මේ ආණ්ඩුව තෙල් මිල සූත්රයක් හඳුන්වා දුන්නා කියමින් ජනතාව රවටා දිනෙන් දින තෙල් මිල වැඩිකරමින් යනවා. ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩු වුණත් ලංකාවේ තෙල් මිල එන්න එන්නම ඉහළ යනවා මිසක් පහළ බහින්නේ නම් නෑ. ඇයි එහෙම වෙන්නේ. මේකට මිල සූත්ර මොකටද? මිල සූත්රයක් තිබුණාට කමක් නෑ ජනතාවට සෙතක් වෙනවා නම්. ජනතාවට සෙතක් වෙන්නේ නැත්නම් මොන මිල සූත්රය ගෙනාවත් වැඩක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවැසීය.
ඒ මහතා මේ බව පැවැසුවේ පසුගියදා මොරකැටිය කොවුල්ආර ප්රදේශයේ පැවැති පාක්ෂික හමුවකදීය.
එහිදී ඒ මහතා මෙසේද පැවැසීය.
“අද මේ රට කෝටි ගණනින් ණය වෙලා. ඒ ණය අද වත්කමක් හැටියට පෙන්වන්න බෑ. ඇයි ඒ අපේ ගත්තු ණයවලින් වැඩි ප්රමාණයක් හොරකම් කරලා. අනෙක් ප්රමාණය නාස්ති කරලා. ඒ නිසා පෙන්වන්න වත්කම් නෑ. 1977දී අපේ රටේ ණය ප්රමාණය රුපියල් කෝටි දෙදාස් හාරසීය පනහයි. දැන් කොහොමද ණය ප්රමාණය? දැන් ණය ප්රමාණය රුපියල් කෝටි දසලක්ෂ පනස්දාහයි. එහෙම බැලුවම මේ රටේ ඉන්න හැම පුරවැසියෙක්ම රුපියල් ලක්ෂ පහකට වැඩිය ණයයි. මේවායේ ප්රතිඵල ලෙස අද අපි වාර්ෂිකව විශාල මුදලක් පොලී හැටියට සහ වාරික හැටියට ගෙවන්න ඕනේ. අරගෙන තියෙන ණයවලට මේ අවුරුද්දේ විතරක් අපි ගෙවන්න ඕනේ ඩොලර් මිලියන 4,000ක්. මේක අපේ සල්ලිවලින් ගෙවනවා නම් කීයක් වෙනවද බලන්න. දැන් ඩොලර් එකක් රුපියල් 160ක් වෙනවා. ඒ නිසා අපේ ගාණ බලන්න නම් ඩොලර් මිලියන 4,000 වැඩි කරන්න ඕනේ 160න්. එතකොට බලාගන්න පුළුවන් අපේ ගාණ කීයද කියලා. සෙල්ලම් නෑ. මේ ගාණ ගෙවනවා කියන එක. මේක අපේ රටට ගෙවන්න බෑ. ණය අරගෙන, අරගෙන නාස්ති කරලා අපි දැන් ණය උගුලක හිරවෙලා ඉන්නේ. දැන් මේ ආණ්ඩුවට මේ ණය උගුලෙන් ගැලවෙන්න බෑ. ඒ නිසා දැන් මේ ආණ්ඩුව ණය ගන්නේ කලින් ගත්ත ණය ගෙවන්න.
මේ විදියට ණය උගුලේ හිරවෙලා, වත්කම් නැති වෙලා ඉන්න මේ ආණ්ඩුවට සල්ලි හිඟ වෙනකොට ආණ්ඩුව තීන්දු කිහිපයක් ගන්නවා. එකක් තමයි රටේ සම්පත් ටික විකුණගෙන කෑම. අනෙක් එක ජනතාව මත බදුබර පැටවීම. අද කෙනකුගේ මාසික ආදායම රුපියල් 50,000ට වැඩි නම් ඒ අය ආදායම් බදු ගෙවන්න ඕනේ. අද තියෙන මේ ජීවන වියදමත් එක්ක බැලුවම 50,000ක් කියන්නේ ලොකු ගාණක් නෙවෙයි. මොකද හතර දෙනකුගෙන් යුත් පවුලකට මාසයක් ජීවත් වීමට රුපියල් 42,000ක් ඕන කියලා ආණ්ඩු කරන අය කියන්නේ. එතකොට බැලුවම 50,000ක් කියන්නේ මහ ලොකු ගාණන් නෙවෙයිනේ. කඩේකට ගිහින් රුපියල් 100කට බඩු ගත්තොත් ඒකෙන් රුපියල් 40ක්ම බදු. රුපියල් 60කයි බඩු ගෙදරට ගේන්න පුළුවන් වෙන්නේ.
පසුගිය මැයි මාසේ 10 වැනිදා මේ ආණ්ඩුව ජනතාව මත බදු බරක් දැම්මා. ඒ තෙල් මිල වැඩි කරලා. තෙල් වැඩි කරලා මේ ආණ්ඩුව කිව්වා දැන් අපි මාස දෙකෙන් දෙකට තෙල් මිල සංශෝධනය කරනවා කිව්වා. ඒ සඳහා මිල සූත්රයකුත් තියෙනවා කිව්වා. ඒ අනුව මිල සූත්රයට අනුව මාස දෙකෙන් දෙකට තෙල් මිල සංශෝධනය කරනවා කිව්වා. දැන් එතකොට පසුගිය මැයි මාසේ වැඩි වුණු තෙල් මිලට හරියන්න බස් ගාස්තුවේ ඉඳන් හැමදේම වැඩි වුණා. හරියටම මාස දෙකයි. ජූලි මාසේ 10 වැනිදා ආයෙමත් තෙල් මිල වැඩි කළා. ඒ වැඩි කරලා හරියටම මාසයයි අගෝස්තු 10 වැනිදා මේ ආණ්ඩුව යළිත් තෙල් මිල වැඩි කළා. මාස දෙකෙන් දෙකට තෙල් මිල සංශෝධනය කරනවා කිව්ව මේ ආණ්ඩුව දැන් මාසෙන් මාසෙටත් තෙල් මිල වැඩි කරන්න අරගෙන. හැම මාසෙම 10 වැනිදා කියන්නේ දැන් තෙල් මිල වැඩි වෙන දවස වෙලා. තෙල් මිල ඉහළ දමලා කියනවා මිල සූත්රයට අනුව වැඩි කරනවලු. අපි ඇහුවා මොකක්ද ඔය සූත්රය කියලා. ඇත්තටම එහෙම සූත්රයක් මේ ආණ්ඩුවට නෑ. ඒක තමයි ඇත්ත. සූත්රය තමයි ආණ්ඩුවට සල්ලි නැති වෙන්න, නැති වෙන්න තෙල් මිල වැඩි කිරීම.
අද තෙල්වලින් විතරක් මේ ආණ්ඩුව විශාල බද්දක් අය කරනවා. පිට රටින් පෙට්රල් ගෙනත් වරායෙන් මෙරට ගොඩබානකොට ලීටරයක මිල වෙන්නේ රුපියල් 78.43යි. ආණ්ඩුව ගහනවා මේකට රුපියල් 60.63ක බද්දක්. ඊට අමතරව සංස්ථාවත් රුපියල් 6ක ලාභයක් ගන්නවා. මේ තෙල් තියෙන රටවල් තෙල්වලින් කැණීම් කරලා, බොරතෙල් අරගෙන, ඒවා වෙන වෙනම පිරිපහදු කරලා අපේ රටට ගෙනල්ලාම දෙන්න අය කරන්නේ රුපියල් 78යි. මේ ආණ්ඩුව නිකන් ඉඳන් පෙට්රල් ලීටරයකින් රුපියල් 60ක් ගන්නවා. එතකොට බොහොම පැහැදිලි තෙල් වැඩි වෙන්න හේතුව වෙන මොකක්වත් නෙවෙයි ආණ්ඩුව ගහපු අධික බදු කියන එක.