Covid-19: දෙවෙනි රැල්ලක් යනු කුමක්ද? එවැන්නක් පැමිණිය හැකිද?

Spread the love

රට ලිහිල් කිරීමෙන් පසු සාමාන්‍ය ජනතාවගේ හැරීම් රටාව ගැන සිය කණස්සල්ල පළ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා අද (24) සිය බලවත් කණස්සල්ල පළ කර තිබුණා.

ජනපතිවරයාට පසු සටහන් තබමින් බොහෝ සමාජමාධ්‍ය පරිශීලකයින් පවසා තිබුණේ එය ‘ලංකාව වැනි රටකින් බලාපොරොත්තු විය යුතු දෙයක් බවයි. මේ අතර දකුණු කොරියාව ද පසුගිය දා නිල වශයෙන් කොවිඞ්-19 දෙවන රැල්ලක් ගැන අනතුරු ඇඟවූ අතර මේ වන විට දකුණු කොරියාව කොවිඞ්-19 දෙවන රැල්ලට සූදානම් වෙමින් තිබෙනවා.

මෙම ලිපිය මගින් ‘කොවිඞ් -19 දෙවන රැල්ලක් යනු කුමක් ද ඇතුළු වැදගත් පැහැදිලි කර ගැනීම් රැුසක් ලබාගත හැකි වෙනවා.

සාපේක්ෂ වශයෙන් ආසාදිතයන් අඩු සංඛ්‍යාවක් වාර්තා වුවත් රට තුළ කොරෝනාවෛරස් දෙවන රැල්ලක් පවතින බව දකුණු කොරියාවේ සෞඛ්‍ය බලධාරීහු විශ්වාස කරති.

කෝවිඩ්-19 මර්දනය කිරීම අතින් දකුණු කොරියාව සාර්ථකත්වයක් අත්කර ගෙන තිබුන ද වසංගතය මාස ගණනක් පවතිනු ඇති බව මේ වන විට විශ්වාස කෙරෙයි.

ඇතැම් රටවල් මහා පරිමාණයෙන් වසංගතයට මුහුණ දෙමින් සිටින අතරේ දකුණු කොරියාව වැනි වෛරසය පාලනය කළ රටවල් දෙවෙනි රැල්ලක් පිළිබඳ බියෙන් පසුවෙති.

ශත වර්ෂයකට පෙර පැතිර ගිය ‘ස්පාඤ්ඤ උණෙහි’ දෙවන රැල්ල පළමු අදියරට වඩා භයානක විය.

එසේ නම් කොරෝනාවෛරසයේ දෙවන රැල්ල අනිවාර්යයක් වනු ඇතිද? එය කෙතරම් භයානක වනු ඇතිද?

පළමුව දෙවන රැල්ල යනු කුමක්ද?

එය මුහුදේ රළ හා සමාන යයි සිතන්න. ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ ගොස් යළි පහළ යයි – එවැනි සෑම චක්‍රයක්ම එක් කොරෝනාවෛරස් “රැල්ලකි”.

නමුත් ඒ සඳහා විධිමත් අර්ථකතනයක් නොමැත.

“එය විශේෂිත විද්‍යාත්මක කාරණයක් නොවෙයි. රැල්ලක් අර්ථ දැක්වන ආකාරය අහඹු ස්වභාවයක් ගන්නවා,” යනුවෙන් වෝවික් විශ්වවිද්‍යාලයේ ආචාර්ය මයික් ටිල්ඩෙල්සි බීබීසීය වෙත පැවසීය.

Waves

ඕනෑම ආකාරයක ඉහළ යාමක් දෙවන රැල්ලක් ලෙස ඇතැමෙක් විග්‍රහ කරති. නමුත් බොහෝ විට එය උස් පහත් වීම් සහිත පළමු රැල්ලකි. මෙය එක්සත් ජනපදයේ ඇතැම් ප්‍රාන්ත තුළ සිදු වෙමින් පවතී.

එක් රැල්ලක් අවසාන වී ඇතැයි කීමට නම් වෛරසය පාලනයකට යටත් කරනු ලැබ තිබීම සහ ආසාදිතයන් සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමකින් පහළ ගොස් තිබිය යුතුය.

දෙවන රැල්ලක් ආරම්භ වීම සඳහා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාමට නොදී පවත්වා ගත යුතුය. නවසීලන්තයේ කොරෝනාවෛරසය නොමැතිව තිබී දින 24 කට පසු පළමු ආසදිතයා වාර්තා වීම සහ වෛරසය නොමැතිව දින 50 කට පසු බීජිං යළි පැතිර යාමකට මුහුණ දී සිටීම මෙම තත්ත්වයට අයත් නොවේ.

නමුත් ඉරානය දෙවන රැල්ලකට අවශ්‍ය නිර්ණායක සපුරාලීම ආරම්භ කර ඇති බවට ඇතැම් විද්‍යාඥයෝ තර්ක කරති.

දෙවන රැල්ලකට හේතු විය හැක්කේ කුමක්ද?

අසීමාන්තික ලෙස ලොක්ඩවුන් සීමා ඉවත් කිරීම ඊට හේතු වේ.

ලොක්ඩවුන් සීමා නිසා ලොව පුරා ජන ජීවිතයට විශාල වශයෙන් බාධා එල්ල වී තිබේ. රැකියා නොමැති වීම, ජනතාවගේ සෞඛ්‍යයට බලපෑම් එල්ල වීම සහ ළමුන්ට පාසල් යාමට නොහැකි වීම ඊට ඇතුලත්ය. නමුත් එමගින් වෛරසය පාලනයකට යටත් කර ඇත.

“අවසානයේ ඇති ප්‍රහේලිකාව වන්නේ දෛනික ජීවිතයට එල්ල වන බාධා අවම කර ගනිමින් පාලනයක් පවත්වා ගන්නේ කෙසේද යන්නයි,” යනුවෙන් ලන්ඩනයේ සෞඛ්‍යාරක්ෂාව සහ උෂ්ණ කලාප සම්බන්ධ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ආචාර්ය ඇඩම් කුචාස්කි පැවසීය.

Shoppers
එක්සත් රාජධානියේ ලොක්ඩවුන් සීමා ලිහිල් කිරීමත් සමග සාප්පු සවාරියේ යෙදෙන ජනයා

අපට කෙතරම් දුරක් යා හැකිදැයි යන්න පිළිබඳ කිසිවකුටත් 100% විශ්වාසයක් නොමැත.

ආසාදනය වී ඇත්දැයි දැන ගැනීමේ පරීක්ෂණ හෝ මුහුණු ආවරණ පැළඳීම වැනි කොරෝනාවෛරසය පැතිර යාම පාලනය කිරීම සඳහා අලුතින් ක්‍රමවේද හඳුන්වා දෙන අතරේ පියවරින් පියවර සීමා ලිහිල් කරමින් පවතින්නේ එබැවිනි.

“එක්සත් රාජධානිය සහ අසල්වැසි රටවල වෛරසය පැතිර යාම පාලනය කළ හැකි තැනින් ඔබ්බට සීමා ලිහිල් කෙරුනොත් ඉතා ඉක්මනින් ඉහළ යාමක් සිදු විය හැකියි,” යනුවෙන් ආචාර්ය කුචාර්ස්කි පැවසීය.

ඉහත කී තත්ත්වය ජර්මනිය තුළ මේ වන විටත් ආරම්භ වී තිබේ. එරට මස් ගබඩාවක වෛරසය පැතිර යාමත් සමග ආසාදිතයන් 650 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ආසාදිත පොකුරු ඉතා ඉක්මනින් හඳුනා ගත හැකි නම්, අලුතින් ලොක්ඩවුන් සීමා හඳුනා දෙන්නේ නම් සහ වෛරසය පැතිර යාම නවතා දැමීමට කටයුතු කර ඇත්නම් මෙය විශාල ගැටලුවක් නොවනු ඇත.

එසේ නොමැති නම් දෙවන රැල්ලකට මග පෑදිය හැක.

කොරෝනාවෛරසය පාලනය කළ ආකාරය සම්බන්ධයෙන් පුළුල් ලෙස ඇගයීමට ලක් වූ දකුණු කොරියාවට එවැනි පොකුරු ආසාදිතයන් හේතුවෙන් ඇතැම් සීමා යළි පැනවීමට සිදු විය.

දෙවන රැල්ල, පළමු රැල්ල තරම්ම විය හැකිද?

එය එසේ වීමට නම් යම් තැනක බරපතල වරදක් සිදුව තිබිය යුතුය.

වසංගතය ආරම්භයේදී සෑම ආසාදිතයෙකුගෙන්ම වෛරසය ශරීර ගත විය හැකි පුද්ගලයන් සංඛ්‍යාවේ සාමාන්‍යය 3 කි.

වෛරසය වේගයෙන් පැතිර ගිය බව ඉන් පෙනී යයි. නමුත් මේ වන විට අපගේ හැසිරීම් රටාව වෙනස් වී තිබේ. සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යන අතර ඉහත කී අගය (3) යළි එතරම් ඉහළ යා හැකි යයි සිතීම තරමක් අපහසුය.

“කිසිදු රටක් සියලුම සීමා ඉවත් කර යළි පැවති සාමාන්‍ය තත්ත්වයට යන්නේ නැහැ,” යනුවෙන් ආචාර්ය කුචාර්ස්කි බීබීසීය වෙත පැවසීය.

“බ්‍රසීලය සහ ඉන්දියාව වැනි වෛරසය පාලනය කිරීමක් නොමැති රටවල පවා එය පැතිර යාමේ සාමාන්‍ය අගය (3) දක්නට නැහැ.”

ආසාදිතයන්ගේ යළි වර්ධනයක් සිදු වුවහොත් සාපේක්ෂව එහි වේගය අඩු වීමට ඉඩ ඇත.

කෙසේ වුවත් සෛද්ධාන්තිකව දෙවන රැල්ල, පළමු රැල්ලට වඩා විශාල වීමට ද හැකියාවක් ඇත. තවමත් බොහෝ දෙනෙකු අනතුරුදායක මට්ටමක සිටීම ඊට හේතුවයි.

“නමුත් ආසාදිතයන් සංඛ්‍යාව යළි ඉහළ ගියහොත් දෙවන රැල්ල මැඩපැවැත්වීම සඳහා ලොක්ඩවුන් සීමා නැවත හඳුන්වා දිය හැකියි. ඒ විකල්පය සෑම විටම අප හමුවේ තිබෙනවා,” යනුවෙන් ආචාර්ය මයික් ටිල්ඩෙල්සි පැවසීය.

(බීබීසී සෞඛ්‍ය සහ විද්‍යා කටයුතු පිළිබඳ වාර්තාකරු ජේම්ස් ගැලගර් විසින් සකසන ලද වාර්තාවක් ඇසුරෙනි)

RSL

Related Posts