ක්‍ෂුද්‍ර මූල්‍ය ණය කපා හැර අලූතින් පටන් ගන්න – මහින්දගෙන් යෝජනාවක්

Spread the love

නීති විරෝධී සහ ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ලබාගත් ණය මෙන්ම ගෙවීමට නොහැකිව ඇති ණය කපා දමා නව ක්ෂුද්‍ර මූල්‍ය සේවාවක් බිම් මට්ටමින් ස්ථාපිත කරන්නැයි විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04) 27/2 යටතේ විශේෂ ප‍්‍රකාශයක් කරමින් සඳහන් කළේය.

එහිදී විපක්‍ෂ නායකවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

එදා අපේ ගම්වල අහිංසක ජනතාව කුඩා කණ්ඩායම් ලෙස එක්ව හදිසි අවශ්‍යතාවකදී ප‍්‍රයෝජනයට ගැනීමට මුදලක් ඉතිරි කිරීමටත්, තම දෛනික අවශ්‍යතා සපුරා ගැනීමටත් අවිධිමත් ණය ක‍්‍රමයක් තම කණ්ඩායම තුළ කි‍්‍රයාත්මක කිරීමටත් පුරුදුව සිටියහ. නිවසේ අවශ්‍යතා මෙන්ම කුඩා ව්‍යාපාර සඳහා අවශ්‍ය ප‍්‍රාග්ධනය සපුරා ගැනීමට ගම තුළ සීට්ටු ක‍්‍රමයක් ද එදා ක‍්‍රියාත්මක වුණි.

පසුගිය දශක පහකට ආසන්න කාලයක් තුළ බොහෝ සංවිධාන විසින් මෙම කණ්ඩායම් ක‍්‍රමය කෘතිමව යොදා ගනිමින් ගමේ තිබූ සාමුහිකත්වය ලාභ ඉපයීමේ ක‍්‍රමවේදයකට පෙරලා ගත්හ. මේ තුළින් ක්ෂුද්‍ර මූල්‍ය සංකල්පයේ පදනම වූ දුප්පතා මත විශ්වාසය තැබීමේ මූලික හරය ගමෙන් ඉවත් කළහ.

ණයක් ලබා ගැනීමට විශ්වාසය පමණක් ප‍්‍රමාණවත්් නොවුණි. අහිංසක ගැමියාට ඒ සඳහා කුමක් හෝ දේපළක් උකසට තැබීමට සිදුවුණි. ධීවරයාට ධීවර ආම්පන්නත්, ගෘහණිය සතුව තිබූ මහන මැෂිමත්, පාපැදිය, යතුරුපැදිය මෙන්ම ගොවියාගේ වතුර මෝටරය ඇතුළු කෘෂි උපකරණත් ඇපකර වශයෙන් තැබීමට සිදුවී ඇත. තම ගොවි නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් නොලැබීම, නිය`ගය නිසා අපේක්‍ෂිත අස්වැන්න නොලැබීම වැනි හේතු ලබාගත් ණය ආපසු ගෙවිය නොහැකි තත්ත්වයකට ගැමියා ඇද දමා ඇත. ආණ්ඩුව අයවැය යෝජනා මගින් ජනතාව ලබාගත් ක්ෂුද්‍ර මූල්‍ය ණය කපාහරින බව දිගින් දිගටම පැවසුවද, ණය ලබාදුන් ආයතන මොනවාදැයි හඳුනා ගැනීමට නොහැකි බව පවසා මෙතෙක් ණය කපාහැරීමක් සිදුකර නොමැත.

වර්තමානයේ උද්ගතව ඇති තත්ත්වය ඊට වඩා දරුණුය. ලියාපදිංචි ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වලට වඩා පුද්ගලික ණය මුදල් සපයන්නන් රට පුරා ව්‍යාප්තව ඇත. ණය සඳහා ඔවුන් අය කරන පොලිය වසරකට 30% සිට 100% දක්වා වූ පරාසයක පවතී. ණය ලබාගත් දින සිටම ණය ආපසු ගෙවීම ආරම්භ වේ. ණය වාරික අයකර ගැනීමට ණය ලබා දෙන අයගේ නියෝජිතයා ණයකරුගේ නිවසටම පැමිණේ. ණය ගෙවීම ප‍්‍රමාද වීම්, බැණවැදීම්, තර්ජනය කිරීම් පමණක් නොව විවිධ ආකාරයේ අල්ලස් ලබා ගැනීම දක්වා ව්‍යාප්තව ඇති බව වාර්තා වේ. ඇතැම් විට පාතාලය හා සම්බන්ධ වී ගෙන යන මෙම ණය ජාවාරම ග‍්‍රාමීය ආර්ථිකය විකෘති කිරීමටත්, සාමාන්‍ය ජන ජීවිතය අවුල් කිරීමටත්, අහිංසක පවුල් ජීවිත විනාශ කිරීමටත් ප‍්‍රබල හේතුවක් බවට පත්වී ඇත. ණය මුදල ලබා ගැනීමට බැංකු ඉල්ලන සුදුසුකම් කිසිවක් අහිංසක ජනතාව සතුව නැත. උකසට තැබූ ණයකර ආභරණ බැංකුවට සින්න වී ඇත. ගොවිතැන් කිරීම සඳහා අවශ්‍ය මූලික ප‍්‍රාග්ධනය හෝ ඔවුන් සතුව නැත. මේ වනවිට ග‍්‍රාමීය ආර්ථිකය දරුණු ප‍්‍රපාතයකට ඇදවැටී හමාරය.

මෙවන් තත්ත්වයක් හමුවේ පාතාලය හා බැඳුණු නීති විරෝධී ණය ක‍්‍රම සමාජයෙන් ඉවත් කිරීමටත්, අවිධිමත් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන හරහා ලබාගත්, ගෙවීමට නොහැකි ණය වහා කපා හැරීමටත්, ආණ්ඩුව කටයුතු කළ යුතු බව මෙම ගරු සභාවට යෝජනා කර සිටින අතර ග‍්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරන ක්ෂුද්‍ර මූල්‍ය සේවාවක් බිම් මට්ටමේ ස්ථාපිත කළ යුතු බවත් යෝජනා කරමු.

මේ සම්බන්ධව ආණ්ඩුව ගන්නා ක‍්‍රියාමාර්ග මෙම ගරු සභාවට පැහැදිලි කරන ලෙස ද ඉල්ලා සිටිමු.

RSL

Related Posts