාපනයෙන් දැනුවත් කිරීමට ද නොවේ. එය නායකත්වයට තර්ජනයක් ලෙසින් සලකනවාදැයි කියන්න දන්නේ නැත.

එහෙත් ජනාධිපති මෛත්‍රී මේ පිළිවෙතින් බැහැරව කටයුතු කරන බව පෙනේ. ඔහු මීට සති දෙකට පමණ පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ “අධ්‍යාපන අැකඩමිය” ඇරඹීය. වසර 13කට පසු ශ්‍රී.ල.නි.ප. තරුණ සමුළුව අතිඋත්කර්ෂවත් අයුරින් කොළඹ දී පවත්වනු ලැබීය. ඊට පෙර පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන පරිදි පාර්ලිමේන්තු ආසන 160න් ආසන 147කට පක්ෂ තරුණ බල මණ්ඩල පිහිටුවා අවසන්ය.

තරුණ බලය

ආසනවල බලමණ්ඩල පිහිට වීම ප්‍රමාද වී තිබෙන්නේ එ්කාබද්ධ විපක්ෂයේ අය පක්‍ෂ සංවිධාන කටයුතුවල නිරතවන ආසනවල බව පැවසේ්. එම ආසනවලට ද නව සංවිධායකයන් මඟින් ආසන බල මණ්ඩල පිහිටුවා අවසන් කිරීමට දැනටමත් දින නියම කර ඇත. මේ වන විට සාමාජිකයන් ලක්‍ෂයකට අධික ප්‍රමාණයක් මෙම නව තරුණ බල මණ්ඩලවල සාමාජිකත්වය ලබාගෙන සිටින බවත් ඉදිරියටද එම සාමාජිකත්වය වැඩිවෙමින් පවතින බවත් ශ්‍රීලනිප තරුණ පෙරමුණේ ප්‍රධානීහු පවසති.

ඕනෑම දේශපාලන පක්ෂයක ජීවය තරුණ බලය බව අමුතුවෙන් කිව යුතු නැත. තරුණ ජවයෙන් තොර දේශපාලන පක්‍ෂ මහලු මඩම්වලට සමානය. මේ රටේ සාම්ප්‍රාදායික වාමාංශික පක්‍ෂවලින් තරුණයන් ඉවත්වීමත් සමඟම අද එ්වාට අත්වෙමින් පවතින ඉරණමෙන් මෙය පැහැදිලි වේ. පක්ෂයක් බෝඩ්ලෑලිවලට සීමාවන්නේ අඩුම තරමින් පෙනුමටවත් තරුණ තරුණියන් නොමැති වූ විටය.

විශේෂයෙන්ම ධනවාදය හා පැවැති සමාජවාදය බිඳ වැටී ඇති නූතන ගෝලීය සංදර්භය තුළ වර්තමානයේ දේශපාලනය ගැන උනන්දුවක් දක්වන පිරිස් හා තරුණ තරුණියන් සොයමින් සිටින්නේ මැද මාවතේ දේශපාලනයි. ආරම්භයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දේශපාලනය යනු මැදමාවතේ දේශපාලනයයි. එම දේශපාලනයට අද හොඳ ඉල්ලුමක් ඇත. 60 හා 70 දශකවල නිදහස් පක්‍ෂයේ ආණ්ඩු නොබැඳි ව්‍යාපාරයේ පුරෝගාමී වැඩ කොටසක් ඉටුකළ ආණ්ඩු බවට පත් වූයේ ද මේ මැදමාවතේ දේශපාලනයේ ජාත්‍යන්තර සාධකය පෙරදැරි කරගෙන බව පැහැදිලිය. වත්මන් ගෝලීය දේශපාලන හා ආර්ථික සංදර්භයට අවැසි මෙන්ම බොහෝ අය සොයමින් සිටින මැද මාවතේ දේශපාලනය වසර 60ක් තිස්සේ පරිහරණය කළ දේශපාලන පක්ෂයක තරුණ ප්‍රජාව අද දවසේ එම පක්ෂය පිළිබඳව ආඩම්බරයෙන් කතා කරන තැනකට පත් කිරීම නායකයෙකුගේ වගකීමකි. වත්මන් පක්ෂ නායකයා මෙන්ම ජනාධිපතිවරයා එය තේරුම් ගෙන තිබෙන බව පෙනේ. පසුගිය සමයේ මැතිවරණ පරාජයයන් හා පක්ෂයේ පසුබෑම මෙම දේශපාලන දර්ශනය තේරුම්ගෙන නොතිබීම බව පැහැදිලිය.

දේශපාලන දර්ශනය

දේශපාලන දර්ශනයකින් තොරව “තරුණ්‍යයට හෙටක්” පලක් නොවේ. එය ඔහේ ඉබාගාතේ යන ලුම්පන් තාරුණ්‍යයක් වනු ඇත. පක්ෂ ලේබලය දරා ගනිමින් ස්ත්‍රී දූෂක හා ඝාතන චෝදනා සහිත තරුණ නායකයන් පසුගිය සමයේ බිහි වූයේ දේශපාලන දර්ශනයකින් තොර මෙවන් ලුම්පන් තාරුණ්‍යය නිසා බව පැහැදිලිය. මේ නිසා ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණයට භාජනය වෙමින් පවතින්නේ පැවැති ලුම්පන් තරුණ ව්‍යාපාරයක් බව පෙනේ. එවන් තරුණ ව්‍යාපාරයක් මඟින් ඉදිරි මැතිවරණ ජයගැනීමේ අපහසුවද එතුමා තේරුම් ගනිමින් සිටී.

මෙවර ශ්‍රී. ල. නි. ප තරුණ සමුළුව නව ජවයකින් ඇරඹෙන ගෝලීය දේශපාලනයට පිළිතුරක් ලෙසින් සැකසෙන මැදමාවතේ තරුණ ව්‍යාපාරයක ආරම්භයකි. එය “විසඳුමට ජවයක්” ලෙසින් හැඳින්වෙන්නේ වත්මන් යුගයේ අභියෝගාත්මක ප්‍රශ්නවලට සටන්පාඨ නොව විසඳුම් ඉදිරිපත් කරනු ලබන තරුණ ව්‍යාපාරයක් ලෙසිනි. ඉදිරි පළාත් පාලන හා පළාත් සභා මැතිවරණ සඳහා මෙම තරුණ ජවය පාවිච්චි කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනාධිපතිවරයා සූදානම් වන බව පෙනේ. මේ නිසා පසුගිය ඉරිදා පැවැතියේ එවන් සූදානමත් හා පෙරහුරුවක්දැයි කියන්න දන්නේ නැත.

නම්‍යශීලී පිළිවෙත

වැඩි කලබලයකින් තොරව නිසොල්මනේ සෙමෙන් වුවද ශක්තිමත් ගමනක යෙදෙන ජනාධිපතිවරයා ඉදිරි සටන සඳහා බලමුළු තරකරමින් සිටී. ඕනෑම පක්ෂයක මැතිවරණ සඳහා අවැසි තරුණ ජවය සැපයෙන්නේ තරුණ සමුළුව හරහාය. විශේෂයෙන් ම ඉදිරි පළාත් පාලන මැතිවරණය තරුණ තරුණියන්ගේ මැතිවරණයක් සේ සැලකේ. ඊට හේතුව ප්‍රතිශතයක් වශයෙන්ම තරුණ හා කාන්තා නියෝජනයක් ඊට අන්තර්ගත විය යුතු වන හෙයිනි. මේ නිසා එ්කාබද්ධ විපක්ෂයේ අයට ද මේ ශක්තිය ගැන සැලකිලිමත් වීමට සිදු වේ.

පක්ෂය දෙකඩ කර මැතිවරණයේ දී හානිදායක ප්‍රතිඵලයක් ළඟා කර දෙනවා ද එකට තරගකර ජය තහවුරු කරගන්නවාද යන්න තීරණය කළ යුත්තේ ඔවුහුය. ඊට හේතුව දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරුණ හා කාන්තා ජවය සහිතව ඉදිරි මැතිවරණවලට සූදානම් වෙමින් සිටීමයි.

ජනතාව පක්ෂයට කැඳවා ගෙන එ්මේ සංවිධානාත්මක කාර්යය බෙහෙවින්ම ඉටු වන්නේ තරුණ තරුණියන් අතිනි. මේ මොහොතේ එකට ගමන් කරනවාද දෙකඩ වෙනවාද යන තීරණ ඇත්තේ එ්කාබද්ධ විපක්ෂයේ අය අතේය. මෙහි දී නම්‍යශීලී පිළිවෙතක පිහිටා කටයුතු කිරීමට ජනාධිපතිවරයා සූදානමින් සිටින බව පැහැදිලිය.

-වසන්ත ප්‍රිය රාමනායක-

RSL

Related Posts